කැලඹී ව්‍යාකූල වී තිබෙන දේශපාලනය සහමුලින්ම අවුල් ජාලයක් බවට පත්ව තිබේ. එක් පසෙකින් ජනතාව පෙළන ආර්ථික අර්බුදයකි. ඊට සමගාමීව හටගත් දේශපාලන අර්බුදය උත්සන්න වෙමින් පවතී. මේවා විසඳීමට තිබෙන ප්‍රායෝගික ක්‍රමය කුමක්ද යන්න සැමගේ සිත් සතන් තුළ කැකෑරෙන ප්‍රශ්නයයි. මේ සඳහා අන්තර් පාලන ආණ්ඩුවක් පිහිටුවීම හටගෙන ඇති ගැටලුවලට ඇති එකම විසඳුම බව පාර්ශ්ව ගණනාවක් විසින් ප්‍රකාශ කරනු ලැබේ. විද්වත් පර්ෂද, වෘත්තීයවේදීන්ගේ පර්ෂද, සාමයික නායක සභා සහ තරුණ ප්‍රජාවද මෙම මතය හා සමපාතව සිටින බව ප්‍රකට කරුණකි.
අප රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරීක්ෂා කර බලන විට අන්තර් පාලන ආණ්ඩුක්‍රමයක් ගැන එහි නිල සඳහනක් නැත. ව්‍යවස්ථාවේ 42 වැනි වගන්තියේ සඳහන් වන්නේ ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ උපරිම විශ්වාසය ඇති මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍ය ධුරයට පත්කළ යුතුය කියාය. ඒ අනුව මැතිසබයේ විශ්වාසය පළකිරීමේ යෝජනාවක් සම්මත කරමින් තමන් කෙරෙහි මැති ඇමැතින්ගේ ඇති විශ්වාසය පෙන්වීමට අභිනවයෙන් පත්වන අග්‍රාමාත්‍යවරයා ක්‍රියා කිරීම පිළිගත් සම්ප්‍රදායයි. ඉන් පසුව ආණ්ඩුවක් ස්ථාපිත කෙරේ. නව රජයක් පිහිටුවන සාමාන්‍ය ක්‍රමවේදය එයයි.
එහෙත් මෙවර යෝජනා කර ඇත්තේ අග්‍රාමාත්‍ය ධුරය දරන්නකු සේවයේ සිටියදී ඔහු කෙරේ මැතිසබයේ උපරිම විශ්වාසය නැතැයි ඔප්පු කොට නව අග්‍රාමාත්‍යවරයකු පත්කර ගැනීමයි. කිසියම් දේශපාලන වැඩපිළිවෙළක් ඉටුකිරීම සඳහා නිශ්චිත කාලයකට අන්තර්වාර ආණ්ඩුවක් ස්ථාපිත කළ යුතු යැයිද යෝජනා වී තිබේ. යට කී ලෙස අන්තර්වාර ආණ්ඩුක්‍රමයක් ගැන ව්‍යවස්ථාවේ සඳහනක් නැති නමුත් එය පිළිගත් ප්‍රායෝගික ව්‍යවහාරයකි. සාමාන්‍යයෙන් අන්තර්වාර යන පූර්ව හැඳින්වීම සහිත ආණ්ඩුවක් ස්ථාපිත කරන විට එම ආණ්ඩුවට ඍජුවම මැතිසබයේ බහුතරයක් නොතිබෙන්නට පුළුවන. එහෙත් මැතිසබයේ බහුතර පිරිසක් ආණ්ඩුව පිටත සිට සහාය දීමෙන් රජය පවත්වාගෙන යාමට හැකියාව පවතී.
එලෙස ආණ්ඩුවෙන් පිටත සිට සහාය දෙන පක්ෂවල සහයෝගය අහිමි වන ඕනෑම මොහොතක අන්තර්වාර ආණ්ඩුවක් කඩා වැටීමටද අවකාශ ඇත. මෙයට යෝග්‍ය උදාහරණ ගණනාවක් අපේ දේශපාලන සම්ප්‍රදායම අනුගමනය කරන අසල්වැසි ඉන්දියාවේ දේශපාලන ඉතිහාසය පරීක්ෂා කරන විට හඳුනාගත හැක. එරට පාර්ලිමේන්තුවේ (ලෝක් සභාවේ) මන්ත්‍රී ආසන ගණන පන්සිය හතළිස් තුනකි. එහෙත් පසුගිය කාලයේ මහජන මන්ත්‍රීන් 25 දෙනකුට වඩා අඩු සහායක් ඇති තිදෙනෙක් අන්තර්වාර ආණ්ඩුවල අග්‍රාමාත්‍ය ධුර හෙබවූහ. ඒ අනුව ඉන්දියාවේ අටවැනි අගමැති වූ ශ්‍රී චන්ද්‍රශේකර් 1990 - 1991 කාලයේ වසරක් පමණ අග්‍රාමාත්‍ය පදවියේ සිටියේය. එසේම එරට 11 වැනි අග්‍රාමාත්‍යවරයා වූ එච්.ඩී. දේව් ගවුඩා 1996 - 1997 වසරවල මාස 10ක් අගමැති පදවිය හෙබවීය. ඉන්ද්‍රකුමාර් ගුජ්රාල් මහතා ඉන්දියාවේ 12 වැනි අග්‍රාමාත්‍යවරයා වූ අතර ඔහු 1997 - 1998 කාලයේ වසරක් පමණ ආණ්ඩුවේ නායකත්වයේ ක්‍රියා කළේය. මෙම තිදෙනාම පවත්වාගෙන ගියේ සුළුතර අන්තර්වාර ආණ්ඩු ය. මෙම ක්‍රමයේ විශේෂත්වය වන්නේ බලවත් ආණ්ඩුවක් බිඳවැටුණු විට නැවතත් ප්‍රමාණවත් බලය සහිත ආණ්ඩුවක් පත්වන තෙක් අන්තර්වාර පාලනයක් පවත්වාගෙන යාමය. එබඳු අන්තර්වාර ආණ්ඩු බොහොමයක් දීර්ඝායුෂ විඳ නැති බව ඉන්දීය උදාහරණවලින් සනාථ වෙයි.
ශ්‍රී ලංකාවේද මෙවර ස්ථාපිත කිරීමට විපක්ෂය යෝජනා කරනු ලබන්නේ මෙම පන්නයේ ආණ්ඩුවකි. නව ආණ්ඩුව පිහිටුවීමට පෙර දැනට බලයේ සිටින අග්‍රාමාත්‍යවරයා විශ්වාසභංග යෝජනාවක් මගින් ඉවත් කරන බව ප්‍රකාශ වී ඇත. මෙම දේශපාලන පසුබිමේ යෝජිත අන්තර්වාර ආණ්ඩුව පිහිටුවීම සම්බන්ධයෙන් ඉදිරි සතියේ තීරණාත්මක යමක් සිදුවෙතැයි අපේක්ෂා කළ හැක.
අන්තර්වාර පාලනය ස්ථාපිත කිරීම පිළිබඳ මත ප්‍රකාශ කරන ලද විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සඳහන් කර ඇත්තේ දැනට ජනතාව දැඩි ලෙස පීඩාවට පත්කර ඇති ප්‍රශ්න ගණනාවක් කඩිනමින් විසඳා නිශ්චිත කාලයක් තුළ සහන සැලසීමට අපේක්ෂා කරන බවයි. අප දන්නා පරිදි මේ වනවිට රටේ හටගෙන තිබෙන දැවෙන ප්‍රශ්න රාශියකි. විදුලිය කප්පාදුව, ගෑස් හිඟය, ඉන්ධන හිඟය, බෙහෙත් හිඟය මෙන්ම අධික ජීවන වියදම, ඩොලරයට සාපේක්ෂව රුපියල කඩා වැටීම වැනි ව්‍යාකූල අර්බුද රැසක් සඳහා සමාජය කඩිනම් විසඳුම් අපේක්ෂා කරයි. විශේෂයෙන්ම ජනතාවට දරාගත නොහැකි ලෙස භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යෑම මෝස්තරයක් බවට පත්ව තිබේ. ඒ අතර රට පුරා නොයෙක් හේතු මත ක්‍රියාත්මක වන වැඩවර්ජන හා වෘත්තීය අරගල ද් ජන ජීවිතයට එල්ල කරන බලපෑම් සුළු පටු නොවේ. ඇතැමුන් පවසන්නේ මෙම සියලු වෘත්තීය අරගල ක්‍රියාත්මක වන්නේ දේශපාලනයේ පවිත්‍ර වෙනසක් වෙනුවෙන් බවයි.
එම නිසා ලෙඩේට හොඳම බෙහෙත ලෙස යෝජනා වී ඇත්තේ අන්තර්වාර ආණ්ඩුවකි. එහි සංයුතිය කවරාකාරදැයි මෙතෙක් ප්‍රකාශයට පත්ව නැතත් පිහිටුවන ආණ්ඩුවට කෙටි කලක් තුළ විසඳීමට ඇත්තේ සංකීර්ණ ප්‍රශ්න පත්‍රයකි. ඒ සඳහා විධිමත් උපායමාර්ග මෙන්ම සැලසුම් සහගත වැඩපිළිවෙළක් ද අවශ්‍ය වේ. පුද්ගලයන්ගේ තනතුරු හා නිලතල මාරුවීමේ වාසිය ජනතාවට ලැබෙන්නේ එම වගකීම් බාරගන්නා අය අර්බුද විසඳීමේදී දක්වන කෞශල්‍යය අනුවය. ආණ්ඩුව මාරු වූ පසුත් ජනතා ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් නොලැබුණහොත් එය තවත් සංකීර්ණ දේශපාලන අර්බුදයකට පාර කපන්නට ඉඩ ඇති බව සිහිපත් කරනු වටී.
(***)