පාස්කු ඉරිදා ප්‍රහාරය මුළු ලොවම සසල කළේය. එමෙන්ම කොන්දේසි විරහිතව හෙළා දුටුවේය. අවුළුවාගත් මහා මිනිස් අනුරාගයෙන් යුතු සාමයට ළැදි සකල ජනී ජනයා එක්සත්ව එක්සිත්ව එක් පෙරමුණක සිටගත්හ.
අවධාරණය කළ යුතු වැදගත් කාරණාවක් තිබේ. නොමළවුන් නිදිගත් බිමක මළවුන් උදෙසා යුක්තිය ඉටු නොවේ. පාස්කු ඉරිදා අනපේක්ෂිත ලෙස මරණයේ කළු කුහරයේ සැඟවී ගිය නම නොදන්නා නෑදෑවරුන්ට යුක්තිය ඉටුවිය යුතුය. තමන් නොදන්නා හා තමන් නොකළ වරදකට තම ප්‍රාණයෙන් හා ඇස් ඉස් මස් ලේවලින් වන්දි ගෙවූ නෑදෑවරුන්ට යුක්තිය ඉටු විය යුතුය. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උත්ථානය වූ දිනයේ මරණයෙන් වන්දි ගෙවූ ජනයාට සාධාරණත්වය හිමිවිය යුතුය. එය මේ මොහොතේ හුස්ම ගන්නා නොමළ සියල්ලන්ගේ අනුල්ලංසනීය වගකීමකි.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ වගකීම ඉස්ලාම් අන්තවාදී සංවිධානයක් වන තවුහිත් ජමාත් සංවිධානය බාරගෙන තිබේ. එහි මෙහෙයුම් වගකීම අයිඑස්අයිඑස් සංවිධානය බාරගෙන තිබේ. එය එක්තරා ආකාරයකින් මේ මොහොතට අදාළව වැදගත්ය. එයට හේතුව අන්තවාදී කුරිරු බලවේගවලට එසේ තම සිතැඟි ඉටුකර ගැනීමට අවැසි බාධා විරහිත පරිසරයක් නිර්මාණය කරදීම සම්බන්ධයෙන් මෙරට තුළ කවරකු හෝ වගකීම බාර ගැනීමට ඉදිරිපත් නොවීමය.
“ජයග්‍රහණයට පියවරුන් දහසක් බවත් පරාජය අවජාතක බවත්” කියති. මේ මොහොතේ අප අත්විඳිමින් සිටින බියකරු යථාර්ථය එය ය. එහි තාර්කික ප්‍රතිඵලය ඊළඟ ප්‍රහාර මාලාව සැලසුම්වීම ය. එළඹගත් සිහියෙන් යුතුව කටයුතු කළ යුතු වන්නේ එහෙයිනි.
ඇතැමෙකුට ප්‍රශ්න යනු අවමඟුල් පෙරහරක පාවාඩයක් බඳුය. අවමඟුල් පෙරහරක පාවාඩයක් යනු පෑගීමෙන් පසුව හිසට ඉහළින් විසි කරන්නකි. ඒ යළිත් පෑගීම පිණිසය. තමන්ගේ දැනුමේ ප්‍රතිභාව හා මහන්තත්වය ප්‍රකට කිරීමට ඇතැමකුට ප්‍රශ්න යනු කදිම අවස්ථාවකි. නිසරු වාගාලාපයන්ගෙන් බිඳකුදු වෙනස් නොවන නමුදු ඒ කටමැත දෙඩවීම් නිරන්තරයෙන් ඇසේ. එහි ප්‍රතිඵලය වන්නේ ප්‍රශ්න තවත් සංකීර්ණවීමය. ප්‍රශ්න නිට්ටාවටම නිරවුල් කරගැනීමට ඇති අවස්ථා ඇහිරීයාම ය.
පාස්කු ඉරිදා ප්‍රහාරය අන්තවාදී මුස්ලිම් කල්ලියකගේ ක්‍රියාවකි. එය වසන් කළ නොහැකිය. එමනිසා මෙම ප්‍රහාරයට සමස්ත මුස්ලිම් ප්‍රජාවම වගකිව යුතු යැයි සබුද්ධික ජනයා නොසිතති. මේ වූ කලී බහුතරයක් ශිෂ්ට මුසල්මානුවන් අතර සිටි සුළුතරයක් වූ අශිෂ්ට අන්තවාදීන්ගේ සාහසිකත්වය ප්‍රදර්ශනය කිරීමකි.
එසේ නම් මේ මොහොතේදී පෙරට ආ යුත්තේ මුස්ලිම් ආගමික නායකත්වය වේ.
බෞද්ධ අන්තවාදීන්ගේ ඇතැම් අකැප ක්‍රියා වාර්තා වනවිට බෞද්ධ ආගමික නායකත්වය ඒ සම්බන්ධයෙන් දැඩිව අවධානය යොමුකළ බව ආසන්න මෑත අතීතයේ වුවද පැහැදිළිය. එම අන්තවාදී අවකල් ක්‍රියා පාලනය කිරීමට එම මැදිහත්වීම ඍජුව බලපෑවේය. එය වූකලී ආගමික නායකත්වය සතු වගකීමකි. යුතුකමකි. බෞද්ධ ආගමික නායකත්වය එසේ මැදිහත් නොවූයෙන් බුදු දහම සම්බන්ධ කෙස් පැලෙන තර්ක හරඹ පාමින් වීරත්වය ප්‍රකට කරවන්නෝ පිටස්තරයෝ ම වෙති. නැති ප්‍රශ්න ඇතිවීමට එය එක් හේතුවකි.
තරුණයන් නොමග යා හැකිය. එය එක අතකින් බලාපොරොත්තු විය යුත්තකි. ඒ සඳහා විවිධ සාධකද බලපානු ලබයි. හේතුවකින් තොරව ඵලයක් හට නොගන්නා බව ඒකාන්ත සත්‍යයකි. එහෙයින් මෙම තත්ත්ව මැනවින් පිරිසිඳ දැන එම සමාජයට නායකත්වය දී යහපත් අරමුණු කරා මෙහෙයවීම ආගමික නායකත්වයේ වගකීමය.
තරුණයන්ට සුරංගනා ලෝක මවා පා ඒ හරහා තම මැතිසබ සිහින ඉටුකර ගැනීම වැරදි බව එල්ටීටීඊ යුද අත්දැකීම වුවද ප්‍රමාණවත් සාක්ෂියකි. තම නායකයන් තමන්ට මවා පෙන්වූ වෙනම රාජ්‍යයක් යථාර්ථයක් නොවන විට තරුණයෝ පළමුව තම නායකයන් මරා දැමූහ. අප්පාපිල්ලෙයි අමිර්තලිංගම්ගේ සිට තිරුචෙල්වම් දක්වා දෙමළ නායකයෝ තරුණයන්ගේ අවිවලට බිලි වූහ. අවසානයේදී අළුවලින්ම විමුක්තිය පැතු ඔවුහු වැනසී ගියහ.
ඉතිහාසය සුරුවමක් කර නොගෙන පෙළ පොතක් බවට පත් කර ගත යුතු වන්නේ එහෙයිනි. කොටි සංවිධානය කෙතරම් බිහිසුණු ප්‍රචණ්ඩ මෘග ක්‍රියා කළද බහුතරයක් ජනයා දියෙන් කිරි වෙන්කර ගන්නා හංසයකු මෙන් එල්ටීටීඊ සංවිධානය හා දෙමළ සමාජය වෙන්කර හඳුනාගත්හ. ඒ මහ ප්‍රඥාව කොතරම් ප්‍රබලද යත් 2009 මැයි 19 වැනිදා වාර්තා වූ යුද ජයග්‍රහණය මෙරට ජනයා සමරණු ලැබුවේ දෙමළ ජනයාගේ දේපොළවලට නියපොත්තක හෝ සීරීමකින් තොරව ය.
ඒ බලගතු ආදර්ශය යාවත්කාලීන කළ යුතුය. මේ මොහොතේ එළැඹ ඇති අභියෝගය ජයගැනීමට හැකිවනු ඇත්තේ ඒ සාමුහික විචාර බුද්ධියෙන් කටයුතු කිරීමෙන් ම පමණි.