අනාගත ජනගහනය වෙනුවෙන් මතුවන ප්‍රශ්නවලට මූණදෙමු


2023 වසරේදී ලෝක ජනගහනය හත් කෝටි පනස් ලක්ෂයකින් එනම් මිලියන 75 කින් වැඩි වී ඇති බව ඇමරිකා එක්සත් ජනපද සංගණන දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කළ පුවත නොබෝදා අප පුවත්පතේ පළ වූයේය. ඒ අනුව 2024 ජනවාරි පළමුවැනිදා වන විට ලෝක ජනගහනය කෝටි අටසීයක් හෙවත් බිලියන 8කි. ඒ බව කල්තියාම පුරෝකථනය කර තිබිණි.

මේ අතර මිලියන 23ක් දක්වා අප රටේ ජනගහනය වර්ධන වීම සම්බන්ධයෙන් අපට බලපාන අපේම ගැටලු‍ නැතුවා නොවේ. එහෙත් ලෝක ජනගහන තොරතුරු ගැන විමසිල්ලෙන් පසුවෙමින් ඊට අදාළ තොරතුරු ගැන දැනුවත්ව සිටීම වැදගත් වනුයේ එකී කාරණා ඍජුව හෝ වක්‍රව අපගේ සමාජ, දේශපාලන හා ආර්ථික කටයුතුවලටද බලපෑම් කරන බැවිනි.

වර්තමානයේ පවතින වර්ධන අනුපාතයෙන් ලෝක ජනගහනය වැඩිවීම නිසා 2050 වන විට බිලියන නවයයි දශම හය දක්වා ද, 2100 වන විට බිලියන දොළහයි දශම තුන දක්වා ද ලෝක ජනගහනය වැඩි වෙතැයි පුරෝකථනය කර තිබේ.

මෙකී ලෝක ජනගහනය වැඩිවීම මතු පරම්පරාවල ජීවන මට්ටම පහතට ඇද දැමීමට දැඩි සේ බලපෑම් කරන බවට සහේතුක අනාවැකි පළවෙමින් තිබේ. අප ඉදිරි ලෝකය දකින්නේ වර්තමාන තත්ත්වය එනම් වර්තමානයේ පවතින ලෝක ආර්ථික දේශපාලන හා තාක්ෂණික දියුණුව සසඳා බැලීමෙනි. එහෙත් මේ සාධක අතරින් තාක්ෂණය යන සාධකය පුරෝකථනවලට හසු නොවන තරමින් වර්ධනය වන්නකි. මිනිසා වනසා දැමිය හැකිය එහෙත් පරාජය කළ නොහැකිය යනුවෙන්, අර්නස්ට් හෙමින්වේ කී අදහස කෙරෙහිද මෙහිදී අවධානය යොමු කළ යුතුවේ.

මතු පරම්පරාවල ජීවන මට්ටම පහත වැටෙතැයි මූලික වශයෙන් අපේක්ෂා කෙරෙනුයේ, වැඩිවන ජනගහනයට සාපේක්ෂව ආහාර නිෂ්පාදනය වැඩි කළ යුතු බැවිනි. ගණන් බලා ඇති අන්දමට 2050 වනවිට බිලියන  9.6 දක්වා ලෝක ජනගහනය වැඩිවන්නේ නම්, නිසි පරිදි ලෝකයා පෝෂණය කරන්නට දැනට පවතින වගා බිම් ප්‍රමාණය සියයට තිස් හයකින් වැඩි කළ යුතු වේ. ඒ දැනට පවතින කෘෂි තාක්ෂණය ඔස්සේය. එහෙත් මේ වන විට ලෝකයේ ආහාර නිෂ්පාදන කාර්යාවලිය සිව්වැනි හරිත විප්ලව අවධියට එළඹෙමින් පවතී. බෝග වගාව උදෙසා වූ තාක්ෂණය එම සිව්වැනි හරිත විප්ලවය තුළ තාක්ෂණිය අතින් වඩා දියුණු තත්ත්වයට පත්ව තිබේ. මීතේන් වායුව නිකුත් වීම මඟ හරිනු වස් සත්ව නිෂ්පාදන කටයුතු අවම කිරීමට ලෝක ප්‍රජාව එකඟ වී සිටි. ඒ අනුව කෘත්‍රිම මාංශ නිෂ්පාදනය මේ වන විට සාර්ථක ලෙස අත්හදා බලා තිබේ.

ආහාර නිෂ්පාදනය අතින් ලෝකය දැනට පවතින්නේ සතුටුදායක තත්ත්වයක නොවේ. දැනට ජීවත් වන බිලියන අටක ජනගහනයෙන් බිලියන එකක් පමණ ජනයා එනම් සීයට දාහතක් මේ වන විට සාගතයෙන් පෙළෙති. පෘථිවි ගෝලයේ සියයට 70 ක් පමණ ජලයෙන් වැසී තිබුණත්, මිනිසාට පානය පිණිස සුදුසු වන්නේ ඒ ප්‍රමාණයෙන් සියයට එකයි දශම දෙකක් (1.2) පමණකි. එම නිසා ලෝක ජනගහනයෙන් තුනෙන් එකක් මේ වන විට ප්‍රමාණවත් ජලය නොමැති කමින් පීඩා විඳිති. දිනකට ළදරුවෝ දහසක් පමණ අපිරිසුදු ජලය පානය කිරීම හේතුවෙන් මිය යති.

වැඩිවන ලෝක ජනගහනයට සෞඛ්‍ය පහසුකම් ලබා දීම, විරැකියාව වැඩි වන අතර ජනයාට රැකියා සැපයීම, සීමිත ස්වභාවික සම්පත් භාවිතය වැඩිවීම යන ගැටලු‍, ඉදිරියේ තවමත් ඇත්තේ ප්‍රශ්නාර්ථය ලකුණයි. මේ සියලු‍ ගැටලු‍ මිනිසාගේ යහපැවැත්ම උදෙසා පෘථිවියට ඇති හැකියාව සීමා කරනු ලබයි.

පෘථිවි පෘෂ්ඨයේ සියයට හැත්තෑවක් සාගර විල් සහ කලපු ආදියෙන් වැසී යද්දී, තවත් සියයට විසි එකක ප්‍රමාණයක් මිනිස් වාසයට හිතකර නොවන ධ්‍රැව ප්‍රදේශ කඳු හෙල් ආදියෙන් වැසී පවතී. එම නිසා එක් අතකින් ජනගහනය වැඩි වන අතර මිනිස් වාසයට සුදුසු බිම් සීමා වෙමින් පවතී. දිගින් දිගටම සිදුවන නාගරීකරණය ලෝක ප්‍රජාව ඉදිරියේ පවතින විසඳුම් නැති තවත් ගැටලු‍වකි.

මුහුදු දූෂණය වැඩිවීම නාගරීකරණයේ ඍජු ප්‍රතිඵලයකි. ප්ලාස්ටික් පොලිතින් ආදිය මුහුදු ජලයට එකතුවීම මුහුදේ ජීවත් වන ජීවීන්ට පමණක් නොව මිනිසාගේ ස්වසන ක්‍රියාවලියට ද බලපාන්නකි.

වාසභූමි හා කෘෂිකාර්මික කටයුතු උදෙසා කැලෑ එළි කිරීම ඍජුවම බලපෑම් කරනුයේ ඔක්සිජන් චක්‍රය ක්‍රියාත්මක වීම අවහිර කිරීමටයි. දිවා කාලයේ දී කාබන් ඩයොක්සයිඩ් වායුව අවශෝෂණය කොට ඔක්සිජන් මුක්ත කිරීම වෘක්ෂයක ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය ඔස්සේ සිදුවන බව පාසල් යන දරුවෝ පවා දනිති. වන විනාශය නවතා දැමීමටත් සාගර දූෂණය අවම කිරීමටත් ලෝක ප්‍රජාව දරන උත්සාහයට අප උර දිය යුත්තේ ජීවත් වන්නට හුස්ම ගත යුතු බැවිනි.

(***)