අනාගත පරම්පරාවට හොඳ පරිසරයක් හදමු


තනි භාවිත සහ කෙටි කාලීන ප්ලාස්ටික් මාර්තු මස 31 වැනිදා සිට තහනම් කරමින් පරිසර ඇමැති මහින්ද අමරවීර මහතාගේ අත්සනින් යුත් ගැසට් පත්‍ර දෙකක් නිකුත් කර ඇති බව අප පුවත්පත ඊයේ වාර්තා කළේය. ජාතික පාරිසරික පනතේ පරිසර ඇමැතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව ප්ලාස්ටික් නියාමනයට අනුව නිකුත් කර ඇති ගැසට් පත්‍ර දෙකෙන් කෘෂි රසායන ද්‍රව්‍ය ඇසුරුම් කිරීම සඳහා පොලි එතිලින් ටෙරප්තැලේට් හා පොලිවිනයිල් ක්ලෝරයිඩ් යන ප්ලාස්ටික් වර්ග දෙක තහනම් කර ඇත. එමෙන්ම ශුද්ධ පරිමාව මිලිලීටර් 20ට හෝ ග්‍රෑම් 20ට අඩු සැෂේ පැකට් ද තහනම් කර තිබේ.

සංහාරයෙන් පසුව සංරක්ෂණය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට සිදු වී තිබේ. මානව සමාජයේ එකම අරමුණ දියුණුව යැයි පැවසිය හැකිය. ඒ වෙනුවෙන් තෝරාගත යුතු වඩාත් නිවැරැදිම වර්ගය කුමක්දැයි එළැඹ ගත් සිහියෙන් යුතුව මෙනෙහි කිරීමට මානවයා කාලය මිඩංගු නොකළහ. එහිදී විශේෂ අවධානය යොමු වූයේ පහසුව කෙරෙහිය. වරක් පාවිච්චි කිරීමෙන් පසුව ඉවත දැමිය හැකි භාණ්ඩ භාවිතය පහසුව ලෙස අර්ථ දක්වා ගැනුණි. එම පහසුව සපයන වරක් පාවිච්චි කළ හැකි භාණ්ඩ කෙතරම් දුරට සෞඛ්‍යාරක්ෂිත ද පරිසර හිතකාමී ද යන්න සම්බන්ධයෙන් අවධානය යොමු නොවීය. වරක් පාවිච්චි කිරීමෙන් පසුව ඉවතලෑමෙන් පසු තමන් නිදහස් යැයි මිනිසා සිතුවේය. එහි තාර්කික වන්දිය නූතන පරම්පරාවන්ට මෙන්ම අනාගත පරම්පරාවන්ට ගෙවීමට සිදුවී තිබේ.

කෘෂි රසායන ද්‍රව්‍ය ඇසුරුම් කිරීම සඳහා යොදාගත් පොලි එතිලින් ටෙරප්තැලේට් හා පොලිවිනයිල් ක්ලෝරයිඩ් යන ප්ලාස්ටික් වර්ග දෙක පරිසරයට කෙතරම් මාරක දැයි පැහැදිලි වන්නේ ඒවා ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි නිසාවෙනි. එසේ ප්‍රතිචක්‍රීය කළ නොහැකි ප්ලාස්ටික් වර්ග මහ පොළොව මත ගොඩගසා තිබීමෙන් සිදුවන පාරිසරික හානිය මෙන්ම මිනිස් ජීවිතවලට කරන හානිය ගණනය කළ නොහැකිය.

තිරසර සංවර්ධනය යනු වර්තමානය වනවිට ලොව පිළිගත් ඉහළ සංවර්ධන ක්‍රමවේදයකි. එහිදී සංවර්ධනය තාවකාලික නොවන බවත් මතු පරම්පරා කෙරෙහි විහිදී යා යුතු බවත් අවධාරණය කෙරේ. එමෙන්ම භෞතික දියුණුව මෙන්ම මානව ප්‍රගතිය අපේක්ෂා කරන සංවර්ධන ක්‍රමවේදයකි. වන ගහණය අඩුකර කොන්ක්‍රීට් වනාන්තර ඉදිකිරීමෙන් හා පාරිසරික තුළනය බිඳ වැටෙන ක්‍රමෝපාය මගින් සිදුවන සංවර්ධනය තාවකාලිකය. එමෙන්ම එය අනතුරුදායකය. එහෙයින් යළිත් පාරිසරික තුළනය රැකෙන සංවර්ධන ක්‍රමවේදයකට මානව සමාජයට ඉක්මනින්ම සීරු මාරුවීමට සිදුවේ.

නිෂ්පාදකයා මෙන්ම මහ ජනතාවද පාරිසරික සාධක සම්බන්ධයෙන් එතරම් තැකීමක් නොකළේය යන්න සත්‍යයට වඩාත් සමීප වූවකි. මහා වනාන්තර රැයෙන් දෙකෙන් හෙළි පෙහෙළි වන්නේ එහෙයිනි. එමෙන්ම මහ පොළොවට දරා උසුලාගත නොහැකි නොදිරන ප්ලාස්ටික්වලින් පොළොව පුරවා තබන්නේ එහෙයිනි. මිනිසා සොබාදහමට එරෙහිව යමින් පොළොව ප්ලාස්ටික්වලින් පුරවා තැබුවේද යත් සියවසකින් පසුව පැමිණි මාරක වසංගතය ඉදිරිපිටදී මිනිසාට සිදුව තිබෙන්නේ ප්ලාස්ටික්වලින් පොලිතින්වලින් තම මුළු සිරුරම වසාගෙන ජීවත්වීමටය. සොබාදහමට එරෙහිව ගිය මානව සමාජයට සොබාදහම දඬුවම් දී ඇත්තේ එසේය.

මිනිස් සමාජයට වළ කපන ප්ලාස්ටික් හා පොලිතින් භාවිතයෙන් ඉවත්වීමට තවත් කාලය මිඩංගු කළ යුතු නැත. එය දැන් දැන් වහ වහා කළ යුත්තකි. එමෙන්ම මෙම ක්‍රියාදාමය නීති පැනවීමෙන් පමණක් කළ හැකි දෙයක් නොවේ. මිනිසා සිය ආකල්ප වෙනසක් සමග මෙම ක්‍රියාදාමයට ආධ්‍යාත්මිකව කැපවිය යුතුය. එය අවංක විය යුතුය.

මානව සමාජයේ ඉදිරිය වෙන්වනු ඇත්තේ වයිරස් යුද්ධ සඳහාය. අද කොරෝනා ය. හෙට දවසේ කුමන මාරාන්තික වයිරසයකට මිනිසාට මුහුණ දීමට සිදුවනු ඇද්දැයි නිගමනය කළ නොහැකි තරම්ය. එහෙයින් මිනිසා ඉදිරිපිට අනුල්ලංඝණීය වගකීමක් තිබේ. එනම් සොබාදහම සමග කොන්දේසි විරහිත සංවාදයකට යාමය.

පරිසර හිතකාමී භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ දිශාවට නිෂ්පාදකයා ගමන් කළ යුතුය. එමෙන්ම පරිසර හිතකාමී භාණ්ඩ මිලදී ගැනීමට ජනතාව යොමුවිය යුතුය. ඒ වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැපයීම රජයේ වගකීමය. නීති පැනවීමෙන් අපේක්ෂා කරන තත්ත්වය ඉක්මනින් ඇති කරගත හැකි වනු ඇත්තේ එමගිනි.


(***)