“විනයෝ නාම ශාසනස්ස ආයු” යනුවෙන් බුදුපියාණෝ වදාළහ. එහි අර්ථය නම්, “ශාසනය පවතින්නේ විනය පවතින තුරු” යන්නය. මෙම අර්ථය සමාජයේ සෑම ක්ෂේත්‍රයකටම අදාළව මැනවින් ගළපාගත හැකිය. අදාළ බුදු වදන උපුටා ගනු ලැබුවේ අප පුවත්පත ඊයේ වාර්තා කළ ප්‍රධාන ප්‍රවෘත්තිය සම්බන්ධයෙනි.
අප පුවත්පත ඊයේ වාර්තා කළ ප්‍රධාන ප්‍රවෘත්තියෙන් කියැවුණේ අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන අනුරාධපුර සහිරා විද්‍යාලයේදී සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පසු සිසුවකුගේ මවක විභාග මධ්‍යස්ථානයට කඩාවැදී සිසුන් පිරිසකට පහරදීමට යාමේදී එහි දැඩි නොසන්සුන්කාරී තත්වයක් උද්ගතවූ බවය. සිද්ධිය වාර්තා වන්නේ ඉකුත් 14 වැනිදාය.
පළමුව මවගේ හැසිරීම ගැන සලකා බැලිය යුතුය. දස මසක් කුස දරා ගත රුහිරු කිරි කර පොවා හැදූ වැඩූ තම ආදරණීය දරුවකුට යම් අයකු පහර දෙන්නේ නම්, එය මවකට දරා උසුලා සිටිය නොහැකිය. දාරක ස්නේහය යනු එයයි. එහෙත්, එම මවගේ හැසිරීම දාරක ස්නේහය ඉක්මවා ගිය ප්‍රචණ්ඩ හැසිරීමකි. චණ්ඩිකමක් ප්‍රදර්ශනය කිරීමකි.
ප්‍රශ්නය කුමක් වුව ද එයට උත්තරයක් තිබේ. ඇතැම් විට උත්තර ගණනාවක් තිබිය හැකිය. එම උත්තර ගණනාවෙන් නිවැරැදිම උත්තරය සොයා ගැනීමට හැකි විය යුතුය. එයට ඉතා පැසුණු මනසක් මොළයක් තිබිය යුතුය. “විද්‍යා දදාති විනයං” යනුවෙන් සඳහන් වන්නේ, විද්‍යාවෙන් හෙවත් අධ්‍යාපනයෙන් විනය ඇති කරන බවය. පිළිතුරු ගණනාවකින් නිවැරැදිම පිළිතුර සපයා ගැනීමට විනය අත්‍යන්තයෙන්ම උපකාරි වේ. එම විනය ඇති වීමට නම්, අධ්‍යාපනය ලබා තිබිය යුතුය.
විභාග මධ්‍යස්ථානයකට කඩාවැදී සිසු පිරිසකට පහරදීමට තැත් කළ බව කියන මව අධ්‍යාපනයක් ලබා ඇතැයි සිතිය නොහැක. නිසි අධ්‍යාපනයක් ලබා තිබුණේ වී නම්, එම මවගෙන් එබඳු මුග්ධ, වියරු හැසිරීමක් ප්‍රදර්ශනය විය නොහැක. සැබැවින්ම එම මව කර ඇත්තේ දරු සෙනෙහස ප්‍රදර්ශනය කිරීම නොව, මුළු රටක් ඉදිරිපිට තම නිරුවත ප්‍රදර්ශනය කිරීමය. එය මවකට තරම් නොවන බව ඉඳුරාම ප්‍රත්‍යක්ෂය.
පාසල් දරුවන්ගේ විනය බොහෝ සෙයින් පිරිහී ඇති බව බොහෝ සිදුවීම්වලින් පැහැදිලි වේ. සිසුන් දෙපිරිසක් ‘මරාගෙන’ තිබෙන්නේ තමන්ගේ ජීවිතයේ අනාගතය තීරණය කරනු ලබන තීරණාත්මක කඩඉම් විභාගයක් අතරතුරදීය. මවුපියන් මෙන්ම ගුරුවරුන් ද ඒ බව දරුවන්ට එයට හිමි නිසි අර්ථයෙන් හා ගැඹුරින්ම ඒත්තු ගන්වා තිබිය යුතුය. මෙතැන එවැන්නක් සිදු වී ඇති බවක් නොපෙනේ.
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුවා සිටින්නේ තාරුණ්‍යයේ එළිපත්තේය. ඔහු තවම වැඩිහිටියෙක් නොවේ. ඔහු නියත වශයෙන්ම වැඩිහිටියාගේ ආරක්ෂාව යටතේ සිටිය යුත්තෙකි. එමෙන්ම, ස්වාධීනව තීරණ ගැනීමේ අයිතියක් ද දරුවාට නැත. දරුවාගේ ලෝකයේ දිග පළල දරුවාට පහදා දීම මවුපියන්ගේ සේම ගුරුවරුන්ගේ ද වගකීමකි. මෙම සිද්ධියෙන් කියැවෙන්නේ සමාජය කෙතරම් දුරට පරිහානිය කරා ගමන්කර ඇත්ද යන කාරණයයි.
මෙම පාසලට කඩාපැන යකා නැටූ අවස්ථාවේ එම පරිසරය සම්බන්ධයෙන් චිත්‍රයක් මවා ගැනීම අසීරු නැත. අප සමාජයක් වශයෙන් ගමන් කරමින් සිටින්නේ කොතැනට ද යන්න මෙම සිදුවීමෙන් ද මනාව පැහැදිලි වේ. මාපියන් බලාපොරොත්තු වන්නේ, තම දරුවන් මැරයන්ගෙන් බේරා ගැනීමටය. එහෙත්, අප අවධාරණය කරනනේ එතැනින් එහාට ද ගමන් කළ යුතු බවය. එනම්, තම දරුවන්, මැරයන්ගෙන් බේරා ගැනීම පමණක් නොව, තම දරුවන් මැරයන් බවට පත්වීමෙන් ද වළක්වාගත යුතු බවය. එසේ නොවුණහොත්, රටේ අනාගතය අති බිහිසුණු වීම වළක්වාලිය නොහැක.
(***)