අපේ විශ්‍රාමික යුද සෙබළුන් යුක්රේන යුද්ධයට බිලිදෙනු එපා


රුසියානු - යුක්රේන යුද්ධය ලෝක සාමයට බරපතළ තර්ජනයකි. බලවත් රටවල ආර්ථිකයට මෙන්ම අප වැනි දුබල රටවල ආර්ථිකයට ද එමගින් එල්ල වී ඇති බලපෑම අති ප්‍රබලය. ඒ සියල්ලටම අමතර බරපතළ ප්‍රශ්නයකට අප රට මුහුණ දී සිටී. ඒ එම යුද්ධයට අදාළව මහා පරිමාණයෙන් සිදුකර ගෙන යනු ලබන මිනිස් ජාවාරමය.

අප පුවත්පත ඊයේ වාර්තා කළ ප්‍රවෘත්තියකින් කියැවුණේ රුසියානු - යුක්රේන යුද්ධය සඳහා මෙරට විශ්‍රාමික හමුදා නිලධාරීන් කුලී හේවායන් ලෙස එරටට යවා මිනිස් ජාවාරම් කිරීමේ මහ මොළකරු බව කියන හිටපු මේජර් ජනරාල්වරයකු සහ ඔහුට සහාය දුන් හිටපු සාජන් මේජර්වරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් වෙෙළඳ‌ාම් ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබ සිටින බවය. ඒ අනුව මෙම මිනිස් ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සංඛ්‍යාව හතර දෙනකු දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම මිනිස් ජාවාරම සම්බන්ධ සුලමුල හෙළි වූයේ රුසියානු යුද්ධයට කුලී හේවායන් ලෙස මෙරටින් ගිය පිරිසකගෙන් දිවි බේරාගෙන යළි මෙරටට පැමිණි හිටපු හමුදා සෙබළුන් දෙදෙනකුගෙනි. ඔවුන් දෙදෙනා නොවන්නට ඇතැම් විට මෙම මහා මිනිස් ජාවාරම කාලයේ වැලිතලාවෙන් වැසී යාමට ඉඩ තිබිණි.

ජාවාරම්කරුවන් පවසන්නේ රුසියානු හා යුක්රේන හමුදාවලට සහාය වීම පිණිස පිරිස් එරටට යවන බවය. එමෙන්ම ඔවුන්ට පැවරෙණ වගකීම වන්නේ යුද බිමේ නොව ඉන් බොහෝ දුර පිහිටි හමුදා කඳවුරුවල සේවය කිරීම බවය. ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 7 ක 8 ක වේතනයක් ලැබෙන බවය. එයට එකඟ වූවන්ගෙන් ජාවාරම්කරුවන් රුපියල් ලක්ෂ 15 ක පමණ මුදලක් ලබා ගන්නා බව ද වාර්තා වේ.

මෙය වූ කලී බරපතළ තත්වයකි. මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් රුසියාවට යුක්රේනයට යවනු ලබන්නේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මත නොවේ. එමෙන්ම එම රටවල් සමග ඇති කරගත් නෛතික භාවයකින් ද නොවේ. එහෙයින් එරටට යන යම් අයකුට කිසියම් ආපදාවක් වුවහොත් වන්දි ආදී කිසිවක් ලැබෙන්නේ ද නැත. එකඟ වූ පරිදි වැටුප් නොගෙවන බව ද වාර්තා වේ. එහෙත් ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනීමට කිසිදා නෛතික ප්‍රතිපාදනයක් නැත.

හමුදා කඳවුරුවල සේවයට යැයි කීව ද මෙරටින් යවනු ලබන විශ්‍රාමික හමුදා සාමාජිකයෝ සෘජුවම යුද පිටියට යවනු ලබති. මෙම විශ්‍රාමික හමුදා සාමාජිකයන් කොටසකට රුසියානු හමුදා සෙබළුන් සමග එක්ව යුද වැදීමට සිදුව තිබෙන අතර තවත් පිරිසකට යුක්රේන හමුදා සෙබළුන් සමග එක්ව සටන් කිරීමට සිදුව ඇත.

නිශ්චිතවම තොරතුරු නැතත් රුසියාවට හා යුක්රේනයට මෙරටින් ගොස් ඇති විශ්‍රාමික හමුදා සාමාජිකයන්ගේ සංඛ්‍යාව හාර පන්සියයක් පමණ වෙති. වාර්තාවන අන්දමට මෙරටින් ගිය විශ්‍රාමික හමුදා සෙබළුන්ගෙන් ඇතැමෙක් මරුමුවට පත්ව සිටිති. එහෙත් ඒ සම්බන්ධයෙන් නිල සංඛ්‍යා ලේඛන හෝ නිශ්චිත තොරතුරු නැත. ඒ සම්බන්ධයෙන් වගකීමක් බාර ගැනීමට අයකු ඇත්තේ ද නැත. මෙය ජාතික ව්‍යසනයක් ලෙස හඳුනාගත යුත්තේ ද එහෙයිනි.

මිනිස් ජීවිත සමග සෙල්ලම් කරන මෙබඳු ජාවාරම්කරුවන්ට උපරිම දඬුවම් ලබා දිය යුතුය. එමෙන්ම රුසියානු - යුක්රේන යුද බිම්වල දුක් විඳින ශ්‍රී ලාංකික විශ්‍රාමික හමුදා සෙබළුන් නිරුපද්‍රිතව මෙරටට රැගෙන ඒමට කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුය.

(***)