රට ගැන සිතා අවුරුද්දකට දෙකකට උද්ඝෝෂණ නවතා දමන ලෙස කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පාර්ලිමේන්තුවේ දී සියලුම පුරවැසියන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
ලක්ෂ සංඛ්‍යාත ජනකායකගේ සහභාගිත්වයෙන් දැනට මාස කිහිපයකට පෙර සිදුකළ අරගලය නිවී ගොස් ඇති මේ මොහොතේ ඉහත කී ඉල්ලීම ගැන මොහොතක් සිතා බලන ලෙස කරන ඉල්ලීම පොදු ජනතාවට කරන අවමානයක් නොවන්නේය. පොදු ජනතාව දියත් කළ අරගලය මාස 4ක් තිස්සේ පැවැත්විණි. එය කිසිදු නායකයකුගේ හෝ පක්ෂයක පෙළඹීම මත සිදු කළ අරගලයකැයි කිසිවකුට කිව නොහැකිය. අරගලය තුළ මතු වූ චරිත හෝ කණ්ඩායම් දෙසට ඇඟිල්ල දිගු කරමින් අරගලය දියත් කළේ ඔවුන් යැයි කියන කියමන පිළිගත නොහැක්කේ පොදු ජනයා අරගලයට සහභාගි වුණේ කාගේ හෝ පෙළඹවීම මත නොවන බැවිනි. තමන්ට දැනුන අසීරුතා නිසා පොදු ජනයා අරගල බිමට බසින්නට පෙළඹුණෝය.
එම අරගලයේ කෙටි කාලීන පොදු අරමුණක් හඳුනා ගත හැකිය. එවකට බලයේ සිටි ජනාධිපතිවරයා ඉවත් කර දැමීම එහි පොදු අරමුණ නොවූයේ යැයි කාට කිව හැකි ද? කෙසේ හෝ අරගලයේ ප්‍රතිඵලයක් ලෙස හිටපු කැබිනට් මණ්ඩලයටත් අගමැතිවරයාටත් ජනාධිපතිවරයාටත් ඉල්ලා අස්වන්නට සිදුවිය. රටේ ආර්ථිකය දරුණු ලෙස අගාධයට ඇද වැටෙමින් පොදු ජනයාගේ එදිනෙදා ජීවිතයට දැඩි ලෙස බලපෑම් එල්ල කරන විට පොදු ජනයා පාරට බැසීම විශ්මයට කාරණය නොවේ.
දැන් තැන තැන ඉඳහිට කරන උද්ඝෝෂණවලට අරගලයේ දී මෙන් පොදු ජන සහාය නොලැබේ. එයින් කාරණා කිහිපයක් වටහාගත හැකිය. අප්‍රේල් මාසයේ පටන් පොදුජනයා විඳි අසීරුතා මදක් ලිහිල්වී ඇත්තේය යන්න ඉන් එක් කාරණයකි. (ඉන්ධන හිඟය ගෑස් හිඟයත් මේ වනවිට යම් දුරකට විසඳි ඇත.) පොදු ජනතාව කුමාර වෙල්ගම මහතාගේ මතයේ සිටින්නේය යන්න එයින් මතුවන අනෙක් ඉඟියයි.
තමන් සිදු කළේ විප්ලවයක් නොව අසීරුතා ලිහිල් කර ගැනීම උදෙසා වූ අරගලයක් පමණක් බව මහජනයා තේරුම් ගෙන ඇත. අවුරුදු හතරෙන් හතරට බලයට එන ජනාධිපතිවරුන් අරගල කොට බලයෙන් පහ කිරීම ප්‍රායෝගික නොවන බව ද පොදු ජනයා දනිති.
සියලු දේ පරදුවට තබා නිරන්තරයෙන්ම අරගල හා උද්ඝෝෂණවල යෙදෙන්නට පොදු ජනයාට හැකියාව නැත. ජනතාව රැකී රක්ෂාවල යෙදිය යුතුය. වියදමට අතට කීයක් හරි ලැබෙන්නේ එවිටය. ජනතාව තම දරුවන්ට අධ්‍යාපනය ලබාදිය යුතුය. තමන් සමග ඉන්න රෝගීවූ ඥාති මිත්‍රාදීන්ට ඖෂධ හා ප්‍රතිකාර ලබාදිය යුතුය.
මේ වනවිට රටේ දරුවන් ලක්ෂ 57 සාගින්නේ පසුවන බව නොබෝදා වාර්තා විය. වසර දෙකක් තිස්සේ පාසල්වල හරි හැටි ඉගැන්වීමක් නොවීය. වසර දෙකක් තිස්සේ විශ්වවිද්‍යාල වසා දමා තිබිණි. මේ වනවිට රටේ අත්‍යවශ්‍ය ඖෂධ බොහෝ සෙයින් හිඟවී ඇත. රටේ විදේශ සංචිත සිඳී ගොස් ඇති නිසා අත්‍යවශ්‍ය ආහාර ඖෂධ කර්මාන්ත උදෙසා අමුද්‍රව්‍ය ආනයනය කර ගැනීම අසීරුය. ඊට වගකිවයුත්තන් වන්නේ මෙරට පාලනය කළ උදවියත් ඔවුන්ට ඡන්දය දී පත්කළ මහජනතාවත් බව වටහා ගත යුතුය.සියල්ල මෙසේ තිබිය දී අරගල සමයේ දැනුන අසීරුතා මේ වනවිට යාම්තමින් ලිහිල්වී තිබේ. තවදුරටත් උද්ඝෝෂණය කළහොත් සිදුවන්නේ රටේ තත්ත්වය තවත් දුක්ඛිත අතට හැරීම බව පොදුජනයා දනිති. උද්ඝෝෂණ හේතුවෙන් දැනට සාගින්නේ පසුවන ලක්ෂ 57ක් දරුවන් මන්දපෝෂණ තත්ත්වයට වැටිය යුතු නැත. උද්ඝෝෂණ හේතුවෙන් ඖෂධ සැපයීම අඩාලවී දැනටත් බෙහෙත් හිඟයෙන් පීඩා විඳින රෝගීන් මිය යායුතු නැත. උද්ඝෝෂණ හේතුවෙන් දැනට විවෘතව ඇති පාසල් හා විශ්වවිද්‍යාල නැවත වසා දැමිය යුතු නැත. දැනට සංචාරකයන්ගෙන් රටට ලැබෙන ඩොලර් කිහිපයක් හෝ උද්ඝෝෂණ නිසා නොලැබී ගොස් රටේ විදේශ සංචිත පතුලටම සිඳී යා යුතු නොවේ. මන්ත්‍රී වෙල්ගම මහතාගේ යෝජනාවෙ යථාර්ථය වන්නේ එයයි.
උද්ඝෝෂණවල සති පතා නිරතවී සිටින උදවිය පොදු ජනතාවගේ මතය තේරුම් ගත යුතුය. මියෙන්නට පණ අදින රටේ ආර්ථිකයට ජීවන හුස්ම පිඹින විට ඊට මදක් ඉඩ දිය යුතු බව පොදු ජනතාව නොදන්නවා නොවේ. උද්ඝෝෂණවල කැඳවුම්කරුවන් ඒ ගැන සිතා බැලිය යුතුය.
රටේ අර්ථිකය ගොඩ ගැනීමට සිදු කරනා ප්‍රතිව්‍යුහගත කිරීම්වලට බොදු විරෝධයක් මහජනතාව තුළින් පැන නැංගේ නැත. එහෙත් පාඩු ලබන රාජ්‍ය ආයතන පසෙක තබා ලාබ ලබන රාජ්‍ය ආයතන පෞද්ගලිකරණය කිරීමට ප්‍රමුඛතාව දීම පොදු මහජනතාවගේ විරෝධයට ආරාධනා කිරීමකි.
පොදුජන සිතුම් පැතුම්වල රිද්මය තේරුම් ගෙන සංහිඳියාව මතුකර ගැනීම උද්ඝෝෂකයන්ගේත් ආණ්ඩුවේත් වගකීම වේ. රට ඉදිරියට ඇදෙන්නේ සංහිදියාව තුළිනි.
(***)