අල්ලස් හුටපටේට ඈඳුණු දේශපාලන හාහූව


දේශපාලන ක්ෂේත්‍රයේ නම්බුව කෙලෙසන අල්ලස, දූෂණය සහ වංචාව මහා ව්‍යාධියක් මෙන් සමාජ දේහය ආක්‍රමණය කරමින් සිටියි. ලෝකයේ කොතරම් පිරිසුදු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන රටක වුවද වරින් වර මෙබඳු චෝදනා ගැන වාර්තා අසන්නට දකින්නට ලැබේ. පසුගියදා මෙරට ප්‍රචාරය වූ පුවතකින් කියැවුණේ ජපානයේ සුප්‍රකට ‘තායිසේ’ නම් සමාගම මෙරට ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියකින් කිසියම් අමාත්‍යවරයකු අල්ලස් මුදලක් ඉල්ලා සිටි බවයි. ඒ බව පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාය.

විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී කළ නිල හෙළිදරව්ව සිදුවී පැය කිහිපයක් තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමයෙන් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සිය අමාත්‍ය පදවියෙන් ඉල්ලා අස්වූයේ මෙම අල්ලස් සිද්ධිය ගැන සාධාරණ පරීක්ෂණයකට ඉඩ සලසන බව සඳහන් කරමිනි. අමාත්‍ය නිමල්ගේ ඉල්ලා අස්වීමෙන් ව්‍යංගයෙන් අදහස් වන්නේ විපක්ෂ නායකවරයා මැතිසබයේදී නැගූ චෝදනාව ඔහුට අදාළ වූවක් බවය. ඒ ගැන ඉදිරියේදී පරීක්ෂණයක් සිදුවන බව රජය කියයි. මහජන නියෝජිතයකුට මෙවන් චෝදනාවක් එල්ල වූ පසු රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයා ගත් පියවර අගය කරන අතර පරීක්ෂණයට ඉඩ දෙමින් අමාත්‍ය නිමල් සිරිපාල ඉවත්වීම ද යහපත් ආදර්ශයක් බව සඳහන් කළ යුතුය.

අල්ලස, දූෂණය හා වංචාව මගින් දේශපාලනඥයන් ගසාකන්නේ මහජන ධනයයි. ඒ නිසා වංචා දූෂණ පාලනය පිණිස දැඩි නීති රීති සහ සම්ප්‍රදායන් නඩත්තු කළ යුතුය. මේ සම්බන්ධයෙන් ආසියාකරයෙන් අපට ලබාදිය හැකි හොඳම ආදර්ශය ලැබෙන්නේ සිංගප්පූරු රාජ්‍යයෙනි. සිංගප්පූරුවේ නිර්මාතෘවරයා වූ ‘ලී ක්වාන් යූ’ තම ආණ්ඩුවේ දේශපාලනඥයන්ගේ වංචා, දූෂණ සහ අල්ලස් සිදුවීම් ගැන දැඩි පියවර ගත්තේය. තමන්ගේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාටත් තවත් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් ගණනාවකටත් මෙබඳු චෝදනා එල්ල වූ පසු ලී ක්වාන් යූ මහතා වහාම නීතිය ක්‍රියාත්මක කළේය. ඇතැම් ඇමැතිවරුන් සිරගත කළ අතර එක් අමාත්‍යවරයකු දඬුවමට බියෙන් සියදිවි හානි කරගත් බව ද එරට අතීත දේශපාලන වාර්තාවල සඳහන්ය. එහෙත් සිංගප්පූරු ක්‍රමය අත්හදා බලන රටවල් ලෝකයේ ඉතාමත් විරලය.

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයාගේ පාලන සමයේ පාර්ලිමේන්තුවේ මැති ඇමැති පිරිසකට බරපතළ අල්ලස් දූෂණ චෝදනා එල්ල විය. ඒ අවස්ථාවේදී බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයා මැති ඇමැතීන්ට එල්ල වූ අල්ලස් දූෂණ චෝදනා විමර්ශනයට අධිකරණ විනිසුරුවරයකු වූ වෝල්ටර් තල්ගොඩපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කොමිෂන් සභාවක් 1959 දී පත් කරනු ලැබීය. තල්ගොඩපිටිය කොමිසම එහි පරීක්ෂණ කටයුතු නිමකොට 1960 වසරේ සිය වාර්තාව අග්‍රාණ්ඩුකාරවරයාට ඉදිරිපත් කළේය. මෙම වාර්තාව මගින් කැබිනට් අමාත්‍යවරුන් වූ සී.ඒ.එස්. මරික්කාර් සහ එම්.පී. ද සොයිසා යන අයත් මන්ත්‍රීවරුන් වූ ඩී.බී. මොන්නැකුලම, හෙන්රි අබේවික්‍රම, එම්.එස්. කාරියප්පර් සහ ආර්.ඊ. ජයතිලක යන අයත් වැරැදිකරුවන් කර තිබුණි. මොවුන්ගෙන් ඩී.බී. මොන්නැකුලම සහ එම්.එස්. කාරියප්පර් යන මන්ත්‍රීවරු කොමිෂන් වාර්තාව නිකුත් වීමත් සමඟ තමන් දැරූ තනතුරුවලින් ඉල්ලා අස්වූහ. අනතුරුව පත්වූ 1960-1965 කාලයේ පැවති සිරිමාවෝ බණ්ඩාරනායක රජය සෙසු වැරැදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළේ නැත. එහෙත් 1965 වසරේ බලයට පත් ඩඩ්ලි සේනානායක රජය විසින් තල්ගොඩපිටිය කොමිෂන් වාර්තාව ක්‍රියාත්මක කොට අල්ලස් චෝදනා එල්ල වූ ඇමැතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ ප්‍රජා අයිතිය වසර 7කට අහෝසි කළේය.

එම යුගයේ වඩාත් බරපතළ අල්ලස් චෝදනාව එජාපය විසින් හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය වෙත එල්ල කළේය. මැතිනියගේ මුල්ම පාලන කාලය වූ 1960-1965 කාලයේ පෞද්ගලික රක්ෂණ සමාගම් ජනසතු කිරීම සිදුවිය. එම ජනසතුව වැළැක්වීමට එක්තරා පෞද්ගලික රක්ෂණ සමාගමක් මගින් සිරිමාවෝ මැතිනියට මොරිස් ඔක්ස්ෆර්ඩ් වර්ගයේ මෝටර් රථයක් අල්ලස් ලෙස තෑගි දුන් බව අදාළ චෝදනාවේ දැක්විණි. එහි වටිනාකම රුපියල් 19,985/- ක් බවත් සඳහන් විය. මේ ගැන පාර්ලිමේන්තු කාරක සභාවක් මගින් පරීක්ෂණයක් කරන්නට තීන්දු කළ අතර සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ද ඊට සහාය වූවාය.

පාර්ලිමේන්තු මැති ඇමැතින් වේවා ඉන් බැහැර නිල බල ඇති බලධරයන් වේවා රාජ්‍ය බලය උපයෝගී කරගෙන අල්ලස් දූෂණ හෝ වංචා සිදු කරයි නම් ඒ ගැන දැඩි නීතිමය පියවර ගත යුතුය. දැනටත් පාර්ලිමේන්තුවේ සිටින මැති ඇමැතින් ගණනාවකට අල්ලස් දූෂණ චෝදනා මත නඩු ගණනාවක් අල්ලස් දූෂණ කොමිසම විසින් පවරා ඇත. මැතිසබයේ ඉහළ තනතුරු දරන සමහර මැති ඇමැතිවරුන් අධිකරණය විසින් වරදකරු කරන ලද නමුත් අභියාචනා ඉදිරිපත් කර ඔවුහු තවදුරටත් මැතිසබයේ රැඳී සිටිති. ලජ්ජා බය හෝ සදාචාරය පිළිබඳ හැඟීමක් මොවුන්ට නැතුවා සේය. ඒ නිසා මැති ඇමැතිවරුනට අල්ලස් හෝ දූෂණ චෝදනා මත නඩුවක් පැවරුණු විට අඩුම තරමින් ඔහු දරන අමාත්‍ය පදවියෙන් හෝ ඉවත් කරන ක්‍රමවේදයක් රටට හඳුන්වා දිය යුතුය. එසේ නොකර මෙම දූෂිත දේශපාලන සංස්කෘතිය පිරිසුදු කළ නොහැක. දැනට උද්ගතව තිබෙන ‘තායිසේ’ අල්ලස් සිද්ධියෙන් හෝ මෙම නීතිමය පදනම ඇති කළහොත් එය දේශපාලනඥයන්ගේ අල්ලසට සහ දූෂණයට වැට බැඳීමට මහඟු‍ ආධාරකයක් වනු ඇත.

(***)