පීඩිත ජන කැළකගේ දුක් වේදනා පත්තර පිටු මතත් විද්‍යුත් නාලිකාවලත් මහා මිනිස් අනුරාගයක් මෙන්ම මිනිස් වේදනාවන්ද අවුළුවමින් ගලා යයි. දෙවසරකට වඩා වැඩි කාලයක් මුළුල්ලේ කොරෝනා මාරාන්තික වයිරසයෙන් මෙරට ජනයා අතොරක් නැතිව බැට කති. ඉහළ ගිය ගෑස් සිලින්ඩරය මුළුතැන්ගෙයි පුපුරා යද්දී, දරුවට කිරි පිටි සොයා වෙළෙඳසැල් ඉදිරිපිට පෝලිම් ගැසී සිටියදී, ගෑස් සොයා ගෑස් අලෙවිසල් ඉදිරිපිට රැය පහන් කිරීමට සිදුව තිබියදී, ඉන්ධන පිරවුම් හල් ඉදිරිපිට දවස් ගෙවා දැමීමට සිදුවෙද්දී, විදුලිය කප්පාදුවෙන් හෙම්බත් වෙද්දී ඖෂධ හිඟයෙන් පීඩා විඳිද්දී, කඩදාසි හිඟය නිසා දරුවන්ගේ වාර විභාග කල්යද්දී ඒ සියල්ලම ‘‘ජීවිතය’’ ලෙස බාර ගැනීමට ජනතාවට සිදුවී තිබේ.
ජීවන වියදම සමනොළ ගිරි හිස පරයා යන තරම්ය. දෙවසරක කාලය තුළ කිරිපිටි මිල සියයට 110කින් ඉහළ නැග තිබේ. ඉන්ධන මිලේ ඉහළ යාම සියයට 90කි. ආහාර මිල සියයට 30ත් 50ත් අතර ඉහළ ගොස් තිබේ. පාන් ගෙඩියක මිල රුපියල් 110කි. කිරි තේ එකක මිල රුපියල් 100කි. ප්ලේන්ටියකට වියදම් කළයුතු මුදල රුපියල් 60කි. යුද සමයේදිවත් බඩු මිල මෙහෙම ඉහළ යාමක් සිදු වූයේ නැත.
අද සිදුවී තිබෙන වඩාත් බරපතළම දෙය මිල පාලනයක් නොමැතිවීමය. එය ආර්ථික විද්‍යාත්මක ක්‍රමවේදයකි. එහෙත් සියලු විකෘතිවල ආකෘතියක් බවට පත්ව ඇති රටක විද්‍යාත්මක ක්‍රමවේද අයාලේ යාම නතර කළ නොහැකිය. හාල් මිල තීරණය කරන්නේ වී මෝල් හිමියන්ය. කිරිපිටි මිල තීරණය කරන්නේද කිරිපිටි සමාගම්ය. ගෑස් ද එසේමය. ඉන්දීය ඔයිල් සමාගම ඉන්ධන මිල ඉහළ දැමූ විට රජය ද ඒ පසුපස යමින් ඉන්ධන මිල ඉහළ දමයි. වෙළඳසැලකට ගොඩ වූ පසු මුදලාලි ‘‘කටට එන ගණන්’’ කියයි. නයන පිනවන මේ රන් දිවයිනේ යථාර්ථය එබඳුය.
මේ මහා ශාපලත් පරිසරය මැද සැනසුම් සුසුම් හෙළීමට හැකි වාක්‍ය ඛණ්ඩයක් ඉකුත් දා ඇසුණි. ඒ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගෙනි. ඔහු ප්‍රකාශකර තිබුණේ ‘‘සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර ජනතාවට සහන ලබාදීමට තමන් සූදානම්’’ බවය. ඇතැමකුට අනුව ‘‘සහන ලබාදීම’’ යන දෙවදන තරම් අවභාවිතයට ලක්වූ දෙවදනක් තවත් නැත. මුදල් අමාත්‍යවරයා මෙම ප්‍රකාශය කරනු ලැබුවේ රටේ පවතින අර්බුදකාරී තත්ත්වයට විසඳුම් සෙවීම සඳහා ජනාධිපතිවරයා කැඳවූ සර්ව පාක්ෂික සමුළුවේදීය.
එබඳු සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීම ද අතිශයින්ම වැදගත්ය. එළැඹ ඇත්තේ තනි තනි පුද්ගලයන්ට විසඳිය හැකි ප්‍රශ්න ඇති තත්ත්වයක් නොවේ. මුළු රටම සීරුවෙන් තබා මුළු රටම එකම අරමුණක් වෙනුවෙන් පෙළගස්වා මෙහෙයැවිය යුතු තත්ත්වයක්ය. එයට සියලු පාර්ශ්ව සම්මාදන් කරගත යුතුය. ‘‘කවුද හරි නොව කුමක්ද හරි’’ යන ස්ථාවරයේ සිට විසඳුම් ක්‍රියාත්මක කිරීමය. අර්බුදයේ තරමත් එහි පරිමාව පිළිබඳවත් සෑම පාර්ශ්වයකම අවධානයට යොමු විය යුතුය. ජනතාව අන්ත පීඩාවකට ලක්ව සිටින මොහොතක දේශපාලන බල අරගල නවතා දැමිය යුතුය.
ජනාධිපතිවරයා කැඳවූ සර්ව පාක්ෂික සමුළුවේදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉතා වැදගත් යෝජනාවක් ඉදිරිපත් කර තිබිණි. ඔහු කියා තිබුණේ ‘‘සංවර්ධන අයවැයක් වෙනුවට සහන අයවැයක් ඉදිරිපත් කළ යුතු” බවයි. එයට බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයාගේ ප්‍රතිචාරය වී තිබුණේ “අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව අනුව එවැනි අයවැයක් ගෙන ඒමට තමන් සූදානම්” බවය. එමෙන්ම ජනතාවට සහන ලබාදීම සඳහා වෙෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට උපදෙස් ලබා දී ඇති බවය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම සර්ව පාක්ෂික සමුළුවේදී පළකළ අදහස් ද ඉතා අගනේය. හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ 2022 අයවැය යෝජනා වහා ප්‍රතිසංස්කරණය කර ඉදිරි මුදල් වර්ෂය සඳහා නව පරිපූරක ඇස්තමේන්තුවක් මැයි මාසයට පෙර ඉදිරිපත් කළ යුතු බවය. අයවැයෙන් මෙම වසර සඳහා දැනට ඉදිරිපත් කර ඇති අනවශ්‍ය වැය ශීර්ෂ කපාහැරිය යුතු බව කියා ඇති හිටපු ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය අඩු කිරීම, මිත්‍ර රටවල නියෝජිතයන් කැඳවා රාජ්‍ය නායක සමුළුවක් පවත්වා ආර්ථික ආධාර ලබාගැනීම එම ආධාර නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීම සහතික කිරීම සඳහා විගණන හා ප්‍රසම්පාදන කොමිෂන් සභා යළිපිහිටුවීම කළ යුතු බවද අවධාරණය කර ඇත.
පැරැණි යල්පැනගිය ගතානුගතික ක්‍රමෝපාය තව දුරටත් වලංගු නොවන බව ඒකාන්ත සත්‍යයකි. නව ප්‍රවේශයක් අත්‍යවශ්‍යම වේ. එමෙන්ම බොහෝ දෙනකු ප්‍රශ්නයක් දෙස බලන්නේ එහි වාසිය කාටද යන අර්ථයෙනි. ඇතැමෙක් පැළඳ සිටින කණ්ණාඩියේ වර්ණය අනුව ප්‍රශ්න දෙස බලා ඒවා විග්‍රහ කරති. මේ රටට මෙබඳු විපත් ගලා ආවේ අහම්බයෙන් නොවේ. මේ සියලු විපත් පැමිණි ගමනේ තාර්කික ප්‍රතිඵලය වේ. මග වෙනස් නොකරන්නේනම් ඉදිරියේදී හමුවනු ඇත්තේ පරාජය හා විනාශය පමණි.
ජනතාව සහන ලැබෙන සිහින දකිමින් සිටිති. ඒවා සිහින ලෙසම මැකීයාමට ඉඩ නොදී ජීවමාන යථාර්ථයක් බවට පත් කිරීමට වෙහෙසිය යුතුය. සිංහල දෙමළ අලුත් අවුරුද්ද අත ළඟටම පැමිණ තිබේ. අත ළඟටම පැමිණ ඇති අලුත් අවුරුද්දේදිවත් යහමින් යමක් කටට දා ගැනීමට ජනතාව බලාපොරොත්තුවෙති. එහෙයින්ම මුදල් ඇමැතිවරයාගේ ‘‘ප්‍රතිඥාව’’ දෙස සකල ජනී ජනයා අපේක්ෂා සහගතව බලා සිටිති.
(***)