කරන්න වැඩක් නැත්නම් මගෝඩි වැඩක් හෝ කර ලකුණු දමාගැනීමට පෙළඹෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ රටේ සිටිති. මීට පෙරද එවැනි මන්ත්‍රීවරු සිටියහ. කාලෙන් කාලයට මාධ්‍ය සංදර්ශන මවා තමන්ට ඡන්දය දෙන ජනතාව ඉදිරියේ වීරයකු මෙන් පෙනී සිටින මේ ඇතැම් මන්ත්‍රීවරු ඒ ඇසුරින් මුදල් හම්බ කිරීම්ද කරති. හැම එකකින්ම ඔවුන් බලාපොරොත්තු වන්නේ තමන්ගේ දේශපාලන ගමනට ලකුණු එකතු කර ගන්නා අතරේම ගාණක්ද කපා ගැනීමය.
උතුරේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරයකු වන ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා ද වැටෙන්නේ ඉහත කී ගණයට බව කනගාටුවෙන් වුවද පෙන්වා දිය යුතුව තිබේ. කාලයක සිට තමන් නායකත්වය දෙන උතුරේ දමිළ ජනතාවගේ අවශ්‍යතා ඉටුකර දීමට වඩා ජාතික, ආගමික සංහිඳියාවට හානිදායක වන අයුරින් කටයුතු කරමින් ලාබ ගණයේ දේශපාලන චරිතයකට පණපෙවීමට උත්සාහ දරමින් ඔහු මේ බව පෙන්නුම් කරමින් සිටී. එහි අලුත්ම රංගනය පසුගියදා පලාලි හිදී රඟ දැක්විණි.
පලාලි කන්කසන්තුරේ කලෙයි මගල් පාරේ පිහිටි තිස්ස රජමහා විහාරය ඉදිරිපිට පසුගිය ඇසළ පොහොය දා ආගමික වතාවත්වලට බාධා කරමින් ගජේන්ද්‍ර කුමාර් මන්ත්‍රීවරයා කුඩා පිරිසක් ද පිරිවරාගෙන විරෝධතාවක් ආරම්භ කර තිබුණේ ඊට පෙර දිනය වූ 2 වැනිදා පටන්ය. තිස්ස රජමහා විහාරය ඉදිකර ඇත්තේ ප්‍රදේශවාසීන්ගේ ඉඩම් කොටස්ද අල්ලා ගනිමින් බවට චෝදනා කරමින් ඔහු මේ විරෝධතාව පැවැත්වීමේ අරමුණ වී තිබුණේ එම විහාරයේ සිදුකෙරෙන පොහෝ දින පින්කම්වලට සිතාමතා බාධා කිරීම බව පැහැදිලිව පෙනිණි. ඉඩකඩම් පිළිබඳ ගැටලුවක් පවතී නම් එය විසඳාගත යුත්තේ නීති මාර්ගයෙනි. එහෙත් ආගමික කටයුතුවලට බාධා කිරීමට පිරිසකුත් රැගෙන පැමිණීමෙන් ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා උත්සාහ දරන්නේ උතුරේ දමිළ ජනතාව පළිහක් සේ යොදවමින් තමන්ගේ බාල ගණයේ දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට මිස වෙන කිසිවක් නොවේ. ඒ බව ඔහුගේ මෑත කාලීන උද්ඝෝෂණ ගණනාවකදීම පැහැදිලි විය.
පසුගිය පෙබරවාරි මාසයේදී අධිකරණ නියෝග කඩ කරමින් පැවැත්වූ විරෝධතාවක් හේතුවෙන් ඔහු අත්අඩංගුවට පත්විය. එසේම උතුරේත් නැගෙනහිරත් විහාරස්ථානවල ආගමික කටයුතුවලට බාධා වන සේ අවස්ථා ගණනාවකදීම ක්‍රියා කළ මේ මන්ත්‍රීවරයා වෙසක් - පොසොන් දිනවලදී සංවිධානය කෙරුණු ආගමික වැඩසටහන් ගණනාවකට බාධා කළේය. මැයි මාසයේ 15 වැනිදා
ත්‍රිකුණාමලේ මහජන ක්‍රීඩාංගණය ඉදිරිපිට ඔහු තම ආධාරකරුවන් පිරිසක්ද සමඟ ඇති කළ විරෝධය හේතුවෙන් 270 වැනි උපසම්පදා විනය කර්මය සැමරීමේ උත්සවය අවලංගු කිරීමට සිදුවිය. එම උත්සවය සඳහා එතෙරින් වැඩම කළ භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක්ද මේ නිසා දැඩි ලෙස අපහසුතාවට පත්වූහ. එහිදී ඇති වූ ආගමික නොසන්සුන්කම මැඩපවත්වා ප්‍රදේශයේ සාමය ඇති කිරීමට පොලීසිය ඇතුළු ආරක්ෂක හමුදා දැඩි පරිශ්‍රමයකින් කටයුතු කිරීම හේතුවෙන් සිදුවීමට ඉඩ තිබූ මහා ව්‍යසනයකට තිත තැබිණි.
උතුරේත් නැගෙනහිරත් පන්සල්, පල්ලි තිබෙනවා සේම රටේ සෙසු පළාත්වල හින්දු කෝවිල් ද පිහිටා තිබේ. එම කෝවිල්වල ආගමික කටයුතු ක්‍රියාවට නැංවෙද්දී කිසි කලෙකත් දකුණේ මන්ත්‍රීවරුන් හෝ ජනතාව හෝ ඒවාට විරෝධය දක්වන්නේ නැත. බොහෝ විට සිදුවන්නේ හින්දු කෝවිල්වල වාර්ෂික ආගමික උත්සව සඳහා සියලු දෙනාගේ සහයෝගය ලැබීමය. එසේම යුරෝපයේත් බටහිර රටවලත් පන්සල්, පල්ලි පමණක් නොව හින්දු කෝවිල්ද පිහිටුවා තිබේ. ඒ සඳහා ඉඩකඩම් ලබා දී ඇත්තේ ඒ ඒ රටවල ආණ්ඩු මගිනි. එම විහාරස්ථාන, පල්ලි සහ හින්දු කෝවිල්වල ආගමික කටයුතු සිදුවන විට ගජේන්ද්‍ර කුමාර්ලා හෝ ඔවුන්ගේ හෙංචයියන් හෝ ඒවා ඉදිරිපිට විරෝධතා දක්වන්නේ නැත. එසේ නම් මේ රටේ පමණක් උතුරේත් නැගෙනහිරත් විහාරස්ථාන ඉදිරිපිට මේ ආකාරයට විරෝධතා දක්වන්නේ ඇයි? ඒ පසුපස ඇත්ගේ ගඳගසන ජරා ජීර්ණ පටු දේශපාලන අභිමතාර්ථ සපුරා ගැනීමේ පවිටු චේතනාවක් බව පැහැදිලිය. ආගමික සංහිඳියාවට බාධා කරන මෙවැනි ක්‍රියා මුළුමනින්ම හෙළා දැකිය යුතුය. මෙය දේශපාලනය කිරීමක් නොව ආගමික හැඟීම් අවුස්සා සිදු කරන ත්‍රස්තවාදයට අත වැනීමකි. මෙවැනි ක්‍රියා කළ හැක්කේ දේශපාලන නරුමයන්ට පමණි.
(***)