ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය බවට හඳුන්වා දුන් කාලයක් තිබිණි. එය පසු කාලයක සමාජ මාධ්‍ය භාවිතය සමග ‘‘අමුතු ඇටය’’ වශයෙන් ද හඳුන්වනු ලැබීය. අපේ රටේ වර්තාවෙන ඇතැම් සිදුවීම් සලකා බලනවිට ‘‘ මුතු ඇටය’’ පසුව ‘‘අමුතු ඇටය’’ බවට පත්වීම පිළිබඳව පුදුම විය යුතු නැත. එතරම් අභූත සිදුවීම් රටේ සාමාන්‍ය කරුණු බවට පත්වෙමින් තිබේ.
රජයේ ආයතන සතුව තිබිය යුතු බවට හඳුනාගෙන ඇති වාහන පන්දහසකට අධික ගණනක් අස්ථානගත වී ඇති බවට පළවෙන වාර්තා ද එවැනි අභූත සිද්ධියකි. රජයේ වාහන මෙලෙස පිල්ලි යැවීම සම්බන්ධව තොරතුරු සොයාගෙන ඇත්තේ ජාතික විගණන කාර්යාලය මගිනි. ඔවුන් මේ වාර්තාව නිකුත් කරන තුරු ඇතැම් අමාත්‍යාංශවල ලේකම්වරුන් ඒ බවක් දැන නොසිටි බව ද සඳහන් වෙයි. ලේකම්වරුන්ගේ අනුදැනුමකින් තොරව රජයේ වාහන මේ ආකාරයට අතුරුදන් වන්නේ නම් එම අමාත්‍යාංශවල රජය සතු සෙසු භාණ්ඩවලට කුමක් සිදුවී ඇතිදැයි සිතන්නත් අමාරුය. මෙය අප කිසිවකුත් සතුටුවිය හැකි තත්වයක් නොවේ.
මේ ආකාරයට වාහන අතුරුදන් වී ඇති එක් අමාත්‍යාංශයක බලධාරීන් විගණන විමසුම්වලට පිළිතුරු ලබා දී නැති බව ද සඳහන්ය. ඒ ගැනද විශ්මයට පත්විය යුතු නැත. අතුරුදන් වී ඇත්තේ පෑනක්, පැන්සලක් හෝ එසේත් නොමැතිනම් පරිගණකයක් නම් ඒ ගැන කෙසේ හෝ ඔවුන්ට පිළිතුරක් සොයාගත හැකිවනු ඇත. එහෙත් වාහනයක් අතුරුදන් වී ඇත්නම් සහ ඒ බව දැන ගන්නේ විගණන විමසුම් හරහා නම් කට උත්තර නැතිවීම සාධාරණය. වාහනයක් අතුරුදන් කිරීම පහසු ක්‍රියාවක් නොවන බැවිනි.
අපේ රටේ මෙවැනි බරපතළ අඩු ලුහුඬුකම් පැවතීම සම්බන්ධයෙන් රජය වහා සොයා බැලිය යුතු නොවේද? එහෙත් ඒ ගැන කිසිදු සොයා බැලීමක් විධිමත් ආකාරයට සිදු නොවන බව විගණන වාර්තාවලින් හෙළිවන යථාර්ථයයි. එවැනි උනන්දුවක් දක්වා දේශපාලනඥයන් මේ පවතින මජර දේශපාලන සංස්කෘතිය තුළ දක්නට නොමැතිවීම අහම්බයක් නොවන බවද පැවසිය යුතුය.
මේ තත්වයට මුල පිරෙන්නේ බලයට පත් වූ වහාම මැති ඇමැති තනතුරු වලින් පුද ලබන බොහෝ දෙනකුට නිරායාසයෙන් වැළදෙන ‘‘රථ ගාය’’ හේතුවෙනි. ඒ මගින් අමාත්‍යාංශවල ඇති විවිධ වර්ගයේ වාහන කොතරම් තිබුණත් මදි බවට පත්වෙයි. වී 8, බෙන්ස්, බී.එම්.ඩබ්ලිව්. අලුත්ම වාහන අමාත්‍යාංශයට එකතු වෙන්නේ එම අවශ්‍යතාව සපුරාලීමටය. එසේ වනවිට භාවිතයේ තිබූ වාහන අමාත්‍යාංශයේ සහ අදාළ රාජ්‍ය ආයතනවල විවිධ ඉහළ තනතුරු සඳහා මැති ඇමැතින්ලාම පත් කරන පුද්ගලයන්ගේ අවශ්‍යතා සඳහා වෙන් කෙරෙයි. මෙසේ දේශපාලන පත්වීම් ලබන ඇතැමුන් ආණ්ඩු බලය නැතිවී පට්ටම් ගැලවී යෑමෙන් පසුව ගෙදර යන්නේ තමන් භාවිත කළ ආණ්ඩුවේ වාහනය ද සමඟිනි. ඒ වනවිට එවැනි ඇතැම් වාහනවල ලියැකියවිලි පවා වෙනස් කරගෙන ඇති හෙයින් ඒවායේ අනන්‍යතාව තහවුරු කර ගැනීම ද අපහසුය. අතුරුදන් වූ ආණ්ඩුවේ ඇතැම් වාහනවලට අත්ව තිබෙන්නේ මේ ඉරණම බව ප්‍රසිද්ධ රහසකි.
මෙහිදී ප්‍රධානම ගැටලුව වන්නේ බොහෝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක වන මේ විෂම චක්‍රය වෙනස් කිරීමට කිසිදු ප්‍රධාන දේශපාලන පක්ෂයක් ප්‍රමාණවත් උනන්දුවක් නොදැක්වීමයි. විපක්ෂයේ සිටිය දී උගුර ලේ රහවනතුරු නාස්තිය, දූෂණය වළක්වන බවට කෑමොර දෙන බොහොමයක් දේශපාලනඥයන්ට බලය ලැබුණු විට යන්නෙත් කලින් පිරිස ගිය පාරේමය. එසේ වනවිට රජයේ වාහන අතුරුදන්වීම පන්දහසකට පමණ සීමා වී තිබීම ගැන අප සතුටුවිය යුතුය.
ඒ සමගම පෙන්වා දිය යුතු වන්නේ අතුරුදන් ගණයට වැටී තිබෙන සමහර වාහන සැබෑ ලෙසම එසේ අතුරුදන්වී නැති බවය. ඒ වාහන අමාත්‍යාංශවල ඇතැම් නිලධාරීන්ගේ නොසැලකිලිමත් බවත් දුර්වල කළමනාකරණයත් හේතුවෙන් සොයා ගැනීමට නොහැකිවීමත් නිසා එය අතුරුදන්වීමක් වශයෙන් සටහන් තිබෙනවා විය හැක. මේ දුර්වලකම් මග හරවා නොගත්තොත් වාහන පමණක් නොව අමාත්‍යාංශ ගොඩනැගිලි පවා අතුරුදන්වීමට ඉඩ තිබෙන බවත් කිව යුතුය.
(***)