ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය පමාවීම රටේ ආර්ථිකයට ඉදිරියේදී සිදුකරන බලපෑම් සම්බන්ධ බොහෝ පුරෝකථන සිදුවෙමින් පවතී. එක් අතකින් දේශපාලනඥයන් දක්වන අදහස් ද අනෙක් අතින් ආර්ථික විශ්ලේෂකයන් දක්වන අදහස් ද එම පුරෝකථනවල ගැබ් වී තිබේ. ආණ්ඩුව නම් දෙවැනි වාරිකය ඉදිරි කාලයේදී නිදහස් කරගැනීමේ අපේක්ෂාවෙන් පසුවෙන බව පෙනී යයි. එය එසේ වුවද මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා කාර්ය මණ්ඩලය පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී වාරිකය නිදහස් කිරීමක් පිළිබඳව නිශ්චිත කාලරාමුවක් ප්‍රකාශයට පත් නොකිරීම නිසැකවම ආණ්ඩුවේ කනස්සල්ලට හේතුවනු ඇත.
ආණ්ඩුව සහ මූල්‍ය අරමුදල අතර දෙවැනි වාරිකය ලබාගැනීම සම්බනන්ධ සාකච්ඡා ධනාත්මක මට්ටමක පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා නොබෝදා ප්‍රකාශ කළේය. එහෙත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාව නිසි ඉලක්ක සපුරා නොතිබීම නිසාත් වත්මන් ආණ්ඩුවේ දූෂණ ප්‍රතිපත්තිය ගැන කනස්සල්ලෙන් පසුවීම නිසාත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙවැනි වාරිකය නිදහස් කිරීම කල් දමා තිබෙන බවය. මේ අනුව කල්පනා කළොත් අරමුදලේ මීළඟ වාරිකය ප්‍රමාද වීම වළක්වාගත නොහැකි වී තත්ත්වයකට පත්ව ඇති බව පෙනී යයි.
එය එසේ නම් ආණ්ඩුව ආර්ථිකයට මේ හරහා සිදුවිය හැකි බලපෑම් සම්බන්ධයෙන් නිසි ඇගයීමක සිටිය යුතුවෙයි. රටේ පවතින ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර වීමට ඉඩ නොදී එය වළක්වා ගැනීම අවශ්‍ය බැවිනි. ලෝක බැංකුවේ වාර්තාවකට අනුව පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මේ 2023 වසර අවසන් වෙද්දී මෙරට මධ්‍යම පාන්තිකයන් තිස් එක් ලක්ෂ අසූ දෙදහසක් දුප්පතුන්ගේ ගොඩට වැටීමට නියමිතය. මේ සංඛ්‍යාව රටේ සමස්ත ජනගහණයෙන් අටෙන් එකකට ආසන්නය. එය ජනතාවගේ පැත්තෙන් බියකරු චිත්‍රයකි. මෙසේ අසාමාන්‍ය මට්ටමකින් දුප්පතුන් වැඩිවීම රටේ ආර්ථිකයේ ඍජු ප්‍රතිඵලයකි.
දුප්පතුන් වැඩිවීම එකවර නැවැත්වීමට කිසිදු ආණ්ඩුවකට නොහැකිය. එහෙත් මේ තත්ත්වය සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටිමින් ඇතිවිය හැකි ව්‍යසනයට මුහුණ දීමට සුදුසු යාන්ත්‍රණයක් සකස්කර ගැනීම කල්දැමිය යුතු නැත. ජනතාවගේ හිස මතට තවත් බදු බර පැටවීමෙන් පමණක් මේ ගැටලුව විසඳිය නොහැක. ඒ බව නොසලකා මූල්‍ය අරමුදලේ යෝජනාවලට අනුව යමින් බදු වැඩි කිරීම බරපතළ සමාජ ව්‍යසනයකට පවා හේතුවිය හැකිය.
මෙහිදී වඩාත්ම වැදගත් වන්නේ ආර්ථික අර්බුදය ලිහා ගැනීමට අලුත් ඇසකින් බැලීමය. ඒ සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් අප්‍රමාදව සකස් කළ යුතු බව අපගේ විශ්වාසයයි. තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, වරායේ කන්ටේනර් ගොඩගැසීම් යුගය නිමා වී දැන් වසරක්ද ඉක්මවා ගොස් තිබේ. එහෙත් තවමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පිටත වෙනත් කිසිම නිශ්චිත වැඩපිළිවෙළක් රජය සතුව තිබෙන බව තාම පෙනෙන්නට නැත. අධික බදු ගෙවන විශාල ජනතාවක් සිටියදී රජයේ ඉහළම අධිකාරියෙන් කැපවීම් කෙරෙන බවක් දැකගැනීම අමාරුය. නාස්තිකාර වියදම් නැවතී නැත.
මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා පැවැත්වෙන අතරවාරයේ හෝ රටේ ආර්ථිකය සංවර්ධනය කර ගැනීමට වෙනත් ප්‍රතිසංස්කරණය සිදු නොවූ බවද පෙනෙන්නට තිබේ. නිෂ්පාදනය ඉහළ නංවා අපනයනය වර්ධනය කිරීමෙන් සහ ආයෝජන ආකර්ෂණය කර ගැනීමෙන් තොරව ආර්ථික වර්ධනයට වෙනත් විසඳුමක් නැත. රට ඇතුළේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය යළි ගොඩනැංවීමට රුකුල් දීමක් තිබෙන බවක්ද නොපෙනේ. එහෙත් මුළු රාජ්‍යතන්ත්‍රය පුරාම දූෂණය සහ වංචාව ඉතිරී පැතිරී තිබෙන බවට නම් චෝදනා බොහෝමයකි. පසුගිය කාලසීමාව තුළ සිදුවූ සුප්‍රකට බරපතළ වංචා සහ දූෂණවලට සම්බන්ධ ඉහළ කිසිදු බලධාරියකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූයේ නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද මේ තත්ත්වය සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බව රහසක් නොවේ. සුපුරුදු ක්‍රියාවලින් බැහැර වී අලුත් ඇසකින් රටේ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමකින් තොරව රටට ගොඩ යාම අසීරු බව පෙන්වා දිය යුතුයි.
(***)