ආහාර නිෂ්පාදනයට විශේෂ අවධානයක් ඕනෑ


2024 වර්ෂයේ ආහාර සපයා ගැනීමේ ලා මෙරට ජනතාවට අත්විඳින්නට සිදුවන දුෂ්කරතා පිළිබඳව පුරෝකථන ඉදිරිපත් කරන ලිපියක් නොබෝදා අප සහෝදර ඩේලි මිරර් පුවත්පතේ පළ වී තිබිණි. හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ.බී. ගුණරත්න මහතා සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකින් එම තොරතුරු ලබාගෙන තිබිණි. මෙරට ජනතාවගේ ආහාර සපයා ගැනීමේ අසීරුව මෙම වසරේදී දෙගුණ තෙගුණ විය හැකි ආකාරය එහි විස්තර කොට තිබේ.

2024 වසර උදෙසා මෙරට කෘෂිකාර්මික ප්‍රතිපත්ති සැලසුම් කරන බලධාරීන් එම අදහස් කෙරෙහි අවධානය යොමු කිරීම ජනතාවගේ කුසගින්න දුරු කිරීමේ ලා අතිශය වැදගත් වේ. එම කරුණු සලකා බලා තමන්ට හැකි පමණින් රටේ ආහාර නිෂ්පාදනයට දායක වීම ගොවීන්ගේත් පොදු ජනතාවගේත් යුතුකමක් වනු ඇත. කල්තියා ආහාර පරිභෝජන වියදම් කළමනාකරණය කර ගැනීමට ද ජනතාවට සිදුවේ.

රටේ ආහාර සුරක්ෂිතභාවය උදෙසා 2024 වර්ෂය වෙනුවෙන් වෙන් කර ඇත්තේ රුපියල් මිලියන 250ක් පමණි. මෙම මුදල කිසිසේත් ප්‍රමාණවත් නොවන්නකි. එම කාරණය වඩාත් හොඳින් තහවුරු වන්නේ හිටපු ජනාධිපතිවරුන් පස්දෙනකු නඩත්තු කිරීම උදෙසා වෙන්කර ඇති මුදල සැලකිල්ලට ගත් විටයි. මෙම වසරේ හිටපු ජනාධිපතිවරුන් පස්දෙනකුගේ නඩත්තුව සඳහා රුපියල් මිලියන 110ක් වෙන්කර තිබියදී මිලියන 22ක ජනගහනයකගේ ආහාර සුරක්ෂිතභාවය වෙනුවෙන් වෙන්කර ඇත්තේ රුපියල් මිලියන 250ක මුදලකි.

හතර දෙනකුගෙන් යුත් පවුලක් මාසයක් නඩත්තු කිරීම සඳහා රු. 120,000 ක් වැය වෙන බව මෑතකදී සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. එම සංඛ්‍යාලේඛන අනුව එක් පුද්ගලයකුගේ උදෑසන ආහාරය සඳහා යන සාමාන්‍ය වියදම රුපියල් 300කි. දිවා සහ රාත්‍රී ආහාර වේල් සඳහා රුපියල් 350 බැගින් වැය වේ. එවිට දිනකට එක් පුද්ගලයකුට යන ආහාර වියදම රුපියල් 1000 කි. ආහාර සඳහා එක් පුද්ගලයකුට මාසයකට යන වියදම රුපියල් තිස්දහසකි. එවැනි මුදලක් වැය කොට මෙරට පවුලක් නඩත්තු කරන එක පුද්ගලයකු විදුලි බිල, ජල බිල්‍, දරුවන්ගේ පාසල් වියදම්, ප්‍රවාහන වියදම් කෙසේ පිරිමසා ගන්නේ ද? එම දත්ත අනුව ශ්‍රී ලාංකීය ජනගහනයෙන් සියයට20 ක් දෙනා තවමත් ලබන්නේ රුපියල් 17500/- ක මාසික ආදායමකි. ඒ අනුව රටේ ජනගහනයෙන් සියයට 25කට එනම් මිලියන 5.7 කට, මෙම වසරේදී මානුෂීය ආධාර සැපයිය යුතුවේ. රටේ ජනගහනයෙන් හතරෙන් එකක් ආධාර ලැබිය යුත්තන්ගේ තත්ත්වයට පත්වීම රටේ අනාගතයට කෙසේ නම් බලපාවිද?

මෙම පසුබිම යටතේ රටේ ජනතාවගේ ජීවන වියදම සියයට 75 කින් ඉහළ ගොස් තිබේ. රටේ පාසල් දරුවන්ගෙන් තුනෙන් එකකට ප්‍රමාණවත් ආහාර නොලැබේ. රටේ දරුවන්ගෙන් මිලියන 1.4ක් මන්ද පෝෂණයෙන් පෙළෙන බැවින්, මන්ද පෝෂණය අධික පළමු රටවල් දහයට දැන් අප අයත් වී තිබීම අතිශය කනගාටුදායක තත්ත්වයකි.

මේ වන විට ඇද වැටෙන වර්ෂාව මීළඟ යල් කන්නය දක්වා නොපවතින බව පුරෝකථනය වී තිබේ. මෙවැනි වැහි වාරයක් නැවත එතැයි අපේක්ෂා කළ හැක්කේ 2024 ජුනි මාසයේදීය. එහි ප්‍රතිඵලය ජලාශ වෙත ප්‍රමාණවත් වැසි නොලැබීමයි.   ජලාශවලට වැටුණු ජලය විදුලි බලය උත්පාදනයට ගන්නේද, නැතහොත් වගා කටයුතු සඳහා යොදා ගන්නේ ද යන විකල්ප දෙකෙන් එකක් තෝරා ගැනීමට සිදුවේ. ගොවිබිම්වලට ප්‍රමාණවත් ජලය නොලැබීම නිසා මීළඟ යල් කන්නයේදී වී අස්වැන්න පහත වැටීමට නියමිතය. සාමාන්‍යයෙන් වසරේ වී අස්වැන්නෙන් සියයට තිස්පහක් ලැබෙන්නේ යල් කන්නයේදීය. පසුගිය 2023/24 මාස් කන්නයේදී වගා බිම්වලින් සියයට දහයක් වගා කිරීම ගොවීන් මගහැර තිබුණේ අධික නිෂ්පාදන වියදම් නිසාය. ඒ හේතුව මත දැනටමත් සහල් මිල ඉහළ ගොස් තිබේ. මීළඟ යල් කන්නයේදී වී අස්වැන්න අඩු වුවහොත් සහල් මිල තවත් ඉහළ යතැයි අපේක්ෂා කළ හැකිය.

මේ සියල්ලම තිබියදී ජනවාරි පළමුවැනිදා සිට වැට් බද්ද, සියට 18 කින් වැඩිවී තිබේ. එවිට පෝෂදායී ආහාර සඳහා මිල ගෙවා ගත නොහැකිව රටේ වැඩිදෙනාට හාමත් වන්නට සිදුවේ. 2021 දී සියයට12.3 ක්ව පැවති දරිද්‍රතා අනුපාතය දැන් සියයට 37 කි. කෙසේ වුවද බලාපොරොත්තු විය හැකි මෙම තත්ත්වය තුළ දිරිමත්ව ජීවිතය ගෙවා ගැනීමේ වගකීම රටේ සියල්ලන්ටම පැවරේ.

(***)