ඉදිකිරීම් අතරමග නතරකර මුදල් නාස්ති කිරීම


ශ්‍රී ලංකාවේ පළමුවැනි තාක්ෂණ විශ්ව විද්‍යාලය වන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය කෝටි ගණනින් මුදල් වැය කරමින් ඉදිකිරීම් ව්‍යාපෘති ආරම්භ කළත් ඒවා අතරමග නවත්වා දැමීමෙන් සිදුව ඇති මුදල් නාස්තියක් පිළිබඳව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කළ වාර්තාවක් හෙළිදරව් කර තිබේ.

මෙකී ව්‍යාපෘතියට අදාළ ගොඩනැගිලි ඉදිකිරීමට අවශ්‍ය මූලික කටයුතු 2017 දී ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීන්දුවක් අනුව ආරම්භ වී තිබුණ ද එය උපදේශන ගාස්තු වශයෙන් රුපියල් දෙකෝටි විසිලක්ෂයකට වැඩි මුදලක් කාබාසිනියා කළ ව්‍යාපෘතියක් පමණක් බවට පත්ව ඇතැයි සඳහන්ය. විශ්ව විද්‍යාලයට අයත් වැඩපොළක්, නේවාසිකාගාරයක් සහ ආපනශාලාවක් ඉදිකිරීමට කර තිබූ සැලසුම් අතරමග දී නතර වී ඇත්තේ ඒ සඳහා රුපියල් කෝටි 92 කට වැඩි මුදලක් වෙන්කරනු ලැබ තිබිය දී වීම ලොකුම විහිලුවයි.

මෙකී විශ්ව විද්‍යාලයටම සම්බන්ධ ගොඩනැගිලි අලුත්වැඩියාවක් සඳහා රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් වැයකර තිබුණ ද වසර හතරක් ගත වුවත් එම කටයුතු ද අවසන් වී නැතැයි අනාවරණය වී තිබේ. එම අලුත්වැඩියා කටයුතු දවස් අටක දී අවසන් වන බවට එකඟත්වයක් තිබූ බව ද සඳහන්ය. එහෙත් එම එකඟතාවලට මෙන්ම මුදලට ද සිදු වූ දෙය සම්බන්ධයෙන් එකී කොන්ත්‍රාත්තුව භාරගෙන තිබූ පෞද්ගලික ආයතනයට එරෙහිව ගන්නා ලද ක්‍රියාමාර්ග පිළිබඳව ද කිසිදු පැහැදිලි කිරීමක් සිදුව නැති බව ද සඳහන්ය

වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ 2020 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවෙන් තොරතුරු හෙළිවන බව අපගේ ලංකාදීප පුවත්පතේ පළවූ වාර්තාවේ දැක්වෙයි. විශ්ව විද්‍යාලයක් ලෙස තාක්ෂණ විශ්වවිද්‍යාලය තමන් සතු සම්පත් සකසුරුවම් ලෙස සහ කාර්යක්ෂමව කළමනාකරණය කර නැති බව ද ප්‍රසම්පාදනය අදාළ නීතිරීතිවලට අනුකූලව සිදුනොවී ඇති බව ද වාර්තාව වැඩිදුරටත් හෙළිකර තිබේ.

වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයට එතරම් දීර්ඝ ඉතිහාසයක් නැත. 2009 වසරේදී ස්ථාපිත කෙරුණු එහි අධ්‍යයන කටයුතු 2012 වසරේදී ආරම්භ වූ බව ද සඳහන්ය. සිසුන් දෙදහසකට ආසන්න සංඛ්‍යාවකට විවිධ තාක්ෂණික උපාධි පාඨමාලා සපයන මෙහි ඉදිකිරීම් කටයුතු තවදුරටත් වර්ධනය කිරීමට ගන්නා ලද උත්සාහය මෙසේ වතුරේ යාම පිළිබඳව වගකිව යුත්තේ කවුදැයි සොයා ගැනීමට නොහැකි වීම නම් ඛේදවාචකයකි. මේ රටේ සිදු වූ සහ සිදුවෙමින් පවතින මහා පරිමාණයේ විනාශකාරී දූෂණ, වංචා සහ හොරමගඩි සමඟ සසඳන විට මෙය ඉතා සුළු විනාශයක් වශයෙන් පෙනී යා හැක. එහෙත් ලාබාල විශ්ව විද්‍යාලයක ඉදිරිය සමඟ සලකා බැලීමේ දී මෙවැනි මුදල් නාස්ති ද මහා අපරාධයකි. එය විශ්ව විද්‍යාලයේ යටිතල පහසුකම් වෙනත් පිරිසක් විසින් හොරට ලියා ගැනීමකි.

විශ්ව විද්‍යාලයක නොව වෙනත් කිසිම රාජ්‍ය ආයතනය වුවද මේ අන්දමේ මුදල් නාස්ති කිරීම් දඬුවම් ලැබිය යුතු වරදක් බවට පත් නොකිරීම මෙවැනි අක්‍රමිකතා දිගින් දිගටම සිදුවීමට මහත් රුකුලක් වී තිබේ. ව්‍යාපෘතියක් කිසියම් පෞද්ගලික හෝ රජයේ ආයතනයකට භාර කෙරෙන විට ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදයක් තිබේ. අලුත්වැඩියාවක් හෝ ඉදිකිරීමක් සඳහා අනුමැතිය සහ කොන්ත්‍රාත්තුව ලබා දීමේ දී එය නිම කළ යුතු කාල සීමාව විශේෂයෙන් සඳහන් විය යුතුය. වෙනත් ආයතනවලට මෙන්ම විශ්වවිද්‍යාල පද්ධතියට ද මෙය පොදු සාධකයකි. දවස් අටකින් නිම කළ යුතු වූ අලුත්වැඩියාවක් වසර කිහිපයක් ගතවන විටත් අවසන් වී නැති නම් එහි අලාභය දැරිය යුත්තේ අදාළ විශ්ව විද්‍යාලය ද? එසේ විය නොහැක. එම වගකීමෙන් වැඩිම කොටස කොන්ත්‍රාත්කරු දැරිය යුතුය. සිදු වූ අලාභයට අඩුතරමින් වන්දි මුදලක් හෝ ලබාගත හැක්කේ ඒ ආකාරයට කටයුතු කර තිබුණොත් පමණි.

වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ සිද්ධියෙන් පෙනෙන්නේ අදාළ ඉදිකිරීම් සම්බන්ධ වගකීම් පැවරීමේදීත් ප්‍රසම්පාදනයේදීත් එහි බලධරයන් ක්‍රියාකර ඇත්තේ කිසිදු වෘත්තීමය භාවයකින් තොරව බවය. එසේ නොවී සියල්ල නිසි අයුරින් සිදුවී නම් මේ වන විට එම වැඩ කටයුතු නිමා වී තිබිය යුතුය. එහෙත් විගණන වාර්තාව පෙන්වා දෙන්නේ එසේ වී නැති බවකි. වැඩේ සිදුනොවීම හේතුවෙන් සිදුවන බුද්ධිමය පාඩුව දරාගන්නේ කවුද යන ප්‍රශ්නයට ද පැහැදිලි පිළිතුරක් නැති බවත් කියයි.

රටේ මුදල් මෙසේ වගකීම් විරහිත ආකාරයේ සිදුවීම් වලින් නැති නාස්ති වීම වළක්වා ගැනීමට රජයේ අවධානය යොමුවිය යුතුය. මේ ඉදිකිරීම් සඳහා 2018 වසරේ සිට 2020 දක්වා පමණක් රුපියල් කෝටි 28 කට අධික මුදලක් අයවැයෙන් වෙන්කර තිබූ බව ද සඳහන්ය. එසේ අයවැයෙන් වෙන් කෙරෙන මුදල් අවභාවිත කෙරෙන්නේ නම් හෝ එයින් වැඩක් නොගන්නේ නම් ඊට එරෙහිව නීත්‍යානුකූලව පියවර ගැනීම මුදල් අමාත්‍යාංශයේ වගකීමකි. විගණන වාර්තාව පෙන්වා දෙන්නේ කිසිදු පසුවිපරමක් සිදු නොවී ඇති බවය.

 මහජනතාව සතු මුදල් අවභාවිත වීම හේතුවෙන් මේ දක්වා රටට සිදුව ඇති විනාශය බරපතළය. ආපසු හැරවීමට පවා අපහසු තරම් ආර්ථික අවපාතයකට රට ගොදුරු වීමේ මහා පොදු සාධක අතරින් එය ද එකකි. ආර්ථිකය ගොඩ ගැනීමට නම් මේ මුදල් නාස්ති වහාම නතර කළ යුතුය.

(***)