ඉදිකිරීම් කර්මාන්තයේ ගැටලු කඩිනමින් විසඳන්න ඕනෑ


රටක ඉදිකිරීම් කර්මාන්තය කඩා වැටෙමින් පවතී නම් එවැනි රටක සංවර්ධනය පිළිබඳ කොතරම්  පුරාජේරු කතා කිව්වත් පලක් නැත. ඒ මක්නිසාද යත් ඉදිකිරීම් කර්මාන්තය  සමතලා වූ තැනක සංවර්ධනයට කිසිදු ඉඩක් නැති බැවිනි.

ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමය පසුගියදා සිදුකළ ප්‍රකාශය ඉහත සඳහන් තොරතුරු සමග ගළපා ගත් විට මැවෙන්නේ භයානක රූපයකි. එම සංගමයේ සභාපති සුසන්ත ලියනආරච්චි මහතා සඳහන් කරන අන්දමට රජයේ ඉදිකිරීම් කටයුතු සීමා කිරීම සහ විදේශ අරමුදල් යටතේ ක්‍රියාත්මක වන බොහෝ ව්‍යාපෘති නවතා දැමීමත් පවතින ආර්ථික  අර්බුදය නිසා පෞද්ගලික  අංශයේ ඉදිකිරීම් කටයුතු සීමා වීමත් හේතුවෙන් රටේ ඉදිකිරීම් කර්මාන්තය සියයට 70කින් පමණ කඩා වැටී තිබේ. මේ පසුබිමේ ඉදිකිරීම් කර්මාන්තයට  සෘජුවම සම්බන්ධ වී සිටි පෙදරේරුවන් සහ වඩු කාර්මිකයන් ඇතුළු වෘත්තිකයන්  සහ සේවකයන් ලක්ෂ අටක පමණ සංඛ්‍යාවෙන් ලක්ෂ 05කට පමණ මේ වනවිට රැකියා අහිමිවී ඇතැයි ද ඒ මහතා පෙන්වා දෙයි.

ඉදිකිරීම් කර්මාන්තයේ පමණක් නොව වෙනත් කර්මාන්තයක් වුවද රටේ පවතින ආර්ථිකය සමග ගැට ගැසී තිබේ. ආර්ථිකය දුර්වල වනවිට කර්මාන්ත ක්ෂේත්‍රයට එහි සෘජු බලපෑමක් එල්ල වෙයි. විශේෂයෙන් ඉදිකිරීම්  සඳහා අවශ්‍ය සිමෙන්ති, වැලි, කළුගල්, යකඩ පමණක් නොව සේවා ගාස්තු පවා අසීමිතව ඉහළ යාම එම බලපෑම්වලින් ඉහළින් සඳහන් වෙයි. එම මිල ඉහළයාම්වල සෘජු ප්‍රතිඵලයක් වන්නේ එදිනෙදා ගම්බදත් නගරයේත් සිදු කෙරෙන බහුවිධ  සුළු පරිමාණ ඉදිකිරීම්  පවා ඇන හිටීමයි. එවිට එදිනෙදා පෙදරේරු වැඩ සහ  වඩු වැඩවලින් යැපෙන තවත් දහස් ගණනකට ද ආදායම් මාර්ග නවතී. ග්‍රාමීය ප්‍රදේශවල පෙදරේරු රැකියාව කළ ඇතැම් පුද්ගලයන් මේ වනවිට වෙනත් කුලී වැඩ සොයාගෙන යමින් සිටින බව ද වාර්තා වෙමින් තිබේ. රුපියල දිනෙන් දින ශක්තිමත් වන බවට මහ බැංකුව කොතරම් ප්‍රකාශ කළත් එහි ප්‍රතිඵල රටේ ජනතාවට දැනෙන්නේ නැත්නම් සහ ඉදිකිරීම් කර්මාන්තය වැනි රටේ සංවර්ධනයට  සෘජුවම දායකවන කර්මාන්තවලට එයින් ප්‍රයෝජනයක් නොගත හැකිනම් එම ප්‍රකාශවල සත්‍ය තත්වය පිළිබඳව රටේ ජනතාව ප්‍රශ්න කිරීම වැළැක්විය නොහැකිවනු ඇත.

රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කඩාවැටීම පිළිබඳව සුසන්ත ලියනආරච්චි මහතා ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන කොතරම් දුරකට නිවැරදි දැයි අපි නොදනිමු. එහෙත් ඒ සංඛ්‍යා ලේඛන පිළිබඳව නිවැරදිව  හැදෑරීමක් කිරීමත් එයින් පැනනගින ගැටලු හඳුනාගෙන ඒවාට පිළියම් යෙදීමත් ඉදිකිරීම් ක්ෂේත්‍රය භාර රජයේ අමාත්‍යවරුන්ගේත් සෙසු නිලධාරින්ගේත් වගකීමකි. අනෙක් අතට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිදුවී ඇති මහා පරිමාණ කඩාවැටීම පිළිබඳ එම සංගමය කරුණු පෙන්වා නුදුන්නත් මහපාරට බැස ගමන් කිරීමේ දී ඒ බව නිශ්චිතවම හඳුනාගත හැකිය. ඇතැම් මහ පරිමාණ ඉදිකිරීම් අතරමග නැවතුණු අදියරේ එසේම පවතී. සාමාන්‍ය ජනතාව විසින් ඉදිකරනු ලබන නිවාස සහ ව්‍යාපාරික ගොඩනැගිලි ද බොහෝදුරට අතරමග නැවතී තිබේ. ගොඩනැගිලි ද්‍රව්‍ය මිල ගණන් දැරිය හැකි මට්ටමෙන් ඉවතට පැන රතු ඉර ද කඩාගෙන ගොස් නැවතී තිබේ. දැන් පවතින මිල ගණන්වලට නිවෙසක් ඉදිකර ගැනීම අතිබහුතරයකට සිහිනයක් පමණි. ඉදිකරන්නා එසේ අසරණ වනවිට එම ක්ෂේත්‍රයේ රැකියාවල නිරතවූවන්ට රැකියා අහිමිවීම ගැන පුදුම විය යුතු නැත.

මහාපරිමාණ ඉදිකිරීම් ඇනහිටීමට තවත් ප්‍රධාන සධකයක් වන්නේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ ඉංජිනේරුවන් රට හැර යාමයි. ඉදිකිරීම් සංගමය ප්‍රකාශ කරන පරිදි මේ වනවිට ඉදිකිරීම් ඉංජිනේරුවන්ගෙන් සියයට 50 ක් පමණ රට හැර ගොස් තිබේ. වෘත්තිකයන් රට හැර යාම ආණ්ඩුවට පාලනය කළ නොහැක. එයට බලපාන විවිධ හේතු තිබේ.

මේ වන විට ඉදිකිරීම් කර්මාන්තය මුහුණදී සිටින සෙසු බරපතළ ගැටලු පිළිබඳව සැලකීමේ දී වහා පිළියම් යෙදිය යුතු කාරණාවන්නේ අධික ලෙස ඉහළ ගොස් තිබෙන ගොඩනැගිලි ද්‍රව්‍ය මිලගණන් පහත හෙළීමයි. ඒ සඳහා වහාම ප්‍රමුඛත්වය දිය යුතුය. එම මිලගණන් දැරිය හැකි මට්ටමකට පහත හෙළන තුරු ඉදිකිරීම් කර්මාන්තය ගොඩගැනීම පිළිබඳ බලාපොරොත්තු තැබීම නිෂ්ඵල ය.

(***)