ඉන්ධන ගෙන්වීමට සමාගම් තුනකට පැවරීමේ තීන්දුව


මෙරටට ඉන්ධන ගෙන්වා බෙදාහැරීම සඳහා සමාගම් තුනක් තෝරාගෙන ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් ප්‍රකාශයට පත් වී තිබේ. බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියකු අපගේ ලංකාදීප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ එම සමාගම් තුනට ඉන්ධන ගෙන්වා බෙදාහැරීමේ අනුමැතිය ලබාගැනීම සඳහා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවය. එම අනුමැතිය ලබාගැනීම ප්‍රමාදයකින් තොරව සිදුවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

ඉන්ධන ආනයනය සඳහා අපේ රට අනුගමනය කළ ක්‍රමවේදයේ බොහෝ දුර්වලකම් පැවැති බව කාලයක සිටම හඳුනාගෙන තිබිණි. එහි ප්‍රතිවිපාක රටටම දැනුණේ ඉන්ධන ගෙන්වීම සහ බෙදාහැරීම ගැටලු‍වක් බවට පත් වී එය අර්බුදයක් දක්වා ඇදීගොස් පෝලිම් නිර්මාණයවීමෙනි. ඉන්ධන ආනයනයේ රජය සතුව තිබූ ඒකාධිකාරය හේතුවෙන් හැමදාම පහරවැදුණේ පාරිභෝගිකයාට ය. ඉන්ධන සඳහා ලොවේ බොහෝමයක් රටවලට වඩා ආදායමට සාපේක්ෂව ඉහළ මිලක් ගෙවීමට පාරිභෝගිකයාට බලකෙරුණේ ඒ හේතුවෙනි. තෙල් සංස්ථාව පාඩු ලබද්දී එහි වන්දිය ගෙවීමේ බර රටේ බදු ගෙවන මහජනතාව මත පැටවුණේය. ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී රටේ සැබෑ අවශ්‍යතාවට වඩා දේශපාලනික කාරණාවලට මුල් තැනක් දී තීරණ ගැනීමේ අහිතකර ප්‍රතිවිපාකවලින් එය එකක් පමණි.

රජයේ වුවද පෞද්ගලික අංශයේ වුවද ව්‍යාපාරික වපසරිය තුළ තරගකාරීත්වයක් නොමැති නම් එතැන බිහිවන්නේ ඒකාධිකාරියකි. එම ඒකාධිකාරීත්වයේ යකඩ හස්තයට යටවෙනු හැර පාරිභෝගිකයාට වෙනත් විකල්පයක් නැත. ඉන්ධන ගෙන්වා බෙදාහැරීමේදී මෙතෙක් කාලයක් සිදුවූයේද එයයි. එම ක්‍රමවේදය කිසියම් වෙනසකට භාජන වූයේ මෙරට ඉන්ධන පිරවුම්හල් 100ක් ඉන්දීය තෙල් සමාගමට පැවරීමේ තීන්දුව හේතුවෙනි.

එම ප්‍රතිපත්තිමය තීන්දුව ගනු ලැබුවේද වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ 2001 පිහිටුවන ලද එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවෙනි. සුපුරුදු පරිදිම සෑම වෙනසකටම කිසිදු ඉවක් බවක් නොමැතිව පහර ගසා එය කඩාකප්පල් කිරීමට පියවර ගන්නා ඇතැම් වෘත්තීය සමිති සහ සංවිධාන එම ක්‍රියාව හරහා විශාල ඉන්දීය බිල්ලෙක් මවාපෑමට ක්‍රියාකළත් ඒ මතවාදය යටපත් කරමින් තමන් ගත් තීන්දුව ක්‍රියාත්මක කිරීමට එම ආණ්ඩුවට හැකියාව තිබිණි.

එහි ප්‍රතිඵල ඇස්පනාපිට පෙනෙන්නට තිබිණි. මෙරට එතෙක් බොහොමයක් ඉන්ධන පිරවුම්හල්වල තිබූ අබලන් පෙනුම පවා විප්ලවීය වෙනසකට භාජන විය. ඉන්ධන ගෙන්වීමේදී ඉන්දීය තෙල් සමාගමට ද කිසියම් ප්‍රතිශතයක් අයිතිවීම හේතුවෙන් ඉන්ධන ගෙන්වීමේ රජය සතුව තිබූ ඒකාධිකාරිය සුළුවෙන් වෙනස් විය. එහෙත් එම ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනයාමට ඉන්පසුව බලයට පත් කිසිම ආණ්ඩුවක් ක්‍රියා නොකිරීම රටේම අවාසනාවක් වූ බව පෙන්වා දිය යුතුය. තෙල් සංස්ථාව පාලනය කළ මැති ඇමැතින්ගේත් ඔවුන් විසින් පත්කරන පාලනාධිකාරියේ ඇතැම් නිලධාරීන්ගේත් බඩගෝස්තරවාදී ප්‍රතිපත්ති හේතුවෙන් තෙල් සංස්ථාව වළපල්ලටම ඇදී ගියේය. අවසානයේ රජයට දැරිය නොහැකි බරක් වෙමින් පාඩු ලබන රජය සතු විශාලම ව්‍යවසායකයක් බවට තෙල් සංස්ථාව පත් විය. තෙල් වෙළෙඳාමෙන් බිලියන ගණනින් පාඩු ලබන ලොවේ එකම රාජ්‍ය ව්‍යාපාරය මෙය පමණක් විය හැකිය.

මේ තත්ත්වය දැන්වත් වෙනස් විය යුතුය. ඒ සඳහා දැඩි තීන්දුගෙන ඒවා ක්‍රියාත්මක කිරීම හැර වෙනත් විකල්පයක් අපට ඉතිරි වී නැත. තෙල් සංස්ථාව අධික ලෙස පාඩු ලැබීමට එක් හේතුවක් වන්නේ ශ්‍රී ලංකන් සමාගම ද ලංවිම ද ඇතුළු රාජ්‍ය ආයතන සඳහා සපයනු ලබන ඉන්ධන සඳහා නියමිත පරිදි මුදල් නොගෙවීම හේතුවෙනි. ඉන්ධන ආනයනය සඳහා තරගකාරීත්වය ඇති කිරීමට ගනු ලැබූ තීරණය ඒ අනුව යහපත් පියවරක් වුවද එම පියවර මගින් පමණක් තෙල් සංස්ථාවේ අධික ණයබරට විසඳුමක් ලැබෙනු බලාපොරොත්තු වීම නිෂ්ඵලය. එහෙත් ඉන්ධන ආනයනයේ දී තරගකාරීත්වය ඇති කිරීම ඉදිරියේදී සිදුවිය යුතු වෙනස්කම්වල යහපත් පූර්වාදර්ශයක් බවට විවාදයක් නැත. එහි වාසිය අවසානයේ පාරිභෝගිකයාට ලැබෙනු ඇතැයි විශ්වාස කළ හැකි බැවිනි.

රටේ දියුණුව, ආර්ථික වර්ධනය ඇතිකරවීම ගැන කෙටි සහ පහසු ගමන් මාර්ගයක් නැත. ඒ සඳහා යා යුතු වන්නේ දුෂ්කර මාවතකය. ප්‍රතිපත්තිමය තීන්දු ගැනීමේ විප්ලවීය වෙනසක් සිදුවීම එහි අනිවාර්ය කොන්දේසියකි. ඉන්ධන ආනයනයේ රජය සතුව පැවති ඒකාධිකාරය බිඳ දැමීමට පෞද්ගලික සමාගම්වලට අයිතිය ලබාදීම එවැනි එක් පියවරක් වශයෙන් අපි සලකමු.

(***)