එතෙර යන සිසුන් අතරමං නොකරමු


දරුවන්ට හැකි තරම් ඉහළට උසස් අධ්‍යාපනයක් ලබාදීම හැම මවකගේම පියකුගේම ලොකුම සිහිනයකි. මේ සිහිනය සැබෑ කර ගැනීමට ඔවුහු ඕනෑ දුක් ගින්දරක් උහුලති. උපරිම කැප කිරීමක් කරති. මේ සියලු කැප කිරීම් සහ දුක් පීඩා මැද මේ සිහිනය සැබෑ කරගන්නා මවුපියන් මෙන්ම එය අතරමගදී කඩා බිඳගන්නා මවුපියෝද වෙති. එසේ කඩාවැටීමට ඇත්තේ හේතු දෙකකි. එකක් දරුවාගේ නොහැකියාවය. අනෙක කොතරම් හොඳ ප්‍රතිඵල ලබාගත්තත් මේ රට තුළ ඉහළම අධ්‍යාපනය ලැබීමට ඇතුළු විය යුතු ප්‍රධානම දොරටුව වන රාජ්‍ය විශ්වවිද්‍යාලවල ප්‍රමාණවත් තරම් ඉඩ පහසුකම් නොතිබීමය.

තමන්ගේ දරුවා එම හේතුවෙන් මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමු කරගත නොහැකි, වියදම් කිරීමේ හැකියාව ඇති මවුපියන්ට කිසිදු ගැටලුවක් නැත. ඕස්ට්‍රේලියාවේ, එංගලන්තයේ, රුසියාවේ හෝ වෙනත් යුරෝපීය රටක හෝ මුදල් ගෙවා උසස් අධ්‍යාපනය ලබාගැනීමට තිබෙන විදෙස් විශ්වවිද්‍යාල පහසුකම් ප්‍රයෝජනයට ගනිමින් දරුවන් පිටරටක විශ්වවිද්‍යාලයකට ඇතුළු කර ගැනීමට එවැනි මවුපියන්ට හැකියාව තිබේ. එපමණක් නොව චීනය, ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය වැනි ආසියානු රටවල ස්ථාපිත කර තිබෙන යුරෝපීය හෝ බටහිර රටවල විශ්ව විද්‍යාලවල ශාඛාවලට හෝ එම දරුවන් යවන  මවුපියෝද වෙති. මෙරට විශ්ව විද්‍යාල පද්ධතිය තුළ තිබෙන ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොමැති වීම හේතුවෙන් උසස් අධ්‍යාපන වරම් අහිමී වීමට නියමිත එවැනි දරුවන් පිරිසකට එතෙර රටවල ඇති මෙම පහසුකම් හේතුවෙන් එම වරම හිමිකර ගැනීමට අවස්ථාව තිබීම යහපතකි. එහෙත් ඒ වෙනුවෙන් වාර්ෂිකව අතිවිශාල මුදලක් පිටරටට ඇදී යන බවද ඒ සමඟ සඳහන් කළ යුතුය.

රටේ විදේශ විනිමය ඒ සඳහා වැය වුණත් උසස් අධ්‍යාපනයට අපේ රටේ දරුවන්ට තිබෙන අයිතියට එය හරස් විය යුතු නැත. එලෙස අපේ රටේ ඩොලර්, පවුම් වෙනත් රටවලට ඇදී යන්නේ අපේ රටේම පවතින බරපතළ අඩුපාඩු හේතුවෙන් බව පෙන්වා දිය යුතුය. ලොවේ කිසිම රටක් ඒ ඒ රටවල බුද්ධිමත් දරුවන්ට උසස් අධ්‍යාපනය ලබාදීමට රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය පමණක් උපයෝගී කරගන්නේ නැත. බටහිර හෝ යුරෝපයේ පමණක් නොව ආසියාවේ පවා බොහෝ රටවල් පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කර ඇත්තේ මේ අඩුපාඩුව සම්පූර්ණ කර ගැනීම සඳහාය. එය තම රටේ දරුවන්ට දොර හැර දීමක් පමණක් නොව රටට විදේශ විනිමය උපයා දෙන විශාල ව්‍යාපාරයක්ද වී තිබේ. පෞද්ගලික විශ්වවිද්‍යාලය නවීන ලෝකයටම පොදු සාධකයක් බවට පත්ව තිබෙන බව යථාර්ථයයි. එම යථාර්ථයට පිටුපා කටයුතු කිරීමට යාමෙන් රටක දරුවන්ගේ උසස් අධ්‍යාපන ගැටලුව විසඳෙන්නේ නැත. සිදුවන්නේ එය තවදුරටත් ව්‍යාකූල වීම පමණි. එම දරුවන්ට උසස් අධ්‍යාපනය ලැබීමට තිබෙන අයිතිය පැහැර ගැනීමකි.

අපේ රටේද රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට පමණක් උසස් අධ්‍යාපන බර දරා සිටීමේ හැකියාවක් නැත. දැනට දශක කිහිපයකට පෙර රටේ සිටි ජනගහනය මේ වනවිට දෙගුණයකට ආසන්නව වැඩි වී තිබේ. එම වැඩිවීමට අනුරූපව විශ්වවිද්‍යාල පද්ධතිය වර්ධනය වූයේ නැත. එසේ වර්ධනය වීමට තරම් ශක්තිමත් ආර්ථිකයක් අපේ රටට තිබුණේත් නැත. එහෙත් රාජ්‍ය විශ්වවිද්‍යාලය ශක්තිමත්ව පවත්වාගෙන යාමට සමගාමීව රටේ පිළිගත් ප්‍රමිතිවලට අනුව පෞද්ගලික විශ්වවිද්‍යාල බිහිවීමට ඉඩහැර තිබුණි නම් අපේ රටට මෙවැනි දසාවක් නොලබන බව නම් කිව යුතුය. ආර්ථිකය නව මං ඔස්සේ ප්‍රසාරණය වීමට ඉඩදිය යුතු අවස්ථාවලදී එයට ඉඩ දීම වෙනුවට දේශපාලන සටන් පාඨ බදාගැනීමේ ආදීනව අත්විඳිමින් සිටින්නෙමු. රටේ උසස් අධ්‍යාපනයද එම දරුණු ඛේදවාචකයේ අවාසනාවන්ත ගොදුරක් බවට පත්ව තිබෙන බව සත්‍ය තත්ත්වයයි.

අපේ රටේද මේ වනවිට විදෙස් විශ්වවිද්‍යාලවලට අනුබද්ධිත ආයතන හරහා විදෙස් උපාධි සහ ඩිප්ලෝමා අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාව ලැබී තිබේ. එහෙත් ඒවා අංගසම්පූර්ණ නැත.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ප්‍රමිතිවලට සහ නිර්ණායකවලට අනුගත වන ආයතන ඒ අතර ඇත්තේ කිහිපයකි. එයින් ලබා ගන්නා සහතිකවලට නම් පිළිගැනීමක් තිබේ. එහෙත් බොහෝමයක් මවුපියන්ගේ තේරීම තම දරුවන් පිටරට විශ්වවිද්‍යාලවලට යොමු කිරීමය.

එහෙත් එම මවුපියෝ සහ සිසු දරුවෝ මේ වනවිට බරපතළ ගැටලුවකට මුහුණ දී සිටිති. රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් උපාධි ඇතුළු පාඨමාලා ගාස්තු සඳහා විදෙස් රටවලට මුදල් යැවීම ඉතා දුෂ්කර කටයුත්තක් බවට පත්ව තිබේ. ඇතැම් මවුපියන්ට මුදල් අතේ තිබුණත් ඒවා යවා ගැනීමට හැකියාවක් නැත. ඇතැම් රටවල ශ්‍රී ලාංකික සිසු දරුවන්ට දැඩි කොන්දේසි පනවා තිබේ. එතෙර රැඳී අධ්‍යාපනය හදාරන සිසුන්ට ඊළඟ වාරයේ පාඨමාලා ගාස්තු ගෙවිය නොහැකි නම් ඊට හේතුව කුමක් වුවද ඇතැම් රටවල් එම රටවලින් ආපසු එවීමට තරම් දැඩි තීරණද ගනිමින් සිටී. එසේ වුවහොත් එය මහා අපරාධයකි. වහාම රාජ්‍ය මට්ටමින් හෝ එම ගැටලුව විසඳා ගැනීමට මැදිහත් වීමත් අවශ්‍යය.

මේ රට තුළත් නියමිත ප්‍රමිතිවලට අනුකූලව පෞද්ගලික විශ්වවිද්‍යාල ඉදිවී තිබුණා නම් මේ ගැටලු කවදාවත් මතුවන්නේ නැත. ඒ වෙනුවට එය විනිමය උල්පතක් බවට හරවා ගත හැකිව තිබිණි.

(***)