එදා සිදුවූ දේ බලා අද පාඩමක් ගනිමු


2024 වසර උදාවිය. මෙය වූ කලී දින දසුනේ තවත් එක් වසරක් බවට පමණක් පත්වන්නේ නම් රටක් වශයෙන් අප ලබන පරාජයකි. 75 වසරක් පුරාම ඉඳහිට ජයග්‍රහණ ලබන සිරිතක් වශයෙන් පරාජය වැළඳ ගන්නා ජනතාවක් වන අප මේ වසරේදී හෝ එම අඳුරු සැහැසි ඉරණම වෙනස් කර ගැනීමට සාමූහික විචාර බුද්ධියෙන් යුතුව කටයුතු කළ යුතුය.

‘‘පරාජය යනු යහපත් ගුරුවරයකු’’ යන්න ප්‍රකට කියමනකි. නිරුක්ති විද්‍යාවට අනුව ගුරුවරයා යනු නොදැකීම නමැති අන්ධකාරය දුරු කරන්නා වේ. එය එසේ නම් ගෙවා පැමිණි 75 වසරම අප ගුරුවරයකු බවට පත් කරගත යුතුය. ඉදිරියට යා යුත්තේ කෙසේ දැයි ඒ ගුරුවරයාගෙන් අසා උගත යුතුය. අප පැරදුණේ ඇයිදැයි විමසා දැන ගත යුතුය. එයට හේතු විමසිය යුතුය. හිරු උදාවනවිට අවදි වීමෙන් හා හිරු අවරට ගිය පසු නින්දට  යෑමෙන් පමණක් අභියෝග ජයගත නොහැකිය. ඒ සාම්ප්‍රදායික ජීවන විලාශයෙන් හා විලාසිතාවෙන් අප නියත වශයෙන්ම මිදිය යුතුය. නොඑසේ නම් අපට 2024 වසරද අපේක්ෂාභංගත්වයෙන් අසහනයෙන් හා වේදනාවෙන් දවස් ගෙවා ගැනීමට සිදුවනු නියතය.

අප රට යනු බොහෝ අභියෝවලට ලක්වූ ගොදුරු වූ රටකි. දුරාතීතයේ පර සතුරු ආක්‍රමණ නිමක් නොවිය. වසර පන්සියයකට වැඩි කාලයක් අප රට විදේශීය ආක්‍රමණිකයන්ගේ පහසු ගොදුරක් බවට පත්ව තිබිණි. එහෙත් රණකාමීත්වයෙන් රණප්‍රතාපයෙන් හා නිර්භය බවින් අනූන මුතුන් මිත්තෝ වහල්භාවයට එරෙහිව අනවරත අරගලයක නියැළී රට නිදහස් කර ගත්හ.

මේ රට යනු දෙවරක්ම තරුණ පරපුරේ රුධිරයෙන් තෙත බරිත වූ රටකි. මහමඟ දැල්වුණු තෙල් ගැලුමයි ටයර සෑයෙහි තරුණයන් දැවී අඟුරු වී ගිය රටකි. තිස් වසරක්  පුරා ඇවිළී ගිය යුද්ධය අප රට සියවස් ගණනාවක් ආපස්සට ඇද දැම්මේය. එකම රටක, භාෂා දෙකක් කතා කරන තරුණ පරම්පරා දෙකක් මරණයට අතවනන යුද්ධයක පැටලී සිටියහ. සිය වසකට පමණ පසුව පැමිණි ලෝක වසංගතයකට අප රටද ගොදුරු විය.

ඉහතින් දැක්වූ සෑම අභියෝගාත්මක අවස්ථාවකදීම රටට ජයග්‍රහණ හිමිවන පරිදි එම තත්ත්වය කළමනාකරණය කර ගැනීමට අපි සමත් වීමු. නොඑසේනම් අප රටේ ඉතිහාසය මෙයට වඩා බොහෝ වෙනස් අක්ෂරවලින් ලිවීමට සිදුවනු ඇත. එහෙත් ‘අභියෝග’ යනු ‘අවස්ථා’ බවට පත් කරගත් අප රට අපගේ හැකියාවන් සහ අපගේ සම්පත් කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරමින් එම අභියෝග ජයගත්තෙමු.

අප රට ඉදිරිපිට මේ මොහොත වනවිට දරුණු අභියෝගයක් වෙයි. එය හැඳින්වෙන්නේ ආර්ථික අභියෝගය ලෙසය. එය දරුණුය. භයංකාරය. අද රටේ ඇති සෑම නස්පැත්තියකම පිතෘවරයා මෙම ආර්ථික අර්බුදය වේ. පාතාලය, මත්කුඩු ජාවාරම මෙන්ම සංස්කෘතික පරිහානියට මූලික සාධකය මෙම ආර්ථික අර්බුදය වේ. සම්පත් සමාන ලෙස බෙදී නොයෑම නිසා අර්බුදය උග්‍රවී තිබේ.

මෙම අර්බුදය ඉදිරිපිට කැතිගත යුතු නැත. මෙතැන ඇත්තේ ආදායම හා වියදම සමපාත නොවීම නිසා මතු වූ ප්‍රශ්නයකි. අපට ණය ගැනීමට සිදුව තිබෙන්නේ එහෙයිනි. ආදායම වෙනුවෙන් අධික බදු ගසා තිබේ. එහෙයින් කළ යුතුව තිබෙන්නේ ආදායම වෙනුවෙන් බදු ගැසීම වෙනුවට විකල්ප සොයා ගැනීමය. එය එතරම් අසීරු කටයුත්තක් නොවේ.

(***)