ශ්‍රී ලංකාවේ භාවිත කෙරෙන කොරෝනා එන්නත පිළිබඳව අනියත බියක් හෝ සැකයක් හෝ තබාගැනීම අනවශ්‍ය බවත් ඉන්දියාවෙන් දුන් එන්නත ආරක්ෂාකාරී බවට ජාත්‍යන්තරයෙන් පිළිගැනීමක් දී තිබෙන බවත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කරන බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.
මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව හැටනව දහස ඉක්මවා ගියේය. එයින් හැටහතර දහසකට ආසන්න පිරිසක් සුවය ලබා නිවෙස්වලට ගොස් සිටින බව ද වාර්තා වේ. මෙරටින් පළමු කොරෝනා ආසාදිතයා හමු වී වසරක් ඉක්ම යන තැන කොරෝනා එන්නත මෙරටට ගෙන්වීමට රජය පියවර ගත්තේය. ඉන්දීය රජයේ මානුෂික ආධාරයක් ලෙස පරිත්‍යාග කෙරුණු එම එන්නත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා නමින් හැඳින්වේ.
කොරෝනා මාරාන්තික වයිරසය සියවසකට පමණ පසුව පැමිණි වයිරසයකි. වයිරසය මුළු ලෝකයටම ආගන්තුකය. එහෙයින් සාදා ගබඩා කළ එන්නතක් හෝ ඖෂධයක් නොවීය. ලෝකයේ බොහෝ රටවල් කොරෝනා වයිරසයට එන්නතක් නිෂ්පාදනය කිරීමේ මෙහෙයුමේ යුහුසුළු වූහ. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත එහි එක් ප්‍රතිඵලයකි. වයිරසය මෙන්ම එන්නත ද ආගන්තුක හෙයින් බිය හා සැක මතුවීම එක් අතකින් ස්වාභාවිකය. එහෙත් විශේඥ වෛද්‍යවරුන්ගේ සංගමය දැඩිව අවධාරණය කරන්නේ ඉන්දියාවෙන් ගෙන්වන ලද එන්නත සම්බන්ධයෙන් අනියත බියක් හෝ සැකයක් තබාගත යුතු නැති බවය.
මේ මොහොතේදී වඩාත් වැදගත් වන්නේත් විශ්වාසනීයත්වයෙන් යුතු වන්නේත් සෞඛ්‍ය විශේෂඥයන්ගේ මතය වේ. කොරෝනා මාරාන්තික වයිරසය හමුවේ අනුගමනය කළ යුතු සෑම ක්‍රියාකලාපයක්ම තීරණය කරනු ලැබුවේත්, තීරණය කළ යුතු වන්නේත් සෞඛ්‍ය විශේෂඥයන්ම පමණි. ඉන් පරිබාහිරව ගිය සෑම අවස්ථාවකදීම වයිරසයේ උගුලට අප රට හසුවිය.
ඉන්දියාවෙන් ගෙන්වන ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන්ට විවිධ ප්‍රකාශ කළ හැකිය. ඇතැම්විට බොර දියේ මාළු බාන්නට මේ මොහොතද කදිම අවස්ථාවකි. එබඳු අවස්ථාවාදියෝ සිටිති. ඔවුන්ට උවමනා කරන්නේ රට අවුලෙන් අවුලට යනු දැකීමය. ඉන්දියාවෙන් ගෙන්වන ලද එන්නත බාල, ප්‍රමිතියෙන් තොර එන්නතකැයි කටකතාවක් පතුරුවා හරිනු ලැබුවහොත් එමගින් ජනතාව කැළඹීමට පත්වීමට ඉඩ තිබේ. එම කැළඹීම තුරන් කිරීමේ හැකියාව තිබෙන්නේ සෞඛ්‍ය විශේෂඥයන්ට පමණි.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය එල්.ඒ. රණසිංහ මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාවේ දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත මහා බ්‍රිතාන්‍යයේ සහ යුරෝපා සංගමයේ ඖෂධ පාලන ආයතන විසින් ද ආරක්ෂාකාරී සහ කොරෝනාවට එරෙහිව ක්‍රියාකාරී බවට සහතික කර ඇති බවය. එන්නත් ලබාගැනීම දිරිගැන්වීමේ පරමාර්ථයෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජිකයන් බොහෝ පිරිසක් රෝහල්වලදී එන්නත් ලබා ගැනීමට මුලින්ම ඉදිරිපත් වූ බව ද ඒ මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබිණි.
මාරාන්තික වයිරසය හමුවේ පවා බොර දියේ මාළු බාන පිරිස් සිටින බවද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිවරයා අවධාරණය කර තිබේ. ඒ මහතා ප්‍රකාශ කරන්නේ සුළු පිරිසක් එන්නත පිළිබඳව දෙගිඩියාවක් ජනතාව තුළ ඇති කිරීමට උත්සාහ කරන බවත්, සෞඛ්‍ය අංශවලම පිරිසක් ඒ පිළිබඳව දෙගිඩියාවෙන් පසුවීම අවාසනාවන්ත තත්ත්වයක් බවය.
ඉන්දියාවෙන් ගෙන්වන ලද එන්නත පළමුවෙන්ම සෞඛ්‍ය අංශයට හා ආරක්ෂක අංශවලට එන්නත් කරන ලදී. වයස අවුරදු 60ට වැඩි පුද්ගලයන්ට එම එන්නත ලබාදීම මාර්තු මස 1 වැනිදා සිට ආරම්භ කරන බව රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අප පුවත්පතට ප්‍රකාශ කර තිබිණි. එමෙන්ම ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත් මාත්‍රා ලක්ෂ 90ක් මිලදී ගැනීමට රජය පියවර ගෙන ඇති බව ද රාජ්‍ය ඇමැතිවරිය පවසා තිබේ. මීට අමතරව චීනය හා රුසියාව ප්‍රදානය කරන එන්නත් තොගයක් ද ඉදිරි දිනවලදී මෙරටට ගෙන්වීමට නියමිත බව ද අප පුවත්පත වාර්තා කර තිබිණි.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය එල්.ඒ. රණසිංහ මහතා ප්‍රකාශ කරන්නේ දිනෙන් දින උත්සන්න වෙමින් පවතින කොරෝනා වසංගතයට මේ අවස්ථාවේ තිබෙන හොඳම විසඳුම එන්නත්කරණය බවය. එහෙයින් රටේ ජනතාවට ලැබී ඇති වටිනා අවස්ථාව දුර්මතවලට මුවා වී අපතේ නොයවන ලෙස ද ඒ මහතා ඉල්ලා සිටී. වගකීම් විරහිත ලෙස කටයුතු කිරීමට මේ මොහොතේදී හැකියාවක් නොමැති බව අපි අවධාරණය කරමු.
(***)