ඕමල්පේ නාහිමියන්ගේ යෝජනාව: දේශපාලකයන්ටත් වචනයක්


රට මුහුණ දී සිටින බරපතළ ආර්ථික අර්බුදය හමුවේ විශාල ධනයක් ඇති බෞද්ධ, අබෞද්ධ සෑම සිද්ධස්ථානයකින්ම භාණ්ඩාගාරයට යම් පරිත්‍යාගයක් කළ යුතු යැයි ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියෝ පසුගියදා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළහ. රට අමාරුවේ වැටී තිබෙන, රටට අවශ්‍යම අවස්ථාවක ඉදිරිපත් වූ මේ ඉල්ලීම සද්භාවයෙන් සිදුකෙරුණු ඉතාම වැදගත් ඉල්ලීමක් වශයෙන් අපි දකිමු. මෙය සාමාන්‍යයෙන් අප අසා තිබෙන දැක ඇති ක්‍රමයට වඩා වෙනස්ය. එනම් රජයෙන් සහ වෙනත් වගකිවයුතු අංශවලින් සිද්ධස්ථානවලට සිදුකෙරෙන ආධාර උපකාර ලබාදීම්, පරිත්‍යාග සිදුකිරීම්වලට හාත්පසින්ම වෙනස් වූවකි.

ඕමල්පේ නාහිමියන් මෙහිදී පෙන්වා දෙන්නේ රටේ ආර්ථිකය පිරිහීම හේතුවෙන් භාණ්ඩාගාරය හිස් වේගෙන යන බවත් මෙවැනි අවස්ථාවක කටයුතු කළ යුතු ආකාරය ගැන පූර්වාදර්ශ තිබෙන බවත්ය. 2007 වසරේදී තායිලන්ත රජය මෙවැනි අර්බුදයකට මුහුණ දුන් අවස්ථාවේ භික්ෂූන් වහන්සේලා ඉදිරිපත් වී විහාරස්ථාන සතුව තිබූ ධනය සහ රත්රන් රාජ්‍ය භාණ්ඩාගාරයට ලබාදුන් බවත් එම ආදර්ශය අනුවම යාමට අපටද සුදුසු අවස්ථාව එළැඹ තිබෙන බවත් උන්වහන්සේ පෙන්වා දෙති. එම ආදර්ශය ක්‍රියාවට නැංවීමෙන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට යම් පමණක පිළිසරණක් ලැබෙන බවට තමන් තුළ විශ්වාසයක් පවතින බවද උන්වහන්සේ වදාළහ.

එහෙත් සමස්ත දේශපාලකයෝද රජයෙන් ලැබෙන වරප්‍රසාද සුඛ විහරණ අත්හැර දමා අල්පේච්ඡ දිවි පැවැත්මකට සූදානම් විය යුතුය.

මෙහිදී මේ රටේ ජනතාවටත් දේශපාලනඥයන්ටත් වැදගත් පණිවුඩයක්ද උන්වහන්සේගේ ප්‍රකාශයේ සඳහන් විය. මේ කාර්යය සඳහා ආගමික නායකයන් එකතු වී උපදේශන කමිටුවක් පිහිටුවා ගෙන එහි උපදෙස් රටේ පාලකයන්ටද ලබාදිය යුතු බවත් පාලකයන් විනයානුකූල පැවැත්මකට නතුකර ගනිමින් පොරොන්දු පත්‍රයක් යටතේ එවැනි පරිත්‍යාග සිදුකළ යුතු බවත් සඳහන් කරන උන්වහන්සේ එසේ නොවුණහොත් ඒ සම්පත් පවා දේශපාලනඥයන්ගේ ග්‍රහණයට අසුවනු ඇතැයි යන සැකය තමන්ටද තිබෙන බවද ප්‍රකාශ කරති.

එම ප්‍රකාශය සමඟ අපිද සීයට සීයක්ම එකඟ වෙමු. මේ රටේ දේශපාලනඥයන්ගේ ග්‍රහණයේ තරම දන්නා ඕනෑ කෙනකුට මේ සැකය ඇතිවීම ගැන පුදුම විය යුතු නැත. තම රට අමාරුවේ වැටී සිටින විට එය බේරාගැනීමට හැකි ඉහළම පරිත්‍යාග කිරීමට කැමැති ආගමික නායකයන් මෙන්ම ජනතාවද මේ රටේ හිඟ නැත. එහෙත් එවැනි පරිත්‍යාගයකට අත්විය හැකි ඉරණම ගැනද ඒ සමගම දැඩි සැකයක් ඇතිවිය හැකි බවද පෙන්වා දිය යුතුය. පරිත්‍යාගවලට පමණක් නොව රටේ ජනතාවට අයිති මුදල්වලට පවා පික්පොකට් ගසන දේශපාලනඥයන් සිටින රටක මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාවේ යෙදවීම ඉතා දුෂ්කර වැඩක් බව අමුතුවෙන් කිවයුතු නැත.

රටේ ආර්ථිකය මේ තරම් අර්බුදයකට ලක්වීමට අදූරදර්ශී තීරණ ගැනීම් පමණක් නොව දේශපාලනඥයන්ගේ මහා පරිමාණ දූෂණ සහ වංචාද හොරකම්ද හේතු වූ බව රහසක් නොවේ. වඩාත්ම ඛේදවාචකයක් වන්නේ එවැනි වංචා සහ දූෂණවලට හවුල් වන දේශපාලනඥයන්ට දඬුවම් නොලැබීමය. ඔවුන් නීතිය ඉදිරියට පමුණුවා දඬුවම් ලබාදීමේ ක්‍රියාපිළිවෙතක් නොතිබීමය. එවැනි දේශපාලනඥයන් හරහා භාණ්ඩාගාරයට ලබාදෙන රත්රන් සහ මුදල්වලට අත්විය හැකි ඉරණම ගැන සැක පහළ කිරීම අරුමයක් නොවේ. ඕනෑම විශාල ජරාවක් ගෙඩි පිටින් ගිල දමන එවැනි දූෂිත දේශපාලනඥයන්ට ආගමික සිද්ධස්ථානයකින් ලැබෙන ධනය අග්ගලාවක් තරම් කුඩාවට පෙනී යන්නත් බැරි නැත. එසේ වුවහොත් රටේ ආර්ථික අර්බුදය කෙසේ වෙතත් ඔවුන්ගේ ආර්ථික ඇතුළු සෙසු අර්බුද විසඳෙනු ඇත.

රටක් ආර්ථිකව ගොඩ දා ගැනීමට නම් ඒ සඳහා ඍජු ප්‍රතිපත්ති රටකට තිබිය යුතුය. එම ප්‍රතිපත්ති ක්‍රියාවේ යෙදවීමට දැඩි ස්ථාවර තීන්දු ගැනීමට හැකි නායකයන්ද සිටිය යුතුය. හොරුන් සිටිනතුරු රටකට උරුමවන්නේ පරිහානියේ පතුල දකිමින් දුක්වීම පමණි. සිදුකෙරෙන පරිත්‍යාග අවසානයේ භාණ්ඩාගාරයට නොයා නිවෙස්වල පෞද්ගලික භාණ්ඩාගාරවල තැන්පත් වීමටද බොහෝදුරට ඉඩ තිබේ. මෙතෙක් බලයට පැමිණි බොහොමයක් මැති ඇමැතිවරුන්ගේ නිවෙස්වල මෙවැනි පෞද්ගලික භාණ්ඩාගාර තිබෙන බවත් ප්‍රසිද්ධ රහසකි.

ඕමල්පේ සෝභිත හිමියන් සද්භාවයෙන් කළ ඉල්ලීම දෙස බැලිය යුත්තේ මේ පසුබිමේ සිටිමිනි. ඇතැම් රටවල් ආර්ථික වශයෙන් කඩාවැටුණු විට ජනතාව ඉදිරිපත් වී එවැනි පරිත්‍යාග කළ අවස්ථා තායිලන්තයේ පමණක් නොව වෙනත් රටවලින්ද උදාහරණ ගත හැක. අපේ රටේද සුනාමිය අවස්ථාවේ මෙවැනි පරිත්‍යාග සිදුකරනු දැකිය හැකි විය. රටපුරා දුකට පත්වූ ජනතාවට ආධාර උපකාර කිරීම සඳහා රජයත් පෞද්ගලික ආයතනත් පිහිටු වූ මධ්‍යස්ථානවලට පැමිණි ජනතාව තමන්ගේ අතේ කරේ පළඳවාගෙන තිබූ රන් මාල, පෙන්ඩන, මුදු පවා ගලවා දුන්හ. සාක්කුවේ තිබූ සියලු‍ මුදල් ඒවා එකතු කරන පෙට්ටිවලට දැමූහ. නිවෙස්වල තිබූ භාණ්ඩ පවා ගෙනැවිත් දුන්හ. එහෙත් වර්තමානයේ දේශපාලනඥයන් කෙරෙහි ජනතාව තුළ පොදුවේ පවතින කලකිරීම හේතුවෙන් ඔවුන් එවැනි පරිත්‍යාගයකට පෙර දෙවරක් සිතනු ඇත. ආගමික සිද්ධස්ථාන තුළද එහි වෙනසක් තිබිය නොහැක.

(***)