යුද්ධය නිමවීමත් සමග පොලොන්නරුව කන්දකාඩු ප්‍රදේශයේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ආරම්භ විය. එහි එල්.ටී.ටී.ඊ. සාමාජිකයෝ පුනරුත්ථාපනය වූහ. එම ව්‍යාපෘතියෙන් පසුව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත්විය. කොවිඩ් කාලයේදී එය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත්විය. පසු කාලයේදී යළිත් එය මතට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයක් විය. දහසකට ආසන්න පිරිසක් එහි පුනරුත්ථාපනය වෙමින් සිට ඇත. නැවත නැවතත් රටම කතා කරන ස්ථානයක් බවට කන්දකාඩුව පත් වූයේ ඉකුත් 28 වැනිදා රාත්‍රියේ සිටය.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවුවකු ළඟ තිබී දුම්කොළයක් හමුවීමත් සමග එහි කලබැගෑනිය හටගෙන තිබේ. දුම්කොළය තහනම් වර්ගයක් නොවුවද එය මතට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථානයක් වන හෙයින් එම බිමේ දුම්කොළ තහනම්ය. ඒ අනුව රැදවියකු සතුව දුම්කොළයක් තිබීම නියත වශයෙන්ම විධිමත් පරීක්ෂණයකට හේතුවකි. මන්දයත් ඕනෑම රැඳවියකු පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් තුළට ගනු ලබන්නේ පූර්ණ පරීක්ෂණයකින් පසුව වීමය. එමෙන්ම එහි රැඳවියන්ට ගෙදරින් කිසිවක් රැගෙන යාම තහනම් වන අතර ඇඳුම් පැළඳුමේ සිට අවශ්‍ය සියලු දෑ මධ්‍යස්ථානයෙන් ලබාදීම සිදුවේ. එබඳු පරිසරයක් තුළ රැඳවියකු දුම්කොළයක් මධ්‍යස්ථානය තුළට රැගෙන ආවේ කෙසේද යන්න ප්‍රශ්නයකි.
දුම්කොළය ළඟ තබාගත් රැඳවියා පසුදා පහන් වනවිට මළ සිරුරක් වී තිබිණි. එම මරණයට හේතුව පරීක්ෂණයකින් පසුවය. එහෙත් සෙසු රැඳවියන් ප්‍රකාශ කරන්නේ පහර දීමකින් එම මරණය සිදුවූ බවය. අප පුවත්පතේ ඒ සම්බන්ධයෙන් පළවූ ප්‍රවෘත්තියෙහි සඳහන් වන්නේ රැඳවියන් පිරිසක් අතරවූ ගැටුමක් නිසා එම මරණය සිදුවූ බව හමුදාව ප්‍රකාශ කරන බවය. කෙසේ වෙතත් මිනිසකු එසේ මරා දැමීමට කිසිවකුට අයිතියක් නැත.
අප පුවත්පත වාර්තා කර තිබුණේ රැඳවියාගේ එම මරණයෙන් පසුව දහසකට ආසන්න රැඳවුම්කරුවන් අතරින් හයසිය දෙනකු පමණ කඳවුරෙන් පලාගොස් ඇති බවත් ඉන් පන්සීයකට වැඩි පිරිසක් යළි අත්අඩංගුවට ගැනීමට පොලිසියට හා හමුදාවට හැකි වූ බවත්ය. කලහකාරි පිරිස පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ බඩු බාහිරාදියට හා වාහනවලට අලාභ කර ඇති බවත් සඳහන්ය. ආරක්ෂක අංශ සාමාජිකයන්ට ගල් මුල්වලින් පහර දී රැඳවියන් සෝමාවතී වනෝද්‍යානය තුළට ගමන් කර ඇති බවත් සඳහන්ය.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවනු ලැබ සිටින්නෝ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවෝ වෙති. එමෙන්ම එබඳු මත් ලෝලියකු එම මධ්‍යස්ථානයට එවනු ලබන්නේ අධිකරණ නියෝගයකිනි. එහෙයින් කැමැත්තෙන් පුනරුත්ථාපනයවීමට ගිය අයකු එහි සිටී දැයි ප්‍රශ්නයකි. එහෙයින්ම මෙම රැඳවියන් සැලකිය යුතු වන්නේ විශේෂ වර්ගයේ රැඳවියන් පිරිසක් ලෙසය. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් නිසාම ඔවුන්ගේ මානසිත්වය වෙනස්ය. පුනරුත්ථාපන ක්‍රියාවලියක් මගින් එම මනස් යථා තත්ත්වයට පත්වීමට යම් කාලයක්ද ගතවේ. එහෙයින්ම ඔවුන් සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් කටයුතු කළ යුතුය. පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වන හෙයින් එහි සේවයට යෙදවිය යුත්තේ මනෝ විද්‍යා විශේෂඥයන්ය.
මෙම පුනරුත්ථාපන මධ්‍යස්ථානය පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුව යටතේ පවත්වාගෙන යනු ලබන අතර මධ්‍යස්ථානයෙන් පිටත යුද හමුදාව ආරක්ෂාව සපයන බවද මාධ්‍ය වාර්තාවල සඳහන්ය. මෙම මධ්‍යස්ථානය සම්බන්ධයෙන් මෑතකාලීනව විකාශනය වූ වැඩ සටහන්වලින් වඩාත් සුබදායි තත්ත්වයක් එහි පැවැති බව පැහැදිලිය. රැඳවූවන් පවා ඉතා ස්තුතිපූර්වකව මාධ්‍යයට අදහස් දක්වා තිබිණි. එහෙත් මළ සිරුරක් තත්ත්වය සම්පූර්ණයෙන්ම කණපිට හරවා තිබේ.
පුනරුත්ථාපනය වෙමින් සිටි රැඳවියන් විශාල පිරිසක් වනෝද්‍යානයට පැනීම සරළ කාරණාවක් නොවේ. ඔවුන්ගෙන් ජන ජීවිතයට කෙබඳු බලපෑමක් එල්ල වේද යන්න අනාවැකි කීමේ හැකියාවෙන් පිටත පිහිටියකි. එමෙන්ම රැඳවියන්ගෙන් මෙබඳු හැසිරීමක් මතුවිය හැකි බවට ගණන් බලා කිසිදු අත්වැරැද්දකට ඉඩක් නොතබා ආරක්ෂක විධිවිධාන තර කළ යුතුව තිබිණි. අවදානමට වඩා සූදානම බොහෝ සෙයින් ප්‍රායෝජනවත් බව බොහෝ සිදුවීම ඇසුරෙන් පසක් කරගත් ඒකාන්ත සත්‍යයකි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා සෙබළු දෙදෙනෙක් සහ ගුවන් හමුදා සෙබළු දෙදෙනෙක් රිමාන්ඩ් භාරයට පත්ව සිටිති. පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ මියගිය රැඳවියාගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් ලැබෙන වාර්තාව අනුව අපක්ෂපාතීව කටයුතු කරන බවයි. නිලධාරීන් අතින් යම් වරදක් සිදුවී තිබුණහොත් ඔවුන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවය. අප අවධාරණය කරන්නේත් එය ම ය. කිසිදු මිනිසකු මරා දැමීමට කිසිදු පාර්ශ්වයකට අයිතියක් නැත.
(***)