“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වාඩි වූ ජනාධිපතිවරයකුට තනතුරෙන් ඉල්ලා අස්වී ගෙදර යාමට සිදුවූයේත් අගමැතිවරයා ඇතුළු බොහෝ මැති ඇමතිවරුන්ට තනතුරු අහිමි වූයේත් සමාජයේ පතුල බිඳගෙන ප්‍රකාශයට පත්වූ ජනතා විරෝධය හේතුවෙනි.
සමාජ විරෝධය ඇවිළී ගියේ ජනයාට දිවා රෑ වෙනසකින් තොරව සාපිපාසිතව පෝලිම්වල නිරා දුක් විඳීමට සිදුවීමත් රට බංකොලොත් තත්වයට පත්වීමත් හේතුවෙනි. මේ රට එබඳු සැහැසි ඉරණමකට ලක් වූයේ නිදහසින් පසු බිහි වූ සෑම වර්ණයකටම අයත් දේශපාලනඥයන් ජනයා සතු ධනය සොරා කෑ නිසා යැයි අරගල භූමියේ ජනතාවගේ චෝදනාව විය. නිර්පාක්ෂිකව මතුවූ එම තත්වය එයට හිමි බරින්, ප්‍රමාණයෙන් තේරුම් ගැනීමට අප දේශපාලනඥයන් සමත් වන්නේ නම් සිහිනයෙන් හෝ සොරකමක්, වංචාවක්, අගතියක් නොකරනු ඇතැයි යන්න ඒකාන්ත විශ්වාසයයි.
එහෙත් එය එසේ නොවන බව අප පුවත්පත වාර්තා කළ ප්‍රවෘත්තියකින් සනාථ වේ. එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 50 ගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා සඳහා කිසිවකු එරටට යවා නැතැයි තරුණයන් පිරිසක් චෝදනා කරන බවත්ය. එම දේශපාලනඥයා එක් තරුණයකුගෙන් රුපියල් 40,000 බැගින් තරුණයන් 500කගෙන් මෙසේ මුදල් ලබාගෙන ඇතැයි ද රුපියල් 1500ක් අයකර එම තරුණයන්ට දින හයක පුහුණුවක් ලබාදී ඇතැයි ද එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන් ය.
අප රටේ තරුණ පරපුර නොරටක රැකියා අවස්ථා සොයනුයේ මෙරට දේශපාලනඥයන් එම තරුණයන්ගේ සිහින අපේක්ෂා ගිනිබත් කර ඇති හෙයිනි. එසේ නොමැතිව පවුලේ සමීපතමයන් සමග සතුටෙන් ජීවත්වීමට ආශාවක් නොමැති නිසා නොවේ. වේලක් කා වේලක් නොකා හෝ මේ බිමේ ජීවත්වීමට ඔවුහු සූදානම් වෙති. එහෙත් අපේක්ෂා ජීවමාන යථාර්ථයක් බවට පරිවර්තනය කරගැනීමට පැහැදිලි මගක් ඉඩක් එම තරුණ පරපුරට තිබිය යුතුය. එහෙත් අද තරුණයාට අහිමිව ඇත්තේ ද එය මය. අද තරුණයා මෙරට ජීවත් වන්නේ චණ්ඩ රළ ගෙඩි පිරුණ, මහා කුණාටු හමන සාගරයක අතරමංවූවන් ලෙසය. දිවි බේරා ගැනීමට ගොඩබිමක් සොයා ගැනීම ඔවුන්ගේ එකම අපේක්ෂාව ය. මෙරට තරුණයා නොරටක රැකියා අවස්ථාවක් සොයායාමේ සිහිනයේ උපත එය යි.
අප ප්‍රවෘත්තියට අනුව එම අසරණ තරුණයන්ගේ ජීවිතාපේක්ෂාව නිර්ලජ්ජිත ලෙසත් හීන දීන තුච්ඡ ලෙසත් සූරාකෑමේ මහා නින්දිත ජාවාරමක් ක්‍රියාත්මක වී ඇති සෙයකි. අරගල සමයේ දී ප්‍රචණ්ඩ වාසුළියක්ව මෙම තරුණ පරපුර නැගී සිටියේ මෙම අධම දේශපාලනයට එදිරිව ය.
මෙරට තරුණයා ඇතුළු සමස්ත ජනයා ඉල්ලා සිටින්නේ මනුෂ්‍ය ගරුත්වය රැකගෙන අභිමානයෙන් ජීවත්විය හැකි රටකි. සුදුසුකමට තැන ලැබෙන රටකි. දේශපාලනඥයා ඇතුළු කිසිදු බලපුළුවන්කාරකම්වලට යටත් නොවී දණ නොනමා ජීවත්විය හැකි රටකි. එහෙත් අපගේ ඇතැම් දේශපාලනඥයන්ට අැවැසිව ඇත්තේ තම බලපුළුවන්කාරකමට යටත් කරගත් අතවැසියන් බවට පත්වූ රට වැසියන් ය. පුරවැසියන් නොව යටත් වැසියන් ය. ඒ එම ජනයා නින්දනීය ලෙස සූරා කෑමට ය. මෙබඳු ත්‍රාඩ දේශපාලනඥයන්ට තවදුරටත් නිදැල්ලේ සිටීමට ඉඩදිය යුතු ද? නැතහොත් වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු ද ? ජනතාව බලා සිටින්නේ මේ ප්‍රශ්න දෙකට ලැබෙන පිළිතුරු දෙස ය.
(***)