කල් දැමූ පුංචි ඡන්දය තවත් කල් නොදමමු


මැතිවරණයක් කල් දැමීමට අවශ්‍ය නම් ඒ සඳහා අදාළ කරගත හැකි හේතු සාධක රාශියක් ආර්ථික වශයෙන් බංකොළොත් බව ප්‍රකාශයට පත් කර ඇති ශ්‍රී ලංකාව වැනි රටකට සොයා ගැනීම අපහසු නැත. එහෙත් රටේ නීතියට අනුව පැවැත්විය යුතු මැතිවරණ එවැනි හේතු ඉදිරිපත් කරමින් දිගින් දිගටම ප්‍රමාද කිරීම ද සුදුසු නැත. මේ වන විට ද වසරක් කල් දමා තිබෙන පළාත් පාලන මැතිවරණය තවදුරටත් කල් දැමීමට පියවර ගතහොත් මේ වනවිට පළාත් සභාවලට අයත්ව තිබෙන ඉරණම පළාත් පාලන ආයතනවලට අයත් වීමට ද ඉඩ තිබෙන බැවිනි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගනිමින් සිටිය දී ආණ්ඩු පක්ෂයට සම්බන්ධ දේශපාලන පක්ෂවල විවිධ නියෝජිතයන් විවිධ ප්‍රකාශ නිකුත් කර ඇති හෙයින් එම මැතිවරණය පැවැත්වීම පිළිබඳ කිසියම් අවිනිශ්චිත තත්ත්වයක් පැන නැගීම හේතුවෙන් ඉහත පූර්විකාව සටහන් කළෙමු. බලයේ සිටින ආණ්ඩුවක් පළාත් පාලන මැතිවරණය කල් දැමීම පිළිබඳ මෑත කාලීන දේශපාලන ඉතිහාසය තුළ උදාහරණය වන්නේ 2017 වසරේ යහපාලන රජය යටතේ සිදු වූ කල් දැමීමය. එය ද කල් දැමුණේ එක් වසරකිනි. වසරකට පසු පැවති එකී පුංචි ඡන්දයෙන් යහපාලන රජයට අත්වූයේ දරුණු පරාජයකි. ඡන්දයක් කල් දැමීම බොහොමයක් ගැටලු‍වලට විසඳුම් ලබාදෙනු ඇතැයි යන විශ්වාසයේ එල්බගෙන සිටින දේශපාලකයන්ට එම ප්‍රතිඵලය ලබා දෙන්නේ ප්‍රබල සංඥාවක් බව පෙන්වා දිය යුතුය. නිසි කලට මැතිවරණ පැවැත්වීම වඩාත් යහපත් බව අසීරුවෙන් හෝ තේරුම් ගැනීමට එය ප්‍රබල උදාහරණයකි.

පසුගිය පෙබරවාරියේ පුංචි ඡන්දය වසරකින් කල් දැමීම නිසා මෙරට පළාත් පාලන ආයතන 341ක් තවමත් ක්‍රියාත්මක වන්නේ හිටපු මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති ජනවරමට අනුවය. මේ වනවිට එම ජනවරම අලු‍ත් වී තිබිය යුතුය. එහෙත් වසරකින් පළාත් පාලන ආයතන කාලය දීර්ඝ කිරීමෙන් අලු‍තින් මන්ත්‍රීවරුන් පත්වීමද කල් යමින් තිබේ. ඒ හේතුවෙන් පළාත් පාලන ආයතන මගින් ඉටුවිය යුතු සේවය නැවතී ඇතැයි අපි නොකියමු. එසේම මෙරට පළාත් පාලන ආයතන පාරිශුද්ධ ලෙස කටයුතු කරමින් ජනතාවට අපිරිමිත සේවයක් සලසන බවක් හෝ කීමට ඉක්මන් නොවෙමු. එසේ වුවද පළාත් පාලන ඡන්දය තවදුරටත් කල් දැමීම සුදුසු නැති බවත් එසේ කල් දැමීම රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට එරෙහිව යාමක් බවත් කිව යුතුය.

රට බරපතළ ආර්ථික අර්බුදයක ගිලී සිටියදී මැතිවරණ පැවැත්වීම නොකළ යුත්තක් බව සමහරු කියති. එසේ කියන බොහෝ දෙනා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන දේශපාලනඥයන් සහ ඔවුන්ට සහාය දක්වන කණ්ඩායම් බව ද නොරහසකි. මේ අවස්ථාවේ දී මැතිවරණයකට යාම සඳහා රටේ මුදල් නැති බව ද රුපියල් කෝටි 1000ක පමණ වියදමක් ඒ සඳහා දැරීමට සිදුවනු ඇති බව ද තවත් මතයකි. එහෙත් වියදම් දැරීමේ නොහැකියාව මත හෝ ආර්ථික අර්බුදය හේතුවෙන් හෝ මැතිවරණයක් නොපවත්වා සිටීම වැරදි පූර්වාදර්ශයක් සැපයීමක් බව පෙන්වා දිය යුතුය.

රටේ ජනතාවට මේ අවස්ථාවේදී වඩාත් අවශ්‍ය වන්නේ ඔවුන් මුහුණ දී සිටින දැඩි ආර්ථික පීඩනයෙන් ගොඩ ඒමට අවශ්‍ය පියවර ගැනීම බව සැබෑවකි. එයට වඩාත් ප්‍රමුඛත්වය ලැබිය යුතුය. එහෙත් මේ වන විට ද වසරකින් කල් දමා ඇති පළාත් පාලන මැතිවරණය තවදුරටත් කල් දැමීමට එය සාධාරණ හේතුවක් නොවේ. එසේ කල් දැමූ පමණින් රටේ ආර්ථික ගැටලු‍ විසඳෙනු ඇති බවට සහතිකයක් නැත. එසේම එම ඡන්දයේ ප්‍රතිඵලය ආණ්ඩුවේ වෙනසකට හේතු වන්නේත් නැත. මේ නිසා නීතියට අනුව ලබන මාර්තු 20 වැනිදා වනවිට පළාත් පාලන ආයතන සඳහා අලු‍තින් පත්වන මන්ත්‍රීවරුන්ට සිය රාජකාරි ඇරඹීමට හැකිවන පරිදි මැතිවරණය පවත්වා අවසන් කිරීමට මැතිවරණ කොමිසම ගන්නා ක්‍රියාමාර්ගවලට බාධාවක් වන තීරණ ගැනීමෙන් වැළකී සිටීම වඩාත් යහපත් ය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට තිබෙන එක් බාධාවක් වශයෙන් පෙන්වා දී තිබෙන්නේ සීමා නිර්ණය කොමිෂන් සභාවේ කටයුතු තවමත් අවසන් වී නොතිබීමය. එහි අවසන් වාර්තාව ලබා දිය හැකි වන්නේ පෙබරවාරි 28 වැනිදා වනවිට බව ප්‍රකාශිත ය. එම වාර්තාව ලැබීමෙන් පසුව ඡන්දය පවත්වනවා නම් එය කල් දැමීමට සිදුවන බව පැහැදිලි ය. එසේ නොවී ඡන්දය පවත්වනවා නම් එවිට දැනට පවතින නීතියට අනුව තෝරා පත්කරගනු ලබන මන්ත්‍රීන් සංඛ්‍යාව 8,700ක් වනු ඇත. එය අඩු තරමින් 5,100ක් දක්වා අඩු කිරීම රජයේ අරමුණ බව ද ප්‍රකාශ වී තිබේ. එසේ අඩු කිරීමට නම් සීමා නිර්ණය කොමිෂන් සභාවේ නිර්ණායක අනුව මැතිවරණ ආඥා පනතට වෙනස්කම් හඳුන්වා දිය යුතු වෙයි. එහි තීරණය ගත යුත්තේ රජයේත් විපක්ෂයේත් සම්මුතියකින් පමණි.

(***)