එක රටක් - එක නීතියක් ස්ථාපිත කිරීම සඳහා පිහිටුවන ලද නව කාර්යසාධක බළකාය පුවත් මවන සංසිද්ධියක් බවට පත්ව තිබේ. විශේෂයෙන්ම එහි සභාපතිත්වයට පත් කරන ලද බොදුබල සංවිධානයේ ප්‍රධානී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ පත්වීම සමාජයේ බොහෝ දෙනා විසින් ප්‍රශ්නයට ලක්කර ඇත. මේ ගැන මුලින්ම රජයට සිය අකමැත්ත හා කනස්සල්ල පළ කර තිබුණේ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා විසින් බව ප්‍රකාශිතය. සබ්‍රි මහතාගේ විරෝධයට අදාළ වන හේතු සාධක ඔහු විසින් වගකිවයුත්තන්ට දන්වා ඇතැයි වාර්තා වෙයි.
අලි සබ්‍රි මහතා අධිකරණ අමාත්‍යවරයා ලෙස එක රටක් - එක නීතියක් ස්ථාපිත කිරීම උදෙසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනයෙහිලා උත්සුක වෙමින් සිටින වකවානුවකදී ඔහුගේ අනුදැනුමක් හෝ මත විමසුමක් නොකර ඥානසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් නීති විෂයට අදාළ කාර්යසාධක බළකායක් පත් කිරීම ගැන අමාත්‍ය අලි සබ්‍රි අග්‍රාමාත්‍යවරයාට සහ පාර්ලිමේන්තුවේ කතානායකවරයාට ද කරුණු දක්වා තිබුණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශගත වීම නිසා ඔහු සමඟ සාකච්ඡාවකට ඉඩක් ලැබී නැත.
‘එක රටක් - එක නීතියක්’ යන සංකල්පය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් රටට ඉදිරිපත් කළ අදහසකි. එය ඉටුකිරීමට ජනවරමක් ජනාධිපතිවරයාට හිමි වී ඇති බැවින් ඊට උචිත පියවර ගැනීම වරදක් නොවේ. විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ අධිකාර පත්‍රය අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා ව්‍යවස්ථා විශාර ද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ව්‍යවස්ථා සම්පාදන කමිටුවක් පත් කර තිබේ. එම කමිටුවට රජය ලබා දී ඇති ප්‍රධාන මඟපෙන්වීම වන්නේ නව ව්‍යවස්ථාව තුළින් එක රටක් - එක නීතියක් යන සංකල්පය තහවුරු කිරීමය. ඒ අනුව ව්‍යවස්ථා සම්පාදන කමිටුව මේ වන විට දේශපාලන පක්ෂ සහ තවත් සංවිධාන ගණනාවක මත විමසා ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කර ඇත.
තවත් සති කිහිපයකින් එම කෙටුම්පත ධවල පත්‍රිකාවක් ලෙස අමාත්‍ය මණ්ඩලයේ මූලික සාකච්ඡාව පිණිස යොමු කරන බව අධිකරණ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙයට දෙසතියකට පමණ පෙරදීය.
මෙම පසුබිමේ ඥානසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් එක රටක් - එක නීතියක් සංකල්පය උදෙසා විශේෂ කාර්යසාධක බළකායක් පිහිටුවීම අවශ්‍ය ද? උචිත ද? යන්න සලකා බලනු වටී. ජනාධිපතිවරයා මේ ගැන සිය පාර්ලිමේන්තු කණ්ඩායමට ප්‍රකාශ කර තිබුණේ අදාළ කමිටුව පත් කළේ තමන්ට උපදෙස් දීමට මිස නව නීති සම්පාදනයට නොවන බවයි. එහෙත් එක රටක් - එක නීතියක් වැනි සංකීර්ණ විෂයක් උදෙසා පත් කළ කාර්ය සාධක බළකායක ප්‍රධානත්වය නීතිය පිළිබඳව විශාරදයකුට නොපවරා ඥානසාර ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙවන් කාර්ය සාධක බළකායක් පත් කිරීම සාධාරණ ද යන්න විමසිය යුතු ප්‍රශ්නයකි. විධායක ජනාධිපතිතුමා පත් කරන කාර්ය සාධක බළකායට ඔහුට අභිමත කෙනකු පත් කිරීමේ බලය නීතියෙන් හිමිවේ.
එහෙත් එම පත්වීම් සමාජයේ සාධාරණ පිළිගැනීමට ලක්විය යුතුය. මේ ගැන ප්‍රතිවිරුද්ධ තර්ක ඉදිරිපත් කරන ආණ්ඩුවට සහාය දෙන ඇතැම් දේශපාලන මතධාරීන් කියා සිටින්නේ අධිකරණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පත් කරන ලද අවස්ථාවේදීත් මෙවැනිම සමාජ විරෝධයක් මවා තිබූ නමුත් ඔහු සිය කාර්යභාරය ඉටුකිරීමේ දී ප්‍රශස්තභාවයෙන් ක්‍රියා කොට සමාජ ගෞරවයක් දිනාගත් බවයි. එහෙත් අලි සබ්‍රි මහතාගේ පත්වීම සහ ඥානසාර ස්වාමින් වහන්සේගේ පත්වීම එලෙස තුලාවකට දමා සැසඳීමට යාම කොතරම් දුරට යහපත් අභ්‍යාසයක් දැයි මැදහත් සමාජය ප්‍රශ්න කරති.
ඥානසාර ස්වාමින් වහන්සේ සිංහල බෞද්ධ සමාජයේ කිසියම් පිළිගැනීමක් ලබා ඇති යතිවරයෙකි. එහෙත් උන්වහන්සේගේ අතීත ක්‍රියා කලාපය ප්‍රශ්න කිරීමට දැන් ඇතැම්හු පෙළඹී සිටිති. ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙන්ම කතෝලික රදගුරු සමුළුවද මෙම පත්වීමට දැනටමත් විරෝධය පළ කර ඇත. මේ සම්බන්ධයෙන් නීතිඥ සංගමය නිකුත් කරන ලද ප්‍රකාශයෙහි සඳහන් වන්නේ මෙවන් කාර්ය සාධක බළකායකින් සැකසෙන නීති රටේ පිළිගත් නීත්‍යානුකූල රාමුවට අයත් නොවන බවය. රටේ නීති සම්පාදන බලතල මැතිසබයේ මහජන නියෝජිතයන් සතුව තිබිය දී මෙවන් කාර්ය සාධක බළකායකින් නීති සම්පාදනය කිරීම විධායක බලතල බාහිර පාර්ශ්වයකට පවරා දීමක් බවත් නීතිඥ සංගමය ප්‍රකාශ කර ඇත. එමගින් මහජන ස්වෛරීභාවය බිඳවැටෙන බව ද නීතිඥ සංගමය ප්‍රකාශ කර තිබේ. කතෝලික රදගුරු සමුළුව සිය ප්‍රකාශය මගින් කියා සිටියේ එක රටක් - එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකා ගැසට්ටුව අවලංගු කළ යුතු බවය.
දැන් මෙම කාර්ය සාධක බළකාය සමාජයේ උණුසුම් තර්ක විතර්කවලට බඳුන්ව පවතී. බොහෝ අංශවලින් එල්ල වන්නේ විවේචනය. එම නිසා එක රටක් - එක නීතියක් කාර්ය සාධක බළකාය යහපත් ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය වාතාවරණය සැකසීම ආණ්ඩුවේ වගකීමයි. එසේත් නොමැති නම් මෙම කාර්ය සාධක බළකාය වෙනුවට වෙනත් විකල්පයක් රජය විසින් නිර්මාණය කළ යුතුය. එසේ නොකර අන් අයගේ මත නොවිමසා කටයුතු කිරීමට යාමෙන් හෑල්ලුවට ලක්වන්නේ රටේ නීති සම්පාදන ක්‍රියාවලිය උදෙසා පත් කළ මෙම කාර්යසාධක බළකාය බව බහුතර ජනතාවගේ විශ්වාසයයි.
(***)