රටේ ආර්ථිකය තවමත් තිබෙන්නේ මරණ මංචකයේය. කොවිඩ් මාරක වසංගතයත් මෙරට පාලකයන් ගත් අනුවණ උද්ධච්ච තීන්දු තීරණත් හේතුවෙන් බිඳ වැටුණු ආර්ථිකය එසේ එකවර වේගයෙන් නගා සිටුවීමට ද නොහැකිය. එය ක්‍රමික ගමනකි. එම ගමනේදී ඉදිරියේදී ඇතිවිය හැකි බාධා, අභියෝග සම්බන්ධ අවධානයෙන් ද සිටිය යුතුය.
මාස හයකට අධික කාලයක් පැවැති වර්ෂාව සහ මාසයකට අධික කාලයක් තිස්සේ පවතින වියළි කාලගුණය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ තේ අක්කර 3,000ක් පමණ විනාශ වී ඇතැයි කුඩා තේවතු හිමියන් පවසන බව අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. කුඩා තේ ඉඩම්වල තේ දලු පලදාව ඉතා ශීඝ්‍රයෙන් පහත වැටී ඇති බව ද එම ප්‍රවෘත්තියේ සඳහන් ය.
සොබා දහම ඉතා නිර්දය ලෙස පහර දෙමින් සිටින බව ඉතා පැහැදිලි ය. එහෙත් එම ප්‍රහාරයට මුහුණ දීම හැර අන් විකල්පයක් අපට නැත. මුහුණ දීම යනු ප්‍රහාරයට ඔරොත්තු දෙමින් සිටීම නොවේ. විකල්ප විසඳුම් සොයමින් එයට මුහුණ දීමය. නිලධාරීන්ගේ වගකීම වන්නේ හෙට දවස සම්බන්ධයෙන් නිවැරැදි පුරෝකථන කරමින් එළැඹෙන තත්වයට ශක්තිමත්ව මුහුණදීම සඳහා අවශ්‍ය පදනම සකස් කිරීම ය.
මාතර දිස්ත්‍රික්කය ඇතුළු රටේ පළාත් ගණනාවකට මාස හයකට වඩා වැඩි කාලයක් වැස්ස ඇද වැටුණේය. වැස්ස සම්පතක් වුවද එය සම්පතක් කර ගැනීමේ දියුණු වැඩ පිළිවෙළක් අප රට සතුව නැත. ප්‍රතිඵලය වූයේ ගම් - බිම් යට කරමින් වගා බිම් පාළු කරමින් වැසි දිය ගලායාමය.
දැන් නියඟය එළැඹ තිබේ. එයට දැන් මසකටත් වඩා වයසය. …මෙම නියඟය තව කොතෙක් කලක් අල්ලාගෙන ඉඳීවි දැයි කිව නොහැකිය. ප්‍රතිඵලය වී තිබෙන්නේ තේ අක්කර 3000ක් විනාශ වී යාමය. මෙම ගණන අද දවසට සාපේක්ෂවය. හෙට දවසේ තත්වය තවත් බිහිසුණු විය හැකිය.
නිල්වලා ගඟේ ලවණ බාධකය නිසා ජලය බැස නොයෑම හේතුවෙන් තේ ගස් විනාශ වී ඇති බවත් දලු අස්වැන්න අඩුවීමෙන් දලු නෙළන්නන්ට දෛනික කුලිය ගෙවීමට පවා නොහැකි වී ඇති බවත් අකුරැස්සේ කුඩා තේ වතු හිමියකු වන ඥානසිරි සමරවික්‍රම මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබිණි. අධික වියළි කාලගුණය නිසා අක්කරයක් පුරා ඇවිද්දත් තේ දලු කිලෝ 20 ක්වත් කැඩීමට නොහැකිවීමෙන් කුඩා තේ ඉඩම් හිමියන්ට දිනක වැටුප පවා ගෙවා ගැනීමට නොහැකි වී ඇති බවත් දලු මිල පහත වැටීම පොහොර ඇතුළු අනෙකුත් වියදම් ඉහළ යාම හේතුවෙන් අමු දලු අස්වැන්න බොහෝ සෙයින් අඩු වෙමින් ඇති බවත් කුඩා තේ වතු හිමියන් ප්‍රකාශ කරන බව අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.
අප රටට විදේශ විනිමය උපයන ප්‍රධාන භෝගයකට අත්වී ඇති ඉරණම ඉතා පැහැදිලිය. මෙම සංඛ්‍යා ලේඛන මාතර දිස්ත්‍රික්කයට අදාළවය. වෙනත් දිස්ත්‍රික්කවල තත්වය ද විමසා බැලිය යුතුය.
කුඩා තේ වතු හිමියන් යන නාමකරණයෙන් ම ඔවුන්ගේ තත්වය පැහැදිලි ය. එහෙයින් ඔවුන්ට මෙවන් ව්‍යසන සමග හැප්පෙන්නට නොහැකිය. එමෙන්ම එම කුඩා තේ වතු හරහා පවුල් ලක්ෂ කීයක් යැපෙන්නේද යන්න විමසිය යුතුය. කුඩා තේවතු හිමියන්ට ආදායම් නැත. කම්කරුවන්ට වැඩ නැත. එය එසේ වනවිට ඔවුන් හා ඔවුන්ගේ යැපෙන්නන් ජීවත්වන්නේ කෙසේ දැයි යන්න මගහැර යා නොහැකිය. එහෙයින් ඒ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය නොපමාව යොමුවිය යුතු ය.
(***)