වැටත් නියරත් ගොයම් කනවා නම් කියන්න කෙනකු නැති බවට සඳහන් ප්රස්ථාවපිරුළ අපේ රටේ ජනප්‍රිය කියමනකි. මෙරට කුඩු මාෆියාව වැඩ කර ඇති ආකාරය අනුව එම කියමන අලුතින් ලිවීමට සිදුව තිබේ. වැටත් නියරත් පමණක් නොව ‘‘කුඹුරට හරවන වතුරද ගොයමට යොදන පොහොරද අවට ගස්කොළන්ද යනාදී සියල්ල විසින්ම ගොයම කා දමනවා නම් මක් කොරන්නද’’ යනුවෙනි. මත්කුඩු ජාවාරම් යක්ෂයා විසින් පළමුව බන්ධනාගාරයද, ඊළඟට පොලීසියද, ඊටත් පසුව පොලීසියේම මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකරන නාකොටික් අංශයද, අවසානයේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවද ගිල දමා තිබෙන බවට දැන් තොරතුරු හෙළිව තිබීම ඊට හේතුවය.
බන්ධනාගාරයේ දූෂිත නිලධාරීන් විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් තම ‘‘සයනයේ සහකරුවන්’’ බවට පත්කරගෙන සිටින තොරතුරු හෙළිවූයේ කාලයක සිටය. දැන් එම නිලධාරීන් පිරිසකගේ සියලු ජරා වැඩ එළිපිට අපුල්ලමින් තිබේ. තවත් පිරිසක් කොහේ හෝ සැඟවී සිටින බවට සැක කළ හැකි කාරණාද බොහොමයකි. අල්ලාගත් පිරිසට එරෙහිව හෝ නීතිය ක්‍රියාත්මක වෙමින් පැවතීම මඳ සැනසීමකට හේතුවකි.
බන්ධනාගාර කතාව අවසන් වීමටත් පෙර මේ මහා කුඩු ජාවාරම් මෙගා ටෙලියේ ඊළඟ එපිසෝඩ් එක දිගහැරුණේය. එහි රඟ දැක්වූයේ පොලිස් මත්ද්‍රව්‍ය වැටලීම් අංශය භාරව සිටි නිලධාරීන් පිරිසක් විසින් කුඩු කිලෝ සිය ගණනින් රජයේ මුදල් සහ ආරක්ෂාව යටතේ බිස්නස් කළ ආකාරයකි. එම කුඩු බිස්නස් විසින් මේ අපරාධකාරී නිලධාරීන් කිහිපදෙනෙක්ම කෝටිපතියන් බවට පත්කරනු ලැබ සිටිති. මේ නාකොටික් රංගනයට දායක වූ තව කී දෙනකු සිටීදැයි හරියටම තවමත් කිව නොහැකි වුවද අල්ලාගත් පිරිසට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක වෙමින් පැවතීම පිළිබඳ කාටත් සතුටුවිය හැකිය. මීට අමතරව කාලයක සිටම පොලීසියේ දූෂිත නිලධාරීන් පිරිසක් මත්කුඩු ජාවාරම්කරුවන්ගේ සුරතලුන් බවට පත්වෙමින් විශාල ධනයක් උපයාගෙන තිබූ බවට තොරතුරුද ලැබී තිබිණි. ඒ ඇතැම් නිලධාරීහුද බඩුත් සමඟ හසුවීම හේතුවෙන් දඬුවම් විඳිමින් හෝ විඳීමට සූදානමින් හෝ සිටිති.
මේ ජවනිකා පෙළට අලුතින්ම එකතු වී සිටින්නේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සුළු නිලධාරීන් දෙදෙනෙකි. ගොයම් කෑමට වැටත් නියරත් පමණක් නොව වතුර, පොහොර සහ අවට ගස්කොළන් පවා සම්බන්ධ නම් කළ හැක්කේ කුමක්දැයි අප මුලින්ම විමසුවේ මේ හේතුවෙනි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සැකකාර නිලධාරීන් සම්බන්ධ මත්කුඩු ජාවාරමට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු විභාගයේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පසුගියදා (18) කළ ප්‍රකාශයක සඳහන්ව තිබුණේ දැන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සුළු නිලධාරීන් දෙදෙනෙක් පවා මේ ජාවාරමට අත්අඩංගුවට පත්ව සිටින බවය. මෙය දම්වැලක් බඳු යැයිද මේ ජාලය කොතරම් පුළුල්දැයි කිවහොත් මොවුන් මත්ද්‍රව්‍ය කිලෝ ගණන් ළඟ තබාගෙන සිට ඇතැයිද මත්පැන් බී අයිස් ගසමින් මේ කුඩු පැකට් කර ඇතැයිද ඔහු කියා තිබිණි. නීතියේ රැකවරණය ඇතිව මේ ජාවාරම් සිදුවී ඇති බවද ඔහුගේ ප්‍රකාශයේ සඳහන් විය. මේ තත්ත්වය යටතේ ‘‘ගොයම් කතාව’’ත් හොඳ වැඩිය.
ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කර දැමීමේ ක්‍රියාන්විතය මොනතරම් අපහසු, සංකීර්ණ ක්‍රියාදාමයක්ද යන්න මේ කරුණුවලින් තේරුම් ගත හැක. මත්ද්‍රව්‍ය මහා පරිමාණ ජාවාරම්කරුවන් සහ ඔවුන් නීතියේ රැහැනට හසුකරගෙන සාක්ෂි ඔප්පු කර ගැනීමට කටයුතු කළ යුතු නිලධාරීන් වැඩකර ඇත්තේ ගහට පොත්ත මෙන් ඇලී ගැලී සිටිමින් බව පැහැදිලිය. රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව යනු අල්ලාගන්නා මත්ද්‍රව්‍ය නඩු භාණ්ඩ වශයෙන් උසාවියට ඉදිරිපත් කිරීමේදී සැබෑ මත්කුඩුදැයි සනාථ කිරීමේ වගකීම දරන ආයතනයයි. එවැනි ආයතනයකත් කුඩු ජාවාරමුන්ට සම්බන්ධ ජාලයේ සාමාජිකයන් සිටී නම් අල්ලා ගන්නා කුඩු නඩු භාණ්ඩ වශයෙන් ඉදිරිපත් කිරීමේදී කුරහන් පිටි බවට පරිවර්තනය වී තිබුණොත් ඒ ගැන පුදුම විය යුතු නැත. රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව කෙරෙහි රටේ මහජනතාව තබා ඇති විශ්වාසයට මේ ජරා වැඩට හවුල් නිලධාරීන් විසින් සිදුකර ඇත්තේ බරපතළ හානියකි. ඔවුන්ට එරෙහි නඩු හැකි ඉක්මනින් විභාග කොට උපරිම දඬුවම් ලබාදීම මේ විශ්වාසය තවදුරටත් රැක ගැනීමට සිදුකළ යුතු හොඳම කාර්යයයි.
අලුතින් පත්වූ අධිකරණ ඇමැති අලි සබ්රි මහතා විසින් කරනලද ප්‍රකාශයකට අනුව මෙරට වැඩියෙන්ම දූෂිත ආයතන හතරෙන් එකක් වන්නේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවයි. පොලීසිය, බන්ධනාගාරය සහ අධිකරණ ලේකම් කාර්යාල ඉතිරි ආයතන තුනයි. රටින් මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කර දැමීමට නම් මේ ආයතන හතරේම ඇලවී තිබෙන ‘‘දූෂිත’’ ලේබලය ගැලවීම අවශ්‍ය වෙයි. ඕනෑම ආයතනයක දූෂිත නිලධාරීන් සිටිය හැකි බව සත්‍යයකි. එහෙත් රටේ යුක්තිය පසිඳලීමට ඍජුව දායක වන ඉහත කී ආයතන හතර දූෂණවලින් තොර නොවීම රටේ ජනතාවගේ අයිතියට මරු පහරකි.
සුළු නිලධාරීන් දෙදෙනකු මත් ජාවාරමට සම්බන්ධ බවට හෙළි වූ පමණින් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවම ඊට සම්බන්ධ යැයි කියැවෙන්නේ නැත. බන්ධනාගාරය සහ පොලීසියද පොලීසියේ මත්ද්‍රව්‍ය වැටලීම් අංශය සම්බන්ධයෙන්ද කිවයුත්තේ එයයි. එහෙත් දූෂිත නිලධාරීන් කිහිප දෙනකු විසින් සිදුකරන හානිය යළි සකස් කිරීම පහසු නැත. ඒ සඳහා මූලිකත්වය ගැනීම නව රජයේ ප්‍රමුඛතා ලේඛනයේ ඉහළින්ම සඳහන් වීම අත්‍යාවශ්‍යය.
(***)