එංගලන්තයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරයකු වන පුතකු සහ ඇමෙරිකාවේ ඉහළ රැකියාවක නිරත පුතකු සිටින 90 හැවිරිදි මවක එම පුතුන් දෙදෙනා නොසලකා හැරීම නිසා මාලබේ ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක රැකවරණය ලබමින් සිටීමේ අනුවේදනීය පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේ ය.
මේ එබඳු පන්නයේ පළමු පුවත නොවේ. දරුවන් නොසලකා හැරීමට ලක්වූ වියපත් මවුපියන් සම්බන්ධ පුවත් බොහෝ සෙයින් වාර්තා වෙමින් තිබේ. රැකබලා ගත හැකි නමුත් මවුපියන් බරක් යැයි සිතන දරුවෝ සිය මවුපියන් මහ මග දමා යති. අඳුරු කාමරවල දම්වැල්වලින් ගැට ගසා තැෙබති. බලු කූඩුවල සිරකරති. ඉහත ප්‍රවෘත්තියෙන් කියැවෙන්නේ ද දරුවන්ගේ නොසලකාහැරීම් නිසා ජීවිතයේ සැඳෑ සමය දුක්ඛිතව ගෙවා දැමීමේ ඉරණම බාරගැනීමට සිදුවූ අසරණ වියපත් අම්මා කෙනකු පිළිබඳව ය.
රටක සාරධර්ම යනු එම රටේ ජනයාගේ ආධ්‍යාත්මයේ පොහොසත් බව කියාපාන කැඩපතකි. ලෝකයේ ප්‍රධාන විශිෂ්ට ආගමික දර්ශනවලින් පෝෂණයවූ සුවිශේෂි හර පද්ධතියක් අප සතු ය. මවුපියන් පෝෂණය කිරීම, වැඩිහිටියන් රැකබලා ගැනීම ඉන් සුවිශේෂ ලක්ෂණ ය. දස මසක් කුස දරා ගත රුහිරු කිරිකර පොවා වැදු අම්මාත්, ගත දා බිඳු හෙළා පෝෂණය ගෙන දුන් පියාත් රැකබලා ගැනීමට දරුවන් අදිමදි කරන්නේ නම්, එම යුතුකම ඉටු නොකරන්නේ නම් එම දරුවන් සතු යහගුණ මොනවා දැයි වටහා ගැනීම අසීරු නැත.
මවුපියන්ගෙන් දරුවන්ට ඉටුවිය යුතු යුතුකම් පහක් සිඟාලෝවාද සූත්‍රයේ දී බුදුපියාණන් වහන්සේ දේශනා කළහ. එම යුතුකම් අනුපිළිවෙළින් මෙසේ ය.
පාපයෙන් වැළැක්වීම, යහපතෙහි යෙදවීම, ශිල්ප සතර ඉගැන්වීම, දායාද පැවරීම සහ නිසි වයසේ දී ආවාහ විවාහ කර දීම වේ.
නූතන සමාජයෙහි බොහෝ මවුපියන් තමන්ගෙන් දරුවන්ට ඉටුවිය යුතු ප්‍රධානතම යුතුකම ලෙස සලකනු ලබන්නේ ඉගැන්වීම ය. වයස අවුරුදු 90ක් වයසැති අම්මා මහලු නිවාසයකය. එක් දරුවකු එංගලන්තයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරයෙකි. අනිත් දරුවා ඇමෙරිකාවේ ඉහළ රැකියාවක නියුතු වූවෙකි. පුවත්පතෙහි ඒ බව දැක්වෙයි. දරුවන් දෙදෙනාට ඉගැන්වීමට එම මවත් පියාත් කටයුතු කර ඇති බව පෙනේ. එහෙත් බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන්නේ ඉගැන්වීමට පෙර එම දරුවා පාපයෙන් වැළැක්විය යුතු බව ය. යහපතෙහි යෙදවිය යුතු බව ය.
මවුපියන්ට සැලකීමේ ගුණය මේ රටේ දරුවන්ගේ රුධිරය හා මුසුවූවකි. නැව මුහුදුබත් වූ විට අම්මා කර මත හොවාගෙන සත් දිනක් මුහුදේ පිහිනා මවගේ ජීවිතය බේරා දුන් බෝසත් පුත්‍රයාගෙන් මවුපියන්ට සැලකීමේ ආනිශංසදායක යහගුණ ඉගෙන ගත් ජාතියක වත්මන් ඇතැම් දූ පුතුන්ගේ ක්‍රියාකලාපය බෙහෙවින්ම සංවේගජනක ය. අප ජාතියක් වශයෙන් ගමන් කරමින් සිටින්නේ කවර දිශාවකට ද යන්න වටහා ගැනීමට බහුලවෙමින් පවතින මෙබඳු සිදුවීම්වලින් පැහැදිලි කර ගත හැකි ය.
‘පංචානන්තරිය පාප කර්ම’ ලෙස බුදු දහමෙහි දැක්වෙන බරපතළ ම පාපකර්ම පහකි. ඒවා නම් මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදුන්ගේ සිරුරේ ලේ සෙලවීම හා සංඝභේදය වේ. මෙහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබන්නේ මව හා පියා මැරීම සව්කෙලෙස් මුලිනුපුටා දැමූ මහ රහතන් වහන්සේ නමක් ඝාතනය කිරීමට සමාන බව ය. ප්‍රතිඵලය සමාන වීමට නම් මවත් පියාත් මහරහතන් වහන්සේ නමක හා සමාන විය යුතු ය.
වර්තමානයේ අප පිටුදකිමින් සිටින්නේ එම සමානකම් ය. ජාත්‍යන්තරය තුළ අප සුවිශේෂී ජාතියක් වූයේ අප සතු විශිෂ්ට සංස්කෘතිකාංගවලින් සමන්විත වූ සාරධර්මවල ආනුභාවයෙනි. එම සාරධර්ම අප නොසලකා හරින්නේ නම් අපට ‘අපේ’ යැයි කිවහැකි සංස්කෘතියක් සභ්‍යත්වයක් ඉතිරි නොවනු ඇත.
(***)