කෝප් කමිටුවෙන් දඬුවම් දීමත් අවශ්‍යයි


මෙරට බොහෝ රාජ්‍ය ආයතන යනු බලයේ සිටින දේශපාලන පක්ෂයේ ශාඛා සමිතියකින් වෙනස් නොවන්නක් බව ඉඳුරාම ප්‍රත්‍යක්ෂ වූ අවස්ථා එමටය. එතෙක් ඒවා ‘‘අත්දැකීම්’’ බවට පත් කර ගනිමින් පාඩම් ඉගෙන ගන්නා බවක් නොපෙනේ. රට ඉම නොපෙනෙන අන්ධකාරයකට වැටී තිබියදීත් අනාගතයට පූර්වාදර්ශයක් ගත හැකි මට්ටමේ තීන්දු තීරණ ගැනීමට සමත් එඩිතර බවක් ප්‍රදර්ශනය නොවීම ජාතියේම අභාග්‍යයකි.

අප පුවත්පත ඉකුත්දා වාර්තා කළ ප්‍රධාන ප්‍රවෘත්තියෙන් කියැවුණේ ‘‘රාජ්‍ය ආයතන ලොක්කෝ 420ක් කෝප් කමිටුව හමුවේ යන්නය. එම ප්‍රවෘත්තියට අනුව විවිධ දූෂණ වංචා සහ අක්‍රමිකතා මෙන්ම කාර්ය සාධනය සම්බන්ධයෙන් පුළුල්ව කරුණු විමසීම සඳහා රාජ්‍ය ආයතන 420ක ප්‍රධානීන් මේ වසරේ දී පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර ඇති බවය. කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ, කෝප් කමිටුවේ විමර්ශන මේ වසරේ දී තවත් පුළුල් කරන බවය.

මහජනතාවට ඍජුව බලපාන අතිශයින්ම වැදගත් පාර්ලිමේන්තු කාරක සභා අතර පොදු ව්‍යාපාර පිළිබඳව කාරක සභාව හෙවත් කෝප් කමිටුව හැඳින්විය හැකිය. රාජ්‍ය මෙන්ම අර්ධ රාජ්‍ය ආයතන ප්‍රධානීන් කැඳවා ඍජුව ප්‍රශ්න කිරීමේ මෙන්ම නිර්දේශ ඉදිරිපත් කිරීමේ බලයක් මෙම කමිටුවට ඇත. එහෙත් දේශපාලන හා රාජ්‍ය නිලධාරි වංක සහයෝගිතාවේ ප්‍රතිඵලයක් ලෙස මෙම කමිටුවේ අභ්‍යන්තර තොරතුරු මාධ්‍යයට තහනම් වී තිබිණි. එහෙත් 2015දී බලයට පත් යහපාලන ආණ්ඩුව සමයේ දී මෙම ‘‘තහනම’’ ඉවත් කෙරුණ අතර එම සාකච්ඡා මාධ්‍යයට නිරාවරණය කෙරිණි. එමෙන්ම ඉතිහාසයේ පළමු වරට එම කමිටුවේ සභාපති ධුරය විපක්ෂයේ මන්ත්‍රීවරයකුට හිමි වූ අතර, එමගින් ‘‘යහ පාලන’’ රාජ්‍ය සංකල්පය යම් පමණකට හෝ යථාර්ථයක් බවට පත්කර ගැනීමේ උත්සාහයක් විය. එම පිරිසට මෙම කමිටුව සම්බන්ධයෙන් ජනතා අවධානයක් ද එහි කටයුතු සම්බන්ධයෙන් ජනතා උද් යෝගයක් ද ඇති විය. රාජ්‍ය නිලධාරීන්ට මහජන මුදල් හිතුමනාපේ විනාශ කළ නොහැකි යැයි ද සොරකම් කළ නොහැකි යැයි ද ජනතාව තුළ විශ්වාසයක් ජනිත වීමට එම ක්‍රියාදාමය හේතුබල සම්පන්න විය. ‘‘රාජ්‍ය ආයතන ප්‍රධානීන් 420ක් කෝප් කමිටුව හමුවට’’ යන ප්‍රවෘත්තිය අතිශයින්ම වැදගත් වන්නේ මෙම පරිසරය තුළය.

ප්‍රමුඛ අවධානය යොමු කළ යුතු වන්නේ බොහෝ රාජ්‍ය ආයතන ‘‘හොර ගුහා’’ බවට පත්ව ඇත්තේ ඇයි ද යන්න කෙරෙහිය. එහි පළමු අංකය ඇමැතිවරයාය. ශ්‍රී ලංකාවේ අමාත්‍ය ධුර පිරිනමන්නේ එම විෂය සම්බන්ධව ඇති දැනුම ආදී සුදුසුකම් දෙස බලා නොව, ඇමැතිකම් සිත්සේ බෙදා හදා ගත හැකි ආණ්ඩුවක් බිහි කිරීමට වැඩිම කැප කිරීමක් කළ ආදී සුදුසුකම් සැලකිල්ලට ගෙන බව ප්‍රසිද්ධ රහසකි. එසේ ඇමති ධුරයට පත් වන දේශපාලනඥයා තමන්ගේ අමාත්‍යාංශ විෂය පථය යටතේ ඇති ආයතනවල මහ පුටුවේ සිට කසළ ශෝධක දක්වා සියලු තැන්වලට තමන්ගේම වූ පිරිස් යොදා ගැනීමට උත්සාහ දැරීම සාමාන්‍ය සිදුවීමක් බවට පත්වී තිබේ. .

දේශපාලන බලවතා පිනවීමේ දී එය නීත්‍යානුකූල ද? නැති ද? යන්න සම්බන්ධයෙන් අවධානය යොමු නොකරන අතර, ‘‘මයි කාර් - මයි පැට්‍රෝල්’’ න්‍යාය ක්‍රියාත්මක කෙරේ. රාජ්‍ය ආයතන හොර ගුහා ලෙස හැඳින්විය හැකි තරමේ නරකාදියක් බවට පත්ව තිබෙන්නේ ඒ අනුවය. රට මේ සා විශාල පරිහානියකට ලක්ව තිබෙන්නේ ද එහෙයිනි. පරම සත්‍ය නම් මේ මාවතේ අපට තව දුරටත් ගමන් කළ නොහැකි බවය. ජනතාවට වග කියන හෘද සාක්ෂිය බලගැන් වූ ‘‘රාජ්‍යකරණයක්’, ‘‘පරිපාලනයක්’’ රටට අවශ්‍ය වේ.

කෝප් කමිටුව එම අභිමතාර්ථය ඉටුකර ගැනීමේ දී යහමින් ප්‍රයෝජනයට ගත හැකි බලගතු සංවිධානයකි. එහෙත් එම බලගතු සංවිධානය ද නමට පමණක් බලගතු වී තිබේ. රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ නිලධාරීන් ගෙන්වා ප්‍රශ්න කිරීමේ බලය ඇතත්, වැරැදි නිවැරැදි කිරීමට සමත් ක්‍රියාමාර්ග ගැනීමට නෛතික බලයක් මෙම කමිටුවට නැත. එහෙයින් මෙම කමිටුවේ ක්‍රියාකාරකම් මාධ්‍ය සංදර්ශනයක් බවට ලඝුවී තිබීම ඛේදවාචකයකි. මෙම ඉරණමෙන් කෝප් කමිටුව ගලවා ගැනීම කෙරෙහිද බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය.

(***)