පවතින අරගලයේ අවසානය කොතැනකදැයි අපි කිසිවකුත් නොදනිමු. රාජපක්ෂ පාලනයේ ඉවත්වීමක් දකිනතුරු අඛණ්ඩව අරගලය ගෙන යන බවට විරෝධතාකරුවන් සහ ඔවුන්ට සහාය දක්වන විවිධ සමාජ කොටස් ප්‍රකාශ කරන අතර එතැනින් මෙහා විසඳුමකට යාමට ජනාධිපති, අගමැති ප්‍රමුඛ ආණ්ඩුවත් පාර්ලිමේන්තුව තුළ කණ්ඩායම් කිහිපයකුත් දැඩි උත්සාහයක නිරතව සිටී. කැබිනට් අමාත්‍යවරුන්ගේ ඉල්ලා අස්වීම, නවක අමාත්‍යවරුන් වැඩි සංඛ්‍යාවකින් සමන්විත සීමිත නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීම, අන්තර් ජාතික මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා ඇරඹීම සහ රජයේ වියදම් යාන වාහන ද ඇතුළු අධික කප්පාදුවකට ලක්වීම එම අරගලයේ ප්‍රතිඵල වශයෙන් දැනට මතුපිටින් පෙනෙන්නට තිබේ. මීට අමතරව තවත් පාලනයේ ව්‍යුහාත්මක වෙනසකට ද ආණ්ඩුවත් විපක්ෂයත් අත ගසා තිබේ.
එම ව්‍යුහාත්මක වෙනස වනුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අලුතින් හඳුන්වා දුන් රටේ ප්‍රබල විවේචනයකට ලක්වූ 20 වැනි සංශෝධනය අහෝසි කර අලුත් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට දේශපාලන නායකයන් පියවර ගැනීමය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති ධුරයට අධිපතිවාදී බලතල ලබා දී ඇති 20 වැනි සංශෝධනය අහෝසි කර යළිත් 19 වැනි ව්‍යවස්ථාව සංශෝධන සහිතව ගෙන ඒම සඳහා වන යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. ඊට පෙර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් 20 සංශෝධනය අහෝසි කර ඔවුන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන 21 වැනි සංශෝධනයේ පිටපතක් පාර්ලිමේන්තු මහලේකම්වරයාට බාර දී තිබිණි. එසේම ආණ්ඩුවේ සිට ස්වාධීන වූ කණ්ඩායම විසින්ද රටේ පාලන ක්‍රමයේ ඇතිවිය යුතු වෙනස්කම් පිළිබඳ යෝජනා ඇතුළත් සංදේශයක් ඉදිරිපත් කෙරැණි. මේ සියලු යෝජනාවලින් මූලික වශයෙන්ම අරමුණු කර තිබුණේ පවතින පාලන ක්‍රමයට ප්‍රබල වෙනස්කම් සිදු කිරීමේ අවශ්‍යතාවයයි.
රටේ පාලන ක්‍රමයේ ඇති කළ යුතු වෙනස්කම් කොතරම් ප්‍රබල වුණත් එය සිදුවිය යුත්තේ ජන සම්මතවාදී ක්‍රමවේදයක් තුළය. රටේ වැඩි දෙනකුට පිළිගත හැකි අදහස් සහ යෝජනාවලින් එම සංශෝධන පරිපූර්ණ විය යුතුය. රටේ සමස්ත ආණ්ඩුක්‍රමයම පිළුණු වූ බුරියානි එකක් වශයෙන් දකින අරගලයේ තරුණ සටන් කාමීන් තුළ වුව ද ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයෙන් බැහැරව සොයන විසඳුම්වලට ඉඩක් නැති බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. මේ අරගලය එවැනි ආපසු නොහැරෙන කෙළවරකට තල්ලු නොවන තැනට වගබලා ගැනීම පාර්ලිමේන්තුව නියෝජනය කරන ආණ්ඩු පක්ෂ, විපක්ෂ සියලු දේශපාලන නායකයන්ගේ වගකීම බව ද පෙන්වා දීමට කැමැත්තෙමු. එසේ නම් රටේ බහුතරයකගේ විරෝධයටත්, කෝපයටත් හේතු වී ඇති පාලන ක්‍රමයේ පවතින අඩුලුහුඩුකම් සියල්ල නව සංශෝධනය මගින් ඉවත් කළ යුතු බව පැහැදිලිය.
විපක්ෂ නායකයා විසින් ඉදිරිපත් කර ඇති යෝජිත 21 වැනි සංශෝධනයට අනුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වන අතර පාර්ලිමේන්තු පාලනය වඩාත් සවිබල ගන්වා තිබේ. එසේම රටේ ජනතාවගේ බලවත් පිළිකුලට භාජන වී ඇති ඇමැතිකම් ඇතුළු වරදාන ලබාගෙන පක්ෂය මාරු කිරීම්වලට ද එමගින් තිත තබා තිබේ. පක්ෂය මාරු කිරීම හේතුවෙන් පක්ෂයෙන් නෙරපා හරින මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීමේ දැනට පවතින ක්‍රමවේදයට වෙනස්කම් අවශ්‍ය බවට ද යෝජනා කර තිබේ. පවතින ක්‍රමය යටතේ නෙරපා හරිනු ලබන මන්ත්‍රීවරයාට අධිකරණයේ නඩුවක් ගොනුකර ඒ තුළ විශාල කාලයක් අලුත් ඇමැති ධුරයේ හෝ වෙනත් ධුරයක හෝ රැඳී කටයුතු කිරීමට අවස්ථාව ලැබේ. ඔවුන් යෝජනා කරන්නේ එවැනි අවස්ථාවක දී පක්ෂයෙන් නෙරපා හැරීමට තුඩුදුන් හේතුව සම්බන්ධයෙන් පමණක් අධිකරණය මගින් සලකා බැලිය යුතු බවටය. කෙසේ වුවද අධිකරණය සම්බන්ධ කාර්යාලයේ දී අධිකරණයේ නිදහසට බාධා විය හැකි යෝජනා සිදු කිරීම සුදුසු නොවන අතරම එහෙත් වරදාන රැගෙන පක්ෂය මාරු කරන මන්ත්‍රීවරුන් මන්ත්‍රී ධුරයෙන් නෙරපා හැරීම සීමිත කාලයක් තුළ දී තීරණය කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සකස් විය යුතුය. එසේ නොවීම එවැනි මන්ත්‍රීවරුන්ට ඡන්දය දුන් සියලු ජනතාවට සිදුවන මහත් අසාධාරණයකි.
එසේ ව්‍යවස්ථා කමිටුව ශක්තිමත් කිරීමටත් ඒ හරහා ස්වාධීන කොමිෂන් සභාවලට ප්‍රමාණවත් බලතල ලබා දීමට කර ඇති යෝජනාවත් ඉතා අගය කළ යුතු බව ද පෙන්වා දීමට කැමැත්තෙමු. 19 වැනි ව්‍යවස්ථාව යටතේ යහපාලන ආණ්ඩුව මගින් ව්‍යවස්ථා කමිටුව සහ ස්වාධීන කොමිෂන් සභා යළි ස්ථාපිත කෙරුණු නමුත් ඒවායේ ස්වාධීනත්වය දේශපාලන අධිකාරියේ බලපෑම්වලට යටත් කරගත හැකි රබර් මුද්‍රාවක් බවට පත් කිරීම හේතුවෙන් එයින් අරමුණු කරගත් රටේ යහපාලනයට සිදු වූයේ අගතියකි. අඩුම තරමින් විගණන කොමිසමට අවශ්‍ය බලතල ලබාදීමක් හෝ සිදු කෙරුණේ නැත. සජබ මගින් ඉදිරිපත් කරන ලද 21 වැනි සංශෝධනයේ දී හෝ එම අඩුපාඩු මගහැරීමට අවශ්‍ය බලතල ලබා දී ඒවා ක්‍රියාත්මක කරගත හැකි නම් එය ඉතා වටිනා ආදර්ශයක් වනු ඇත.
ඒ ආකාරයටම අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව පූර්ණ බලැති සභාවක් ආකාරයක කටයුතු කළ හැකි තරමට නීතියෙන්ම ශක්තිමත් කිරීම ද අවශ්‍යය. නැතහොත් යහපාලනයේ දී සිදු වූවාක් මෙන් අල්ලස් කොමිසමෙන් පවරන නඩුවල චූදිතයන් තාක්ෂණික හේතූන් මත නිදොස් කොට නිදහස් කිරීම වළක්වාගත නොහැකි වනු ඇත. අමාත්‍ය මණ්ඩලයට ද 25කට සීමා කිරීම සඳහා වන යෝජනාව ද අගය කළ යුතුය. ඒ අතරම මන්ත්‍රීවරුන්ට සහ අමාත්‍යවරුන්ට ලබාදෙන වරදාන හා වරප්‍රසාද කපා දැමීමට වන යෝජනාත් පැසසුමට ලක්වන අතරම ජාතික ආරක්ෂක කවුන්සිලයට, ව්‍යවස්ථාමය පිළිගැන්වීමක් ලබා දීමට කර ඇති යෝජනාව ද කාලෝචිතය.
අපේ රට දැන් පවතින්නේ දේශපාලන නායකයන් විසින් කර ඇති ඓතිහාසික වැරදි නිවැරදි කරගත යුතු කාලයකය. සජබ යෝජනා ඒ සඳහා උදව් වනු ඇතැයි අපගේ වැටහීමය.
(***)