ගුරු-විදුහල්පති වැඩ වැරුම අඛණ්ඩව ඉදිරියට ඇදෙමින් තිබේ. වසර එක හමාරක් පුරා පාසල අහිමිව සිටින දූ පුතුන්ට ‘ඔන්ලයින්’ අධ්‍යාපනය ද අහිමිව තිබේ. සෞන්දර්ය විෂයයට අදාළව ප්‍රායෝගික ක්‍රියාකාරකම් නොමැති හෙයින් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට නොහැකි වී තිබේ. රටේ අනාගතය බාර ගැනීමට සිටින පරම්පරාවක් අපේක්ෂා භංගත්වයට පත්ව සිටී. මෙම ප්‍රශ්නය තවත් දුර නොයවා විසඳා ගැනීමේ අවශ්‍යතාව දැඩිව අවධාරණය විය යුතුය.
ගුරු-විදුහල්පති වැටුප් ගැටලුවට විසි හතර වසරකි. මෙම ගැටලුව විසඳිය යුතු බව රජය ද පිළිගනී. මෙම ගැටලුවට සාධාරණ විසඳුමක් නිර්මාණය කරගැනීමේ අරමුණෙන් රජය ඇමැති අනුකමිටුවක් ද පත් කළේය. මෙම ඇමැති අනුකමිටුව ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති සමග සාකච්ඡා කළේය. අනතුරුව එම කමිටුව මගින් වාර්තාවක් සකසා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය. එම ඇමැති අනුකමිටුවේ සාමාජිකයකු වන කැබිනට් අමාත්‍ය විමල් වීරවංශ මහතා මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කළේ, විදුහල්පති සේවයේ වැටුප් සියයට 25කින් ද ගුරු සේවයේ වැටුප් සියයට 13කින් ද ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇති බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යන ලෙස ගුරු-විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටින බවය.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේ, ගුරු-විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළව කැබිනට් අනුමැතිය හිමි වූ නිර්දේශ සුබෝධනී කමිටු වාර්තාවේ කොටසක් ලෙස සලකා එකවර ගෙවන ලෙසත්, ඊට අදාළ චක්‍රලේඛ හා ලියකියවිලි රජය ඉදිරිපත් කරන තෙක් ගුරු-විදුහල්පති වර්ජනය අත් නොහරින බවය.
සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්ඤාසේකර හිමියන් ප්‍රකාශ කර තිබුණේ, අමාත්‍ය අනුකමිටුව විසින් නිර්දේශ කර ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කරන ලද වාර්තාව අනුව ඒ වැටුප් ක්‍රමවේදය අයවැයෙන් ප්‍රතිපාදන වෙන්කර 2022 සිට හෝ ක්‍රියාත්මක කරන බව කිසිම තැනක සඳහන් නොවන බවත්, 2022 සිට හෝ ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දෙන බවවත් සඳහන් නොවන බවය. එම වාර්තාවේ සඳහන් වන්නේ ප්‍රතිපත්තියක් ලෙස එය පිළිගන්නා බව පමණක් බවය.
ගුරු-විදුහල්පති වැටුප් ගැටලුව ඉදිරිපිට සාධනීය ලක්ෂණයක් තිබේ. එනම්, මෙම ප්‍රශ්නයේදී විත්ති කූඩුවේ සිටින රජය එබඳු ගැටලුවක් තිබෙන බව පිළිගැනීම සහ එය විසඳීමට යම් උත්සාහයක් දැරීමය. එහෙත් ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සිටින්නේ ඔවුන් ආරම්භක අවස්ථාවේ සිටි ස්ථාවරයේමය. කොරෝනා මාරාන්තික වයිරසය හමුවේ පාසල් වසා තිබෙන තත්ත්වය තුළ දරුවාට ඇති එකම විකල්පය ‘ඔන්ලයින්’ අධ්‍යාපනය වේ. එය වර්ජනය කළ විට රජයට ඇතිවන පීඩනය හමුවේ තම ඉල්ලීම් ගෙඩිය පිටින්ම දීමට රජයට සිදුවනු ඇති බව ගුරු-විදුහල්පති වෘත්තීය සමිති කල්පනා කරන සෙයකි. එය වූ කලී තැටිය රත් වූ විට රොටිය පුච්චා ගැනීමේ න්‍යාය ක්‍රියාත්මක කිරීමකි. වසර විසිහතරක් මුළුල්ලේ නොවිසඳුණු ගැටලුව විසඳා ගැනීමට වෘත්තීය සමිති රජය බිත්තියටම හේත්තු කර තිබේ. එය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල ලක්ෂණයකි.
රජය පවසන්නේ, දැනට උද්ගතව ඇති ආර්ථික අවපාතය හමුවේ ඉල්ලීම්වලින් දිය හැකි සීමාවක් තිබෙන බවය. දෙසතියක් පුරා රට අගුලු ලා තිබේ. සංඛ්‍යා ලේඛනවලට අනුව එක් දිනක් රට වසා තිබීමෙන් රටට අහිමි වන මුදල රුපියල් බිලියන 15කි. අප වැනි කුඩා ආර්ථිකයක් සහිත රටකට ඔරොත්තු නොදෙන බව සහතිකය. මෙම යථාර්ථය ද වටහා ගැනීම අතිශයින්ම වැදගත්ය.
අධ්‍යාපනයට වෙන් කරන මුදල විසඳුමක් නොව ආයෝජනයකි. රටක භෞතික සංවර්ධනය කොතෙක් ඉහළට තිබුණ ද නැණවත්-ගුණවත් මානව සම්පතක් රටකට නොවේ නම් එම භෞතික සංවර්ධනයෙන් කිසිදු ප්‍රයෝජනයක් නැත. කුඩුකාරයන්ගෙන්, මංපහරන්නන්ගෙන්, ස්ත්‍රී හා ළමා දූෂිතයන්ගෙන්, පාතාල සාමාජිකයන්ගෙන්, චෞර කප්පිත්තන්ගෙන් ගහණ රටක් බිහි වුවහොත් කිසිවකුට තම පැවැත්ම සහතික කරගැනීමට නොලැබේ. එහෙයින් මානව සම්පත කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුමය.
ගුණවත්-නැණවත් මානව පරපුරක් බිහි කිරීමේ වගකීම පැවැරෙන්නේ ගුරු ප්‍රජාවටය. එහෙයින් ඔවුන්ට තෘප්තිමත් මනසකින් එම ක්‍රියාදාමයේ යෙදීමට සුදුසු පරිසරයක් තිබිය යුතු වේ. ගුරු සංගම් පවසන පරිදි, ඔවුන්ට හිමිවන්නේ ‘නාට්ටාමි කෙනකුගේ’ ආදායමටත් වඩා පහළ වැටුපක් නම් එය ඛේදවාචකයකි. එහෙයින් මෙම ගැටලුව විසඳිය යුතුය. එහෙත් පවතින තත්ත්වය එයට හිමි නිසි බරින් හඳුනාගෙන කටයුතු කිරීම ද වගකීමකි.
(***)