ආණ්ඩුවේ මැති ඇමැති ධුරයක් හෙබවීම රටේ පොදු නීතියට ඉහළින් සිටීමට ලබා දෙන වරප්‍රසාදයක් වශයෙන් සලකන දේශපාලකයන් අපේ රටට අඩුවක් නැත. දේශපාලන බලයෙන් හිස උදුම්මවාගෙන කටයුතු කරන මේ මන්ත්‍රීලා ඇමැතිලා තමන්ට පමණක් නොව තමන්ගේ පවුලේ අය සම්බන්ධයෙන් වුවද නීතියට වැඩ කිරීම සලකන්නේ මදි පුංචිකමක් හැටියටය. එවිට ඔවුන්ගේ කට පමණක් නොව අතපය ද ක්‍රියාත්මක වෙයි. බලය තිබියදී මොළය නැතිව හැසිරෙන මේ සමහර දේශපාලනඥයන් ආණ්ඩුවේ ප්‍රතිරූපයට ද සිදුකරන්නේ මහත් හානියකි.
කටුනායක ගුවන් තොටුපොළේදී පසුගිය දිනක අලුයම් කාලයේ මෙවැනි හිස උදුම්මවාගත් රාජ්‍ය අමාත්‍යවරයකු හැසිරුණු ආකාරය ගුවන්තොටේ කාර්යභාර නිලධාරීන්ද මහත් අපහසු තත්වයකට ඇද දැමුවේය. ඔහුගේ බිරිඳ ඇතුළු පිරිසක් පිටරටකට යාමට පැමිණි අවස්ථාව එහි නිලධාරීන් සමඟ ආරවුලක් ඇතිකර ගැනීමට හේතුවක් කරගත්තේ ඇයිදැයි තේරුම් ගැනීම ද අපහසුය. ඔහුට කේන්ති ගිය බව පැවසෙන්නේ ගිනිඅවිද සහිතව පැමිණ සිටි ආරක්ෂකයන්ට ගුවන් තොටුපොළ තුළට පිවිසීමට අවසර ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් බව ද කියැවෙයි. ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ඇතුළට ගිනි අවි සහිතව ඇතුළු වීමට අවසර ඇත්තේ ආරක්ෂක සේවාවල නිලධාරීන්ට පමණක් බව නොදන්නා අමාත්‍යවරුන් සිටීම ගැන අපට දැනෙන්නේ ලජ්ජාවකි.
ගිනිඅවි සහිත ආරක්ෂකයන් පිරිවරා ගෙන ගමන් බිමන් යාමට අපේ රටේ ඇතැම් දේශපාලකයන්ට තිබෙන ‘උණ’ රටේ පොදු මහජනතාවගේ දැඩි පිළිකුලට හේතු වන බව ඔවුන් නොදැන සිටීම අවාසනාවකි. තමන්ට පමණක් නොව තමන්ගේ බිරිඳට ද තවත් සමීප ඥාතීන්ට ද මේ රාජ්‍ය අමාත්‍යවරයාගේ ආරක්ෂකයන්ගේ සේවය ලබාදී තිබෙන බවක් ද කටුනායක සිද්ධියේදී පෙනී යයි. තමන්ගේ බලතලවල සීමා මායිම් නොදැන කටයුතු කිරීමට කිසිදු ඇමැතිවරයකුට හැකියාවක් නැත. එසේම බලතල සහ වරප්‍රසාද ලබාදී ඇත්තේ මහජන සේවා සැපයීමේදී එල්ල විය හැකි බාධා, හිරිහැර මගහැර කටයුතු කිරීමට මිස තමන්ගේ බිරිඳට පිටරට යාමේ පහසුකම් සැලසීමට හෝ ගුවන් තොටුපොළේ සේවකයන්ගේ කනපැලීමට නොවන බව මේ දේශපාලකයන් නොදන්නවා නම් ඔවුන්ට ඒ බව කියාදීම කතානායකවරයාගේ වගකීමක් බවද පෙන්වා දෙමු.
කෙසේ වුවද අපේ රටේ පවතින දේශපාලන සංස්කෘතිය අනුව අවසානයේ වරද පැටවෙන්නේ වැරැද්ද සිදුකළ දේශපාලනඥයාට නොව ඔහුගේ නීති විරෝධී ක්‍රියාවෙන් අගතියට පත් පාර්ශ්වයට බව අපගේ ඉතිහාසය පෙන්වා දෙයි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටද රාජ්‍ය අමාත්‍යවරයා තමන්ගේ වරප්‍රසාද කඩ වී යැයි පැමිණිලි කර ඒ ගැන වහාම සොයා බලන්නැයි දන්වා නැත්නම් ඒ ගැන පුදුම විය යුතුය. බොහොමයක් අවස්ථාවල සිදුවී ඇත්තේ දේශපාලකයාගෙන් හෝ ඔහුගේ හෙංචයියන්ගෙන් හෝ ප්‍රශ්න කිරීම නොව වැරැද්දෙන් බැට කෑ පිරිසගෙන් කටඋත්තර ගැනීම මිස ඒ ගැන දේශපාලකයාගෙන් විමසීම නොවේ. මෙවැනි වැරදි යළි යළිත් මැති ඇමැතිවරුන් අතින් සිදුවන්නේ එකී අසාධාරණ යුක්තිය පසිඳලීම් ක්‍රියාවලිය හේතුවෙන් බව කනගාටුවෙන් වුවද පෙන්වා දිය යුතු ය.
මෙරට සිටි කීර්තිමත් දේශපාලනඥයකු වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතා වරක් බ්‍රිතාන්‍ය – ශ්‍රී ලංකා සමාජයේ රාත්‍රි භෝජන සංග්‍රහයක් අවසානයේ කළ කතාවකදී මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් අපූරු සඳහනක් කර තිබිණි. එය මෙසේ විය. ‘‘බ්‍රිතාන්‍යයේදී මන්ත්‍රීවරුන්ට ගරු මන්ත්‍රීතුමනි කියා ආමන්ත්‍රණය නොකරයි. එහෙත් ඉන් වැඩි දෙනෙක් ගරු තත්වයට සුදුස්සෝ වෙති. එහෙත් ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන්ට ආමන්ත්‍රණය කරන්නේම ගරු මන්ත්‍රීතුමනි කියාය. එහෙත් ඇතැම්හු ‘‘ගරු කියා ඇමතීමට සුදුස්සෝ නොවෙති.’’ ගුවන්තොටේ පිස්සු නැටූ රාජ්‍ය ඇමැතිවරයා තමන් ‘‘ගරු තත්වය ලැබීමට සුදුසු අයකුදැයි තම හෘදය සාක්ෂියෙන් විමසිය යුතු නොවේද? මෙය මෙරට පොදු ජනතාව අසන ප්‍රශ්නයකි.
(***)