පෞද්ගලික නිවාස හිමි පුද්ගලයන්ට පවා බද්දක් පැනවෙන බවට තොරතුරු පළවෙන අතරේ මැති ඇමතිවරුන් 56ක් තමන් පදිංචිව සිටින නිල නිවෙස්වල කුලියට හිඟ තබා වාර්තා වී තිබේ. මේ බව සිය අලුත්ම විගණන වාර්තාවෙන් උපුටා දක්වන ජාතික විගණන කාර්යාලය සඳහන් කරන්නේ පසුගිය 2015 වර්ෂයේ සිට හිඟ තබා ඇති එම මුදල රුපියල් ලක්ෂ 37ක් පමණ වන බවකි. එසේම රජයේ නිලධාරීන් 18 දෙනකුද රුපියල් කෝටියකට ආසන්න මුදලක් නොගෙවා ඇති බවද සඳහන්ය.
මේ රටේ සිදුවන දැවැන්ත නාස්තිකාර සහ වංචනික ක්‍රියාකාරකම් සමග සසඳන කල රුපියල් ලක්ෂ 37ක් සහ රුපියල් කෝටියක් යන්න ඉතා සුළු මුදලක් සේ කෙනකුට දකින්නට පුළුවන. එහෙත් එම කුලිය හිඟ තබා ඇත්තේ මැති ඇමැතින් සහ රජයේ නිලධාරීන් වීම මේ සිද්ධියේ බරපතළකම ඉස්මතු කර පෙන්වයි. රටේ පොදු මහජනතාව සඳහා නීති සම්පාදනය කරන මැති ඇමැතිවරුන් වෙසෙන නිල නිවෙසට කුලියක් නොගෙවා සිටීම ලජ්ජාවක් වශයෙන් නොදැනෙන්නේද යන්න ප්‍රශ්න කළ යුතුය. මේ මැති ඇමැති නිවාස පිහිටා ඇත්තේ කොළඹ හතේ වුවද ඒ නිවාස සඳහා අය කරන කුලිය ඒ පළාත්වල සෙසු නිවාස කුලිය සමග සසඳන කල ඉතා සොච්චම් මුදලක් බවද ප්‍රසිද්ධ රහසකි. එසේ තිබියදීත් මේ මැති ඇමැතින්ගේ නිවාස සඳහා වන කුලී මුදල නොගෙවන්නේ මහජනතාව තම බදු මුදලින් එය ගෙවිය යුතුයැයි ඔවුන් කල්පනා කරන නිසාද විය හැකිය.
මැති ඇමැතින් සඳහා විශේෂ වරප්‍රසාද ලබාදී ඇත්තේ ඔවුන් රටේ මහජනතාව වෙනුවෙන් සිදුකරන සේවා කිසිදු බාධාවකින් තොරව ඉටුකිරීමට පහසුකම් සැලසීමක් වශයෙනි. කොළඹ නගරයේ සහ ඒ අවටින් ඔවුන්ට නිල නිවාස සපයා දෙන්නේද එහි එක් පියවරක් වශයෙනි. එහෙත් එකම වරප්‍රසාදවලට මුවාවී තමන් විසින් ගෙවිය යුතු නිවාස කුලිය පවා නොගෙවා ඒවාට හිඟ තැබීම කිසිදු මහජන නියෝජිතයකුගේ යුතුකමක් නොවේ. එය සිදු නොකළ යුතු සමාජ විරෝධී ක්‍රියාවක් බව පෙන්වාදිය යුතුය. කුලී ගෙවල් හිමියකු සතුව ඇති කුලිය හිඟ නිම වූ විට බදු ගැනුම්කරුට එරෙහිව ක්‍රියාත්මක කරන නීතිය මෙවැනි මැති ඇමැතින්ට එරෙහිවත් බලාත්මක නොවන්නේ ඇයිදැයි මෙහිදී විමසිල්ලට ලක්කළ යුතුය.
මේ මැති ඇමැතින් තම නිල නිවාස කුලියට පොලු තබන්නේ මුදල් අහේනිය නිසා යැයි අපි මොහොතකටවත් නොසිතමු. මෙරට කිසිම රටවැසියකු හෝ එහෙම සිතන්නේ නැත. ආර්ථික වශයෙන් නියඟයකට හසුවී දිරච්ච ගස් වැනි තත්ත්වයට පත් වෙන මැති ඇමැතින් මේ ශ්‍රී ලංකාවේ නම් නොසිටින බව යථාර්ථයයි. මේ රටේ සිටින්නේ කඳ බඩ මහත සශ්‍රීක මැති ඇමතින්ලා පමණි. ඔවුන්ට තමන්ගේ නිල නිවෙස්වලට අදාළ කුලිය ගෙවීමට කිසිදු අපහසුවක් තිබිය නොහැක. එසේ හිඟ හිටවා ඇත්නම් එය සිතාමතා කළ වැරැද්දකි. තමන් එවැන්නක් නොදන්නා බවට ඔවුන් විසින් කරනු කියනු ලබන කතාවලින් නම් නොපෙනේ.
ඇතැම් මැති ඇමැතින් ගෙවල් කුලී නොගෙවනවා පමණක් නොව තම විදුලි බිල්, වතුර බිල් පවා ගෙවන්නේ නැත. ඒ සඳහා ඔවුන්ට ඉතා පහසු උත්තරයක් තිබේ. මේ බිල් තමන් භාවිත කළ විදුලියට හෝ ජලයට ලැබුණු බිල්පත් නොව අදාළ නිවෙසේ කලින් පදිංචියට හිටි අය පරිභෝජනය කළ ඒවා සඳහා ලැබුණු බිල්පත් බව පැවසීමයි. එසේනම් විදුලි බල මණ්ඩලය සහ ජල සම්පාදන මණ්ඩලය කලින් එම නිවාසවල පදිංචිව සිටි මැති ඇමැතින් සොයාගෙන ඔවුන් ලවා එම බිල්පත් ගෙවා දැමීමට කටයුතු කළ යුතුය. එහෙත් එය එසේ නොවන බවත් ඒ ඇතැම් හිඟ බිල්පත්වලට සිදුවූ දෙයක් දැනගන්නට පවා නොලැබෙන බවත් සැබෑ තත්ත්වයයි.
මෙවැනි මැති ඇමැති වරප්‍රසාදවලට මුවාවී තමන් භුක්ති විඳින යටිතල පහසුකම් වෙනුවෙන් සතයක් නොගෙවන මැති ඇමැතිවරුන්ට එරෙහිව කටයුතු කිරීම සඳහා රජය මගින් කිසියම් යාන්ත්‍රණයක් සකස් කිරීම අවශ්‍ය බව මෙහිදී පෙන්වා දිය යුතුය. එම පාඩුව රජය මගින් දැරීම ඒ සඳහා විසඳුම නොවේ. මැති ඇමැතින් නොගෙවන බිල්පත්වල බර අවසානයේ වැටෙන්නේ පොදු මහජනතාවගේ කරමතට බැවිනි. ඔවුහු ඒවා බදු වශයෙන් ගෙවා දමති. ආණ්ඩුව කුමක් වුවද කිසිදු මැති ඇමැතිවරයකුට ගෙවල් කුලිය ඇතුළු සෙසු සේවා සඳහා ගෙවිය යුතු ගාස්තුවල පොලු තැබීමට අයිතියක් නැත. එය වැළැක්වීමට රජය වහාම පියවර ගත යුතුය.
(***)