දේශපාලනඥයා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නීතිගරුක විය යුතුය. යුක්තිගරුක විය යුතුය. ශීලාචාර විය යුතුය. මන්දයත්, ඔහු ජනතාවගේ නායකයකු වන හෙයිනි. තමන් නායකත්වය දෙන ජනයාට ඔහු ආදර්ශ සැපයිය යුතුය. එහෙත්, ඇතැම් දේශපාලනඥයෝ එකී සකල ගුණාංග මහ දවාලේ ප්‍රසිද්ධියේ ගිනිබත් කරති. ඒ, එකී සකල ගුණාංග ශීලයක් මෙන් රකින දේශපාලනඥයන්ට ද පාරේ බැස යාමට නොහැකි තත්වයක් උද්ගත කරවමිනි.
අප පුවත්පත ඉකුත් දා වාර්තා කළ ප්‍රවෘත්තියෙන් කියවුණේ, ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් සමග නුවරඑළිය පොලිසිය ඉදිරිපිට හා නගරයේ නොසන්සුන් ලෙස හැසිරී ඇති බවය. එහිදී අමාත්‍යවරයාගේ ආරක්ෂකයන් තිදෙනකුගේ ගිනි අවි තලවකැලේ පොලිසිය භාරයට ගත් බවත්, ඉහළින් ආ නියෝගයකට අනුව එම ගිනි අවි නැවත ආරක්ෂකයන්ට භාර දුන් බවත් කියැවෙයි.
අමාත්‍ය ජීවන් තොණ්ඩමන් සම්බන්ධයෙන් මෙවැනි ප්‍රවෘත්ති පළවූයේ පළමු වරට නොවේ. ආසන්න මෑත දිනයකදී අමාත්‍යවරයා ඇතුළු පිරිසක් නුවරඑළිය පීඩටර් වතුයායට ඇතුළු වී එහි පාලනාධිකාරිය සමග ගැටුමක් ඇති කරගත් බවය. අමාත්‍ය තොණ්ඩමන්ට මෙහිදී දීමට පිළිතුරක් තිබේ. එනම්, “මා එහි ගියේ ජනතාවගේ ඉල්ලීම පිට, ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන්න.” බව ඔහුට කිව හැකිය. එම පිළිතුර කිසි ලෙසකින් හෝ මොනර නැටුමෙන් වෙනස් නොවන්නකි.
මෙරට ඡන්දදායකයා බුද්ධිමත් යැයි කීව ද එසේ නොවන ඡන්දදායකයෝ ද සිටිති. ළමයාට පාසලක් ලබා ගැනීම, රැකියාවක් ලබා ගැනීමට දේශපාලකයාගේ පිහිට පතන ඡන්දදායකයෝ සැමට සිටිති. හොරකමට, අපරාධයකට පොලිස් අත්අඩංගුවට පත්වූ තම ඥාතියා බේරා ගැනීමට දේශපාලකයාගේ පිහිට පතන ඡන්දදායකයා මගහැර යාමට දේශපාලකයාට හැකි නොවේ. මන්දයත්, ඔහු මැති සබයට යවනු ලැබුවේ එම ඡන්දදායකයා බැවිනි. තමන්ට ඊළඟ වර මැති සබයට යාමට එම ඡන්දදායකයාගේ ඡන්දය අවැසි බැවිනි.
ඡන්දදායකයා වෙනස් වන තුරු දේශපාලකයා වෙනස් කරගත නොහැකිය. එහෙයින්, ඡන්දදායකයා බුද්ධිමත් විය යුතුය. ආසියාතික රටවල දේශපාලන සම්ප්‍රදාය වන්නේ නීතිය කුමක් වුව ද, යුක්තිය කුමක් වුව ද තමන්ට ඇවැසි දෙය තමන්ට ඇවැසි ආකාරයටම සිදු විය යුතු යැයි හිතන දේශපාලනඥයන්ගේ ක්‍රියාකාරකම් මතය. 21 වැනි සියවසට මේවා නොගැළපෙන බව මේ ‘පොඩි මොළ’වලට නොතේරේ. තමන්ගේ මහන්තත්තය පෙන්වන්න ගිය ද ප්‍රදර්ශනය වන්නේ තම නිරුවත බව බොහෝ දේශපාලනඥයෝ නොසිතති. එහෙත්, සිදු වන්නේ එයය.
අමාත්‍ය තොණ්ඩමන් සිය ආධාරකරුවන් සමග පැමිණ ‘සෙල්ලම්’ දාන්නේ පොලිස් ස්ථානය ඉදිරිපිටය. නගරයේ යකා නටන්නේ පොලිස් නිලධාරීන් ඉදිරිපිටය. එම පොලිස් නිල දරුවෝ ද අසරණව බලා සිටිති. මෙම අනීතික හැසිරීමට එරෙහිව කටයුතු කරන්නට ගියොත් මොන තූත්තිකුඩයකට තමන් මාරු කර යවාවි දැයි ඔවුහු බියට පත් වෙති. එහෙයින්, ඔවුහු දේශපාලනඥයන්ට රිස්සක් කරගන්නට ඉඩ දී නිහඬව සිටිති.
මෙහි තාර්කික අන්තය වනුයේ, සාමාන්‍ය ජනයා තුළ ද නීතියට, පොලිස් නිල දරුවාට ඇති ගෞරවය බිඳී යාමය. එය මහත් ව්‍යසනයකි. ජාතියට ඇති භය පක්ෂපාතීත්වය හා ගෞරවය සිඳී ගිය කල්හි ඕනෑම අපරාධයක් කිරීමට පෙළඹවීමක් ඇති වේ. අද අප රටේ අපරාධ බහුල වීමට එය ද විශාල හේතුවකි.
දේශපාලනඥයා සැබෑ ජන හිතකාමියකු නම්, මේවා ගැන සිතිය යුතුය. ඒවා නොසිතා කටයුතු කළ දේශපාලනඥයන්ට හිමි වූයේ ඉතිහාසයේ කුණු බක්කිය වේ. යමකු ස්ව කැමැත්තෙන් එමග තෝරා ගත්ත ද එමගින් රටට සිදු වන හානිය ඉදිරිපිට නිහඬ වීම යනු නිවටකමෙන් කිසි ලෙසකින් හෝ වෙනස් නොවන්නකි.
(***)