ජනතා තීන්දුවට ගරු කරමු


මෙරට නව වැනි පාර්ලිමේන්තුව සඳහා සභිකයන් තෝරා ගැනීමේ මහ මැතිවරණයේ ප්‍රතිඵල තවමත් නිකුත් වෙමින් තිබේ. ඉදිරි පස් වසර රට පාලනය කිරීමට සුදුස්සන් කවුරුන්දැයි සාහිතශය බහුතරයක් ජනයා තීන්දු කළ කඳවුර ජයග්‍රහකයා බවට පත්වනු ඇත. ඒ ජයග්‍රාහී කඳවුරට අපගේ ශුභාශිංෂණ පළමුව පිරිනමමු. ජනතාව ඔවුන් කෙරෙහි තැබූ විශ්වාසයට වැලි කැටයක තරමේ හෝ හානියක් නොකර ඒ ජනතා අභිලාෂයන් මුදුන් පැමිණවීම සඳහා කැපවීමෙන් මෙන්ම අගති විරහිතව හා බුද්ධිමත්ව ඔවුන් කටයුතු කරනු ඇතැයි යන්න අපගේ ඒකාන්ත විශ්වාසය වේ.

 මිනිසකුගේ බුද්ධි මට්ටම විමසා බැලෙන එක් අවස්ථාවක් වනුයේ ඔහු පිළිගැනීමට ලක්වන මොහොතේ ඔහුගේ චර්යාවය. ජයග්‍රාහකයා මේ මොහොතේ මුහුණ දී සිටින්නේ තමන් පිළිගැනීමට ලක්ව තිබෙන මොහොතේ තමාගේ චර්යාව නිරීක්ෂණය කෙරෙන මොහොතකටය.  ජයග්‍රහණයෙන් උඩඟුවීම, එය නැවත ආපස්සට නොහැරෙන අසමසම සදාකාලික බලයකැයි සිතා කටයුතු කිරීමට පෙළඹීම සිය දිවි නසා ගැනීමකි. ජයග්‍රාහකයා තේරුම් ගත යුතු පරම සත්‍ය ඇත්තේ තමන් ජයග්‍රාහකයා බවට පත් වූයේ තමන් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක නිසා නොව ප්‍රතිවාදියා සකලාකාරයෙන්ම අසාර්ථක වූ හෙයින් බවය. එහෙයින් අසාර්ථක වූවන්ගේ මාර්ගයේම ගමන් කරන්නේ නම් තමන්ට පරාජයේ අඳුරු ඉරණම වැළඳ ගැනීමට සිදුවීමට වැඩි කලක් ගත නොවන බව තේරුම් ගත යුතුය. තමන් සිංහාසනයට ඔසොවා තබන්නේත් ඉතිහාසයේ කුණු බක්කියට විසි කර දමනු ලබන්නේත් මහජනයා බව තේරුම් ගැනීම ජයග්‍රාහකයා සතු පරම වගකීම ද වෙයි.

පරාජිතයාට තමන්ට ජයග්‍රහණය කිරීමට ලැබෙන අවසන් අවස්ථාව මෙය නොවේ. තමන් ජනතාවගේ පිළිගැනීමට ලක්වන දියුණු දේශපාලන ව්‍යාපාරයක් ලෙස වැඩෙන්නට තව කාලය ඉතිරිව තිබේ. එහෙයින් කළ යුතු වන්නේ වඩ වඩාත් නිවැරැදි වීමය. පරාජය යනු යහපත් ගුරුවරයෙකි. එහෙයින් එම ගුරුවරයාගෙන් පාඩම් උගත යුතුය. අනාගතයේ අවස්ථාවක දී වඩාත් නිවැරදි දේශපාලන ව්‍යාපාරයක් ලෙස ජනතාවගේ පිළිගැනීමට ලක්වනු ඇත්තේ එසේ කටයුතු කළහොත් පමණි.

මහ මැතිවරණය අවසන්ය. මැතිවරණ සමයේ දී දෙපිළ බෙදී මතවාදී සංග්‍රාමයක යෙදුණ ද එළැඹ ඇත්තේ එම සංග්‍රාමය අතහැර ජනතාව දිනවීමට තමන්ගෙන් විය යුතු කාර්ය භාරය නොපැකිලව ඉටුකළ යුතු මොහොතකය. තමන් සර්වතෝභද්‍රය, සර්ව සුන්දරය, සර්ව සම්පූර්ණය යනුවෙන් සිතා ජයග්‍රාහකයා කටයුතු නොකළ යුතුය. අන්‍යයන්ට සවන් දිය යුතුය. විවේචනයට සංවේදී විය යුතුය. වැරැදි නිවැරදි කර ගැනීමේ නිහතමානීකම තිබිය යුතුය. ජනතාවට ආදරය කළ යුතුය. රටට ආදරය කළ යුතුය. රටේ ගෞරවය මෙන්ම ජනතාවගේ ආත්මාභිමානය ආරක්ෂා කළ යුතුය. බලකාමයෙන් මත් නොවිය යුතුය. යසස් කාමයෙන් උඩඟු නොවිය යුතුය. තමන් සරුංගලයක් බවත් තමන්ට ගුවන්ගතවී සිටිය  හැකි වන්නේ නූල අතරැඳි මිනිසාගේ කැමැත්ත පවතින තුරු බවත් තේරුම් ගත යුතුය.

ජයග්‍රාහකයාගේ සියලුම දේට කොන්දේසි විරහිතව විරුද්ධවීම විරුද්ධ පක්ෂයේ වගකීම නොවේ. ඔවුන්ගේ පරම වගකීම වන්නේ ආණ්ඩුව වරදකාරී මාවතෙන් මුදා ගැනීමය. ඒ වෙනුවෙන් ප්‍රහාරක බළඇණියක් සේ කටයුතු කළ යුතුය. ඒ වෙනුවෙන් නිවැරැදි දෙයට කොන්දේසි විරහිතව සහාය දිය යුතුය. වැරැදි දෙයට සම්මුති විරහිතව විරුද්ධ විය යුතුය. විරුද්ධ පක්ෂය ගන්නා සෑම තීන්දුවකම අවසාන ප්‍රතිලාභ ලැබිය යුත්තේ මහජනතාවය, රටය. ඒ ඉලක්කයෙන් බැහැර වූ ගමනක් විපක්ෂයට නැත.

වසර හාර පන්සියයකට වැඩි කාලයක් අප රට යටත් විජිතයක්ව තිබිණි. දෙදණින් වැටී ජීවත්වීම වෙනුවට දෙපයින් නැගී සිට මිය යාම ශ්‍රේෂ්ඨ යැයි ඇදහූ අපේ ඉපැරණි මුතුන් මිත්තන්ගේ අයස්කාන්ත අරගලයන්හි ආනුභාවයෙන් අප රටට නිදහස ප්‍රදානය කර පල්ලම් බැසීමට  අධිරාජ්‍යවාදීන්ට සිදුවිය. එසේ පල්ලම් බැස ගොස් වසර 72කි.

ගෙවුණු වසර 72 සම්බන්ධයෙන් රටේ පුරවැසියාට තෘප්තිමත් විය නොහැක. බොහෝ රටවල් අප පසුකර යද්දී අප ගමන් කර තිබෙන්නේ ආපස්සටය. මේ ඉරණම වෙනස් කළ යුතුය. බොල් බොළඳ සටන් පාඨවලින් එම ඉරණම වෙනස් කළ නොහැකිය. වාගාඩම්බර පිරී ගත් සිහින සාප්පු, බොරු පොරොන්දුවලින් ජනයා ඉල්ලන රට ගොඩනැගිය නොහැකිය. ආණ්ඩුව යනු රටේ භාරකාරයා මිස අයිතිකාරයා නොවේ. ඒ බව ගැඹුරින් අවබෝධ කරගත් ගමනක් අද සිටම ආරම්භ කළ යුතුය. ඒ ගමන දෙස අපි අවදියෙන් බලා සිටිමු.