ඉකුත් 29 වැනිදා අප පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තියේ සිරස්තලය වූයේ ‘‘රටම කොට උඩ’’ යන්නය. මුළු රටේම තත්ත්වය එම සිරස්තලයෙන් පිළිබිඹු වේ. එම සිරස්තලය අදටත් වලංගුය. ප්‍රශ්නය වන්නේ එය හෙටටත් වලංගු වේද යන්නය. රට හමුවේ තිබෙන බරපතළම ප්‍රශ්නය එයය.
රටම කොට උඩ ගියේ ඇවිළී ගිය ජන සටන් හේතුවෙනි. ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් වහා ඉල්ලා අස්වන ලෙස ඉල්ලමින් මෙම ජන සටන් ඇවිළී යමින් තිබේ. 28 වැනිදා ජන සටන ඉතිහාසයේ දැවැන්තම විරෝධය ලෙස ද සටහන් වී තිබේ. දැවෙන ප්‍රශ්නවලට ක්ෂණික හා නිවැරදි විසඳුම් නොලැබෙන විට සටන් වදිනු විනා වෙනත් විකල්පයක් ද නැත.
රට තිබෙන්නේ ගිනි කන්දක් මතය. ගිනි කන්ද පුපුරා යාමට ආසන්නය. ඒ බවට සංඥා කරමින් දුම් දමමින් තිබේ. ඒ සංඥාව නිවැරදිව හඳුනා ගත යුතුය. නොඑසේනම් විනාශ වන්නේ මුළු රටමය. එබඳු විනාශයකදී කිසිවකුගේ පැවැත්ම තහවුරු නොවනු ඇත. වහා වටහා ගතයුතු පරම සත්‍ය එයයි.
අරගලකරුවන් වෙතද පණිවිඩයක් දීමට තිබේ. මෙම අරගල මාදිලිය නැවුම්ය. විචිත්‍රය. එමෙන්ම ආගන්තුකය. ප්‍රචණ්ඩ හා ප්‍රවේගකාරීත්වයෙන් දුරස්වීම ප්‍රශස්තය. එහෙත් මාර්ග අවුරා සිදු කරන විරෝධතාවලින් පීඩාවට පත්වන්නේ අරගලකරුවන් විඳින වේදනාව කිසිඳු වෙනසකින් තොරව විදින ජනතාවමය. තමන් බඳුම ජනතාවකට අතිරේක පීඩාවක් ගෙනදීම සාධාරණ නැත. යුක්තිගරුක නැත.
විනාශය, විනෝදයක් හා වින්දනයක් කරගත් පිරිසක් ද සිටින බව පැහැදිලිය. මහ ජනයාගේ සාධාරණ අරගලය මතට වසුරු හෙළන්නෝ ඔවුහු වෙති. ඉකුත් 28 වැනිදා විරෝධතාවේදීද එබන්දන්ගේ ‘ගොන්කම්’ රැසක් ප්‍රදර්ශනය විය.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට යන මාර්ගය අවුරා විරෝධතා පැවැත්වූ බැවින් එම මාර්ගයේ ගමනාගමනයට බාධා ඇති විය. විදෙස්ගත වන්නන් ද මෙරටට පැමිණ යළිත් තම රටට යාමට ගුවන් තොටුපොළට යමින් සිටි විදේශිකයන්ටද තම කඳමලු කර තබාගෙන බොහෝ දුර පයින් ඇවිද යාමට සිදුවිය. එම විදේශිකයන්ට අපගේ ආදරණීය මෘතෘ භූමිය සම්බන්ධයෙන් කවරාකාර හැඟීමක් ඇතිවන්නට ඇද්දැයි සිතා ගැනීම අසීරු නැත.
ලෝක සිතියමේ ඇබැටක් තරම් වුවද මේ රට සංචාරක පාරාදීසයකි. නවෝත්පාදන ආර්ථිකයක් සම්බන්ධයෙන් අවධානය යොමු නොවුණ රටක අපට විදෙස් විනිමය උපයාගත හැකි එක් ප්‍රධාන මාවතක් වන්නේ ද සංචාරක ව්‍යාපාරය වේ. කොවිඩ් වසංගතය නිසා සංචාරක ව්‍යාපාරය වළපල්ලට ගියේය. අප රටට මෙවැනි දුක්ඛිත ඉරණමක් අත්වීමට එයද එක් ප්‍රධාන හේතුවකි.
කොවිඩ් වසංගතයේ මාරාන්තික පෙනුම තුරන් වී යාමත් සමඟ සංචාරක ව්‍යාපාරය නව පණක් ලැබුවේය. එහෙත් රටේ නිර්මාණය වූ ඉන්ධන හිඟය, විදුලිය විසන්ධිය නිසා මෙන්ම ගම් නගර ජනපද සිසාරා ඇවිළී ගිය ජන සටන් නිසා යළිත් සංචාරක ව්‍යාපාරයට කණකොකා හඬා තිබේ. මෙම තත්ත්වය ඉක්මනින්ම වෙනස් කර ගත යුතුව තිබෙන්නේ එහෙයිනි.
අතිශය ප්‍රියමනාප හැඟීමකින් සංචාරය සඳහා මෙරට තෝරාගෙන පැමිණෙන විදේශිකයන්ට රටේ තත්ත්වය සම්බන්ධයෙන් කම්පනයක් ඇති වීම වැළැක්විය නොහැක. එමෙන්ම මෙරටට පැමිණීමට ගත් තීරණය සම්බන්ධයෙන් බලවත් පසුතැවීමක් ඇති නොවන්නේ නම් එයද විමතියකි. එබඳු මනසක් යළිත් වරක් මෙරටට පැමිණීමට තීරණය නොකරනු ඇත. එමෙන්ම මේ රටට පැමිණීමට කැමැත්තෙන් සිටින කෙනකුට වචනයකින් හෝ දිරි නොදෙනු ඇත. අලාභය රටටය. රටේ පැවැත්මටය.
විනාශය, විනෝදයක් හා වින්දනයක් බවට පත් කරගත් ඔලමොට්ටලයන් රටට කළ හානිය අතිවිශාලය. රටේ යම්තමින් හෝ ඉතිරි වි ඇති කීර්ති නාමයට නින්දා සහගත කැළලකි. සටන් යනු එබඳු විපත් රැගෙන එන්නක් නොවිය යුතුය.
සටන් කිරීමද කලාවකි. එහෙයින් සටන් කළ යුත්තේ එම කලාව ප්‍රගුණ කර හා ප්‍රගුණ කරගනිමින්ය. සටන් කළ යුත්තේ කෙසේදැයි නොදන්නේ නම් පළමුව කළ යුත්තේ සටන් නොකර ඉඳීමය. සටන් වදින අයුරු නොදැන සටන් කිරීමෙන් සිදුවන්නේ සටන ‘‘අල’’ වීමය.
තරුණයන් ඇතුළු අප සියලු දෙනාම රටට ආදරය කරන පිරිස් වෙති. රට හා බැඳුණු විසල් මනසක් අප සියල්ලන්ටම තිබේ. ජනයා සටන් වදින්නේද ඒ රටට තිබෙන ආදරය නිසාමය. එහෙත් එම සටන් යහපත් ප්‍රතිඵල අත්කර දෙන සටන් විනා රටට හතුරුකම් කෙරෙන රටට අලාභය රැගෙන එන සටන් බවට පත් නොවිය යුතුය. අවධාරණය කළ යුතු වඩාත් වැදගත්ම කාරණය වන්නේ ‘‘නොදන්නාකම විනාශය වළක්වා නැති’’ බවය. ඉතිහාසය ඉගෙනගත යුතු වන්නේ ද ඒ වෙනුවෙනි.
(***)