ජනපතිගේ ඉල්ලීම විපක්ෂය පිළිගනියිද?


පාර්ලිමේන්තුවේ නව වැනි සැසිවාරය විවෘත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට වෙනුවෙන් පොදු එකඟත්වයකට එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කළේය. මැතිවරණවලදී වෙන්වී තරග කළත් රට ගොඩනැංවීමේදී එකට එක්වී කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා යෝජනා කළේය. රට වෙනුවෙන් පොදු ගමනකට එකතු වීමට පොදුජන පෙරමුණට හැකි වූවානම්, තමා සමඟ බොහෝ කාලයක් එකට දේශපාලනය කළ සමගිජන බලවේගයට එසේ කළ නොහැකි මන්දැයි ප්‍රශ්න කළ ජනාධිපතිවරයා යහපාලන ආණ්ඩුව කාලයේදී දූෂණ විරෝධී කාර්යාලය මෙහෙයවීමට සහාය දුන් ජනතා විමුක්ති පෙරමුණට රට වෙනුවෙන් පොදු ගමනකට එක්විය නොහැකි මන්දැයි විමසා සිටියේය.

වත්මන් ආණ්ඩුව සමග රට වෙනුවෙන් පොදු ගමනකට එක් වන්නැයි කරන ජනපතිගේ ඉල්ලීම අලුත් ඉල්ලීමක් නොවේ. එයට එකඟ වෙනවාද නැද්ද යන්න සජබ සහ ජවිපෙ ප්‍රමුඛ ජා.ජ.බ. විසින් ගතයුතු දේශපාලන තීන්දුවකි. ඔවුන් එකතු නො​ෙවනවා නම් එසේ වන්නේ ඔවුන්ගේ දේශපාලනය තුළ සහ පක්ෂ තුළ ඒ සඳහා වෙනම කියැවීමක් තිබෙන නිසා යැයි අපි සිතමු. ‘ඇයි එක් නොවන්නේ’ යන ප්‍රශ්නයට ඔවුන් මීට පෙරද පිළිතුරු දී තිබේ. මෙවරත් ලබාදෙන පිළිතුර තුළද එයට වඩා වෙනසක් දැකිය නොහැකිවනු ඇත.

එසේ වුවද ජනාධිපතිවරයා රට ගොඩනැංවීමට දරන උත්සාහයට තමන්ට හැකි පමණින් සහාය ලබාදීම, මේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම දේශපාලන පක්ෂයකම යුතුකමක් මෙන්ම වගකීමකි. ජනාධිපතිවරයා ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති තමන්ගේ පක්ෂවල දේශපාලන ප්‍රතිපත්තිවලට වඩා වෙනස් විය හැකි වුවද රට වැටී තිබෙන බරපතළ ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සෑම දේශපාලන පක්ෂයකම පොදු අරමුණ විය යුතුය. ඒ අරමුණු ජයගැනීම සඳහා ජනාධිපතිවරයා දැනට ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙළට අනුගතවී හැකි පමණින් තමන්ගේ ප්‍රතිපත්ති හරස් කිරීමකින් තොරව රට වෙනුවෙන් කැපවීමට හැකිනම් එය රටේ අනාගතයට පවා යහපත් පූර්වාදර්ශයක් වනු ඇත. අවසාන ජයග්‍රාහකයා විය යුත්තේ රට බැවිනි. විපක්ෂයට දේශපාලනය කිරීමට වුවද රටක් ඉතිරිව තිබිය යුතුය. තැල්ල බඳින්නත් බෙල්ල තිබීම අවශ්‍යමය.

ජනාධිපතිවරයාට මෙවැනි ඉල්ලීමක් වරින් වර ඉදිරිපත් කිරීමට සිදුවී තිබෙන්නේ අප රට මීට වසර දෙකකට පෙර මුහුණදුන් බරපතළ ආර්ථික අර්බුදයේ එක් ප්‍රතිඵලයක් වශයෙනි. තෙල්, ගෑස්, ඖෂධ සහ විදුලිය නොමැති තරම් දරුණු තත්වයකට මේ රටේ ආර්ථිකය කඩා වැටිණි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අරගලය හේතුවෙන් එම ධුරය අහිමි විය. පාර්ලිමේන්තුවේ බලය හිමිව තිබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමද විවිධ ආකාරයෙන් බෙදී ගොස් තිබේ. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධුරය භාර ගත්තේ එතරම් බරපතළ ආර්ථික සහ දේශපාලනික විනාශයක එළිපත්තේ සිටිමිනි. එම තත්වයෙන් රට යම් ප්‍රමාණයකට ගොඩගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති වශයෙන් ගනු ලැබූ තීන්දු තීරණ හේතු විය. රට එදා තිබූ තත්වයෙන් ගොඩ ගියේ එම තීන්දුවල ප්‍රතිඵලයක් වශයෙනි. මේ නිසා රට ගොඩගැනීමට සියලු පක්ෂවලට ජනාධිපතිවරයා කරන ආරාධනයට ශක්තිමත් පදනමක් තිබෙන බව තේරුම් ගැනීම අපහසු නැත.

එහෙත් මෙහිදී යම් අඩුපාඩුවක් වශයෙන් බොහෝ දෙනකු පෙන්වා දෙන්නේ රටේ ආර්ථිකයට බරපතළ හානියක් සිදුකළ කිසිඳු දේශපාලනඥයකුට අබමල් රේණුවක හෝ හානියක් සිදු නොවී තිබීමය. ඒ ඇතැම් දෙනා අදටත් එදා භුක්ති විඳි වරදාන සහ වරප්‍රසාද ඒ අයුරින්ම භුක්ති විඳිමින් සිටින්නේ රටේ පොදු මහජනතාව එම ආර්ථික අර්බුදයේ අසරණ වින්දිතයන් වී සිටියදීය. අධික බදු සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල ගණන් ඉහළ යාමත් විදුලිය ඇතුළු සේවා ගාස්තු දැරිය නොහැකි මට්ටමට ගොස් තිබීමත් නිසා විපක්ෂයේ දේශපාලන පක්ෂ මේ අවස්ථාවේදී සැලසුම්කරන්නේ එයින් උපරිම දේශපාලන වාසි ලබාගැනීමට බවද රහසක් නොවේ. එසේ වුවද ජනාධිපතිවරයා සද්භාවයෙන් යුතුව සිදුකරන මේ ඉල්ලීමට සාධනිය ප්‍රතිචාරයක් දැක්වීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ උනන්දු වුවහොත් එය මෙරට දේශපාලන සංස්කෘතියේ පැහැදිලි හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇත.

 

(***)