ජනවාර්ගික අර්බුදයට ඉක්මන් විසඳුමක් ඕනෑ


ශ්‍රී ලංකාවේ 75 වැනි ජාතික දින සැමරුමට පෙර ජනවාර්ගික අර්බුදයට විසඳුමක් සෙවීම සඳහා වැඩපිළිවෙළක් සැකසීමට ගත් උත්සාහය තවමත් ඵල දරා නැති බව දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ පසුගිය සති අන්තය වනවිට දී හෙළිදරව් වෙමින් තිබිණි. පසුගිය 10 වැනිදා වනවිට දෙමළ දේශපාලන පක්ෂ නායකයන් විසින් ආණ්ඩුවට අවසන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණේ තමන්ගේ ඉල්ලීම් ඉටු නොවුණොත් සාකච්ඡාවලට සහභාගී වීමෙන් වළකින බවය. ඔවුන්ගේ අදහස වී තිබුණේ තම ඉල්ලීම් ලබා දීමට නව නීති සැකසීමට අවශ්‍ය නැති බවත් ජනාධිපතිවරයා සතු බලතල උපයෝගී කර ගනිමින් අදාළ පියවර ගතහැකි බවත්ය.

තත්ත්වය එසේ පවතිද්දී තෛපොංගල් දිනයේදී යාපනයේ පැවති උත්සවයකට සහභාගී වීම සඳහා එහි සංචාරය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබුණේ ඉදිරි දෙවසර තුළදී 13 වැනි ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් බලාත්මක කිරීමට පියවර ගන්නා බවය. එසේ වුවද උතුරේ දේශපාලන පක්ෂවල ඉල්ලීම් ඉටු කිරීමට අධිකරණ සහ ව්‍යවස්ථා කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කිසිදු පියවරක් නොගැනීම හේතුවෙන් එම සාකච්ඡා තවදුරටත් ඉදිරියට නොයන බව පෙනෙන්නට තිබේ. එය අවාසනාවන්ත කරුණක් බව සඳහන් කළ යුතුය.

ජනවාර්ගික අවුල විසඳන සාකච්ඡා යළි ඇරඹීමට නව ප්‍රවේශයක් ලැබුණේ ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයත් සමඟිනි. ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර දිනයේ සාකච්ඡාවකට සහභාගි වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ඉල්ලීමට දෙමළ ජාතික සන්ධානයෙන් ලැබී තිබුණේ ධනාත්ම ප්‍රතිචාරයකි.  ඒ අනුව දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්පන්දන් සහ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරුන් දෙදෙනා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවකට සහභාගි වූ බව වාර්තා විය. ජනාධිපතිවරයාට අමතරව රජයේ අමාත්‍යවරුන් කිහිපදෙනකුද සාකච්ඡාවට සහභාගීව සිටි බවත්  එහිදී ජනවාර්ගික අර්බුදය විසඳීමේ මාර්ගයකට අවතීර්ණ වීම සඳහා තීරණ කිහිපයක් ගනු ලැබූ බවත් සඳහන්ය.

ජනවාර්ගික ගැටලු‍වට විසඳුමක් සෙවීම පහසු නැත. එය දේශපාලන කාරණා පමණක් නොව මානුෂික හැඟීම් සහ ජාතිකත්වය මත පදනම් වන සංවේදී කරුණු ඇතුළත් විශාල ව්‍යායාමයක් වන බැවිනි. එවැනි කරුණු බොහොමයකට උතුරේත් දකුණේත් නායකයන් එකවර එකඟ වනු ඇතැයි බලාපොරොත්තු වීම අනුවණකමකි. එහෙත් මේ ව්‍යායාමය කොතැනකින් හෝ පටන් ගතයුතු නොවේද?

ජනාධිපතිවරයා සහ දෙමළ ජාතික සන්ධානය අතර පැවති සාකච්ඡාවේදී ඔවුන්ගේ ගැටලු‍ කිහිපයකට විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගත් බවද සඳහන්ය. වනසත්ව සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පවරාගනු ලැබ තිබෙන උතුරේ පෞද්ගලික ඉඩම් ඒවායේ අයිතිකරුවන්ට මුදාහැරීමට අවසර දෙන කැබිනට් පත්‍රයක් සකස් කරන්නැයි  ඒ අවස්ථාවේදීම ජනාධිපතිවරයා විෂය භාර අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් දී තිබීම එහිදී කැපී පෙනෙයි. ඒ සමඟ ගනු ලැබූ වෙනත් තීරණ අතර චෝදනා ඉදිරිපත් නොකර සිරගත කර සිටින සිරකරුවන් අතුරින් 05 දෙනකු පෙබරවාරි 04 වැනිදා නිදහස් කිරීම ද, එලෙස චෝදනා නැතිව සිරභාරයේ සිටින සෙසු සිරකරුවන් 10 දෙනා නීතිපති දෙපාර්තමේන්තුවෙන් අවශ්‍ය ලියැකියැවිලි සකස් කර අවසන් වීමෙන් පසුව නිදහස් කිරීම ද වෙයි. ඊට අමතරව පළාත්වලට ඉඩම් සහ පොලිස් බලතල විමධ්‍යගත කිරීමත් සෑම පළාත් සභාවකටම නියෝජ්‍ය පොලිස්පතිවරුන් 09 දෙනකු පත් කිරීමට සහ කොළඹ වාණිජ කලාපය ආවරණය වන සේ තවත් නියෝජ්‍ය පොලිස්පතිවරයකු පත් කිරීමටත් තීරණය වී ඇතැයි සඳහන්ය. මෙම පියවර ගැනීමෙන් පසුව බලය විමධ්‍යගත කිරීම සහ ව්‍යවස්ථාමය වෙනස්කම් කිරීම පිළිබඳ සාකච්ඡා ආරම්භ කෙරෙන බවද පැවසෙයි.

ශ්‍රී ලංකාව තුළ අළුයට ගිනි මෙන් පැසවමින් තිබෙන ජනවාර්ගික අර්බුදයේ ඉතා සංවේ දී කරුණු පිළිබඳ තීරණ ගැනීමකින් තොරව ඒ සඳහා තිරසාර විසඳුමක් ලබා ගැනීම ඉතා දුෂ්කර කාර්යයකි. ඉහත සඳහන් යෝජනා අතරේ එවැනි සංවේදී මාතෘකා ද තිබෙන බව පැහැදිලිව පෙනේ. ජනවාර්ගික අර්බුදයට තිරසාර විසඳුමක් අවශ්‍ය නම් ඒ ගැටලු‍ එකින් එක විමසා බලමින් විසඳුම් සොයා ගත යුතුව තිබේ. එහිදී අධි සංවේදී ඇසකින් බැලීමට වඩා ප්‍රායෝගික මනසකින් විමසා බැලීම වඩාත් උචිත බව අපගේ වැටහීමය.

(***)