ජාත්‍යන්තර කාන්තා දිනය නමට විතරක් සීමා නොවේවා!


ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබේ. ලොව සෞන්දර්යයේ සංකේතය වන කාන්තාවෝ එයට හිමි නිසි පිළිගැනුම අහිමිව කටුක දුක් වළඳමින් ජීවන සටනේ නිරතව සිටිති. එකී රළ ගසන සකල අගති කුදලා දමන ජීවිතයට හිමි නිසි ගරුත්වය හා පිළිගැනුම ඉල්ලා ලොව පුරා වෙසෙන සියලු කාන්තාවන් සමග අත්වැල් බැඳ ගනිමින් අප රටේ කාන්තාවෝ ද අද දිනයේ වඩාත් උද් යෝගයෙන් පරිශ්‍රමයෙන් හා සටන්කාමීත්වයෙන් පණ පෙවී ජාත්‍යන්තර කාන්තා දිනය සමරති.

 බොහෝ දුෂ්කර හා අකීකරු කොන්දේසිවලට යටත්ව වුව ද තමන්ගේ දිනය සමරණ අපේ කාන්තාවන්ට අපගේ උණුසුම් සුබ පැතුම් පළමුව පිරිනමමු.

 ‘‘ලොව නිර්මාණය වී තිබෙන්නේ හිරුගේ රැස්වලින් හා මවුගේ කිරිවලින්’’ යැයි  මැක්සිම් ගෝර්කි ලියා තැබුවේය. ලොව උත්තරීතරම පදවිය මවු පදවිය බව ශිෂ්ට සම්පන්න ජන සමාජයන්හි ඉහළම පිළිගැනීමකි. එහෙත් බිළිඳිය යුවතියක වී පතිනියක වීමටත් පෙර පියවරුන් නැති දරුවන් මෙලොවට බිහි කිරීමේ පාපතර, කුරිරු ඉරණමට යටත්ව සිටින නයන පිනවන මේ රන් දිවයිනේ කාන්තාවගේ ඉරණම අතිශයින්ම සෝබරය. පොදු මගී ප්‍රවාහන සේවාවලදී කාන්තාවන් කෙතරම් හිංසනයට හා අතවරයට ලක්වන්නේ ද යත් ඒවා මැඬපැවැත්වීමට පොලිස් නිලධාරීන්ට, නිලධාරිණියන්ට සිවිල් ඇඳුමෙන් සැරසී බස් රථවල මෙන්ම දුම්රියෙහි ගමන් කිරීමට සිදුවී තිබේ. එසේ එම මෙහෙයුමට සම්බන්ධ වූ පොලිස් නිලධාරීණියන් ද අතවරයට ලක් වූ බව සඳහන් වීමෙන් කාන්තා ඉරණමෙහි සැහැසි බව මනාව අනාවරණය වේ.

කාන්තාවට පමණක් අත්පත් කර ගත හැකි විමුක්තියක් ඇතැයි යන්න ප්‍රවාදයකි. එවැන්නක් කිසි දිනෙක මේ මහ පොළොවේ යථාර්ථයක් වන්නේ නැත. කාන්තා විමුක්තිය අන්තර්ගත වන්නේද පොදු සමාජ විමුක්තිය තුළය. එනමුත් අවධාරණය කළ යුතු සත්‍ය වන්නේ පොදු සමාජ ප්‍රශ්න හා පීඩනය හමුවේ වැඩි වශයෙන් හෙම්බත් වන්නේ කාන්තාවන් බවය. ‘‘වැඩ ඇරී - වැඩට එන’’ ගැහැනු ලෙස ඔවුන් නාමකරණය වී තිබෙන්නේ ද එහෙයිනි.

ආර්ථික අර්බුදය හමුවේ සැමියා උපයන සොච්චමෙන් පමණක් දරු පැටවුන්ගේ කුස ගින්දර නිවා දැමිය නොහැකි බව ගැහැනිය දනී. එහෙයින් තොටිල්ල පැදවූ සුකුමාල දෑත බොහෝ ගොරහැඬි කටුක වැඩවල යෙදවීමට ඔවුන්ට සිදුවී තිබේ. ඇතැම් ඇඟලුම් කම්හල්වල මෙන්ම ඇතැම් නිෂ්පාදනාගාරවල මැදියම් රැය වනතුරු වෙහෙසි අනාරක්ෂිතව මහ මගට පිවිස නිවෙසට, නවාතැනට යාමට කාන්තාවන්ට සිදුවී තිබේ.

 දරු පැටවුන් සමග රැඳෙමින් නිස්කලංකව ජීවිතය විඳිමේ අවස්ථාව බොහෝ අම්මලාට අහිමි වූ සාපලත් දේශයක් නිර්මාණය වී තිබේ. ජීවිතය විඳීමේ වරම අහිමි වූ බොහෝ කාන්තාවෝ සුසුමෙන් කඳුළෙන් දවස ගෙවා දමමින් ජීවිතය විඳවති. එසේ ජීවත්වී තේරුමක් නොවුවද අන් විකල්පයක් නොමැති මනුෂ්‍යත්වයේ අසරණකම ඉදිරිපිට නිහඬව කරබාගෙන සිටීමට බොහෝ කාන්තාවන්ට සිදුවී තිබේ.

 බරපතළම ඛේදවාචකයනම් කාන්තාවන්ගේ මෙම අසරණකම ඇතැම් ස්ත්‍රීවාදි  කණ්ඩායම්වලට රාජ්‍ය නොවන සංවිධානවල වංචනිකයන්ට ඩොලර් උල්පත් බවට පමණක් පත්වීමය. අද දවසේ වැඩි වැඩිෙයන්ම කෑ මොර දෙන්නේ මෙම වංචනිකයන්ය. එහෙයින්ම කාන්තාව පෙළෙන ඉරණම දශමයකින් හෝ වෙනස් කිරීමට එබඳු මාධ්‍ය සංදර්ශනවලට නොහැකිය.

ජාත්‍යන්තර කාන්තා දිනය වාර්ෂික ලිත් සැමරුමක් නොවිය යුතුය. සැබැවින්ම එය කාන්තාව සවිබල ගන්වන ඒ දිසාවට එම මනස යොමු කරන දිනයක් විය යුතුය. නැතහොත් අපට ලබන වසරේ ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමට සිදුවනු ඇත්තේ මීටත් වඩා අඳුරු සෝබර වාතාවරණයක් තුළවීම වැළැක්විය නොහැකිය.

(***)