ජාතික ආරක්ෂාවේ සූදානම නිරන්තරයෙන් අවශ්‍යයි


ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානයෙන් සිටීමේ වැදගත්කම අවධාරණය කෙරෙන සිද්ධියක් පසුගිය දින කිහිපය පුරාම අප පුවත්පත වාර්තා කළේ ය. එම සිදුවීම නම්, ඉන්දියාවේ අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ශ්‍රී ලාංකිකයන් සිවු දෙනකු අත්අඩංගුවට ගැනීම ය. ගුජරාටි පොලිස් ප්‍රධානී විකාශ් සාහේ මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ එම ශ්‍රී ලාංකිකයන් සිවුදෙනා අයි.එස්. ත්‍රස්තවාදී සංවිධානයට සම්බන්ධ බවත් ඔවුන් ඉන්දියාවට පැමිණ ඇත්තේ මරාගෙන මැරෙන ප්‍රහාරයකට සූදානමින් බවත් ය.

පාස්කු දින ප්‍රහාරයෙන් කම්පිත හදවත් ඇත්තවුන්ට මෙම ප්‍රවෘත්තිය බොහෝ සෙයින් භීතියට පත් කරවන්නකි. ඉතාම රහසිගතව එම ප්‍රහාරය එල්ල කිරීමට සැලසුම් කළ ද ප්‍රහාරයට සති ගණනකට පෙර  ප්‍රහාරයට අදාළ සියලු තොරතුරු ශ්‍රී ලංකාවට එවීමට ඉන්දීය ඔත්තු සේවා පියවර ගෙන තිබිණි.

ජාතික ආරක්ෂාව ජාතික සමගියට යටත් කර කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස එම ප්‍රහාරය වළක්වාගැනීමට නොහැකි විය. එහි ප්‍රතිඵලය කවුරුත් දනිති. පාස්කු දින ප්‍රහාරකයන් ද අයි.එස්. සංවිධානයට සම්බන්ධ බව පසුව අනාවරණය විය.

අයි.එස්. සංවිධානයට සම්බන්ධ සිවුදෙනා  අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට  ගැනුණේ එහි සිටි ඉන්දීය ත්‍රස්ත මර්දන ඒකකයේ නිලධාරීන්ගේ දැඩි අවධානයෙන් සහ විමසිල්ලෙන් සිටි නිසාය. එම සිවුදෙනා ගුවන් තොටුපොළේ රැඳී සිට ඇත්තේ ඔවුන්ගේ බාරකරු වූ පාකිස්තානයේ පදිංචි අබු නමැත්තාගෙන් උපදෙස් ලැබෙන තුරු බව ද අප පුවත්පත වාර්තා කර තිබුණේ ගුජරාටි පොලිස් ප්‍රධානී විකාශ් සාහේ මහතා උපුටා දක්වමිනි. ඉන්දිය ත්‍රස්ත විමර්ශන නිලධාරීන්ට ලැබී තිබූ තොරතුරකට අනුව මෙම සිවුදෙනා අත්අඩංගුවට ගනු ලැබූහ. එම ලැබුණු තොරතුරු නොසලකා සිටියේ නම් ඇති විය හැකි තත්වය සිතා ගැනීමටත් නොහැකි වනු ඇත. ඇතැම්විට එය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික  අර්බුදයක් දක්වා දිග්ගැස්සී යාමට ඉඩ තිබිණි.

මාධ්‍ය වාර්තාවලට අනුව අයි.එස්. සංවිධානයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් සිවුදෙනාගේ මෙරට බාරකරු ද අත්අඩංගුවට ගෙන ඇත. එම ත්‍රස්තයන් සිවුදෙනාගේ නිවාස පරීක්ෂාවට ලක් කළ බව සඳහන් විය. 

මෙසේ ක්ෂණිකව ක්‍රියාත්මකවීම අතිශයින්ම වැදගත් ය. එමෙන්ම මේ  සම්බන්ධ අවධානය අඛණ්ඩව පවත්වාගෙන යාම ද වැදගත් ය. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ඉගෙනගත් පාඩම කිසි ලෙසකින් හෝ අමතක නොකළ යුතු ය.

වේළුපිල්ලේ ප්‍රභාකරන්ට මරාගෙන මැරෙන මිනිස් බෝම්බ නිර්මාණය කිරීමේ හැකියාව ලැබුණි. ආගමික උමතුව නිසා පාස්කු දින ප්‍රහාරකයන්ට තම ජීවිත පුපුරවා ගැනීමේ මෝඩ ශක්තිය ලැබිණි. ‘මොළ සේදීමෙන් ’ ඕනෑම අයකු එම තත්වයට පත්කර ගත හැකි බව පැහැදිලි ය. එහෙයින් මෙම තත්වය සරළව ගත යුතු නැත.

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම යනු තවත් ජාතිකත්වයක් පීඩාවට පත් කිරීමකැයි වරදවා වටහා නොගත යුතු ය. එහෙත් එබඳු වලංගු නැති තර්ක මතු කරන පණ්ඩිතයෝ සිටිති. ඒවායින් සිදුවන්නේ ජාතික ආරක්ෂාව සම්බන්ධ මෙහෙයුම් අඩපණවීම ය. එබදු අත්දැකීම්  අප සමාජය සතුව අපමණ තිබේ.

අයි.එස්. සංවිධානයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් සිවුදෙනා ඉන්දියාවේ කොටුවන තුරුම ඒ සම්බන්ධ  තොරතුරු  අනාවරණය කර ගැනීමට අසමත්වීම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකළ යුතු ය. අපට අවධාරණය කිරීමට තිබෙන්නේ ‘අවදානමට වඩා සූදානම ඉතා වැදගත්’ බව ය.

(***)