ජාතිවාදය ප්‍රතික්ෂේප කළ ජනතාව දෙසත් බලන්න


යාපනයෙන් මැතිසබයට පැමිණි ශ්‍රීලනිප මන්ත්‍රී අංගජන් රාමනාදන්ටත් නැගෙනහිර පළාතෙන් ජාතිවාදය ප්‍රතික්ෂේප කරමින් නොයෙකුත් බාධක මැද මැතිසබයට පැමිණි ඒ.එල්.එම්. අතාවුල්ලා මන්ත්‍රීවරයාටත් ඇමැතිකම් දිය යුතු යැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පසුගියදා ප්‍රකාශ කළේය. වීරවංශ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හවුල්කාර පක්ෂයක් වන ජාතික නිදහස් පෙරමුණේ නායකයාය. වත්මන් ජනාධිපතිවරයාත්, නව රජයත් බලයට ගෙනඒමට මුල සිටම ප්‍රබල ලෙස දායකත්වය සැපයූ විමල් වීරවංශ මහතා මෙරට ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් වෙයි. එවැනි අමාත්‍යවරයකු විසින් කරන ලද දේශපාලන වශයෙන් වැදගත් ප්‍රකාශයක නිසි අර්ථය වටහා ගැනීම අවශ්‍ය බව අපි විශ්වාස කරමු.

අමාත්‍යවරුන් පත්කිරීම හෝ අස් කිරීම අපගේ කාර්යයක් නොවේ. ඒ පිළිබඳ සියලු‍ තීන්දු තීරණ ගනු ලබන්නේ ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් විසිනි. ඇමැතිවරුන් එම ධුරවලට පත්කිරීම ඒ දෙදෙනාගේ එකඟත්වය මත සිදුවෙයි. විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් සිදුකර ඇති ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ ජනාධිපති සහ අගමැතිගේ බලතලවලට ඇඟිලි ගැසීමක් හෝ එහි හරි වැරදි පෙන්වාදීමක් හෝ නොවේ. උතුරෙන් සහ නැගෙනහිරින් ජාතිවාදය ප්‍රතික්ෂේප කරමින් ඒ මන්ත්‍රීවරුන් දෙදෙනාට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා තම කැමැත්ත ප්‍රකාශ කළ ජනතාවට සැලකීම රටේ යුතුකම යැයි පෙන්වාදී ඇති බවය. ජාතිවාදය ප්‍රතික්ෂේප කරමින් ජනතාව විසින් පෙන්වා දී ඇති එම ප්‍රවණතාවට ජීවයක් දිය යුතු යැයි වීරවංශ ඇමැතිවරයා එහිදී කියා ඇත්තේද එබැවිනි.

ජාතිවාදී දේශපාලනය විසින් මේ රටට සිදුකර ඇති විනාශයේ තරම කවදාවත් ගණන් හදා පෙන්විය හැකි යැයි අපි කිසිවිටෙකත් නොසිතමු. ඒ විනාශය එතරම්ම බරපතළය. වසර 30කට ආසන්න කාලයක් පැවැති කුරිරු බෙදුම්වාදී යුද්ධය සිහිපත් කිරීම පමණක් මෙහිදී සෑහෙනු ඇත. එවැනි තත්ත්වයකට රට යොමුකිරීමේ ප්‍රධානම වැරැද්ද කළේ උතුරේත් දකුණේත් දේශපාලන නායකයන් විසින් බව යළි යළිත් කිව යුතු නැත. ඒ හරහා උතුරේත් දකුණේත් නායකයන් විවිධ තාවකාලික දේශපාලන ජයග්‍රහණ ලැබූ බවද නොරහසකි. එම පසුබිමේ රටේ පැවැති දෙමළ ජාතිවාදී දේශපාලනයට එරෙහිව දකුණේදී ඉතා ප්‍රබල හඬක් නැගූ දේශපාලනඥයකු වන විමල් වීරවංශ අමාත්‍යවරයා උතුරෙන් සහ නැගෙනහිරින් මැතිසබයට පැමිණි මන්ත්‍රීවරුන් දෙදෙනකුට ඇමැතිකම් ලබාදිය යුතු යැයි කරන ප්‍රකාශය මත නිසැකවම විශාල බරක් රැඳී තිබේ.  ඒ ගැන රටේ අවධානය යොමුවිය යුතුය.

මෙවර පැවැති මහ මැතිවරණයේදී උතුරෙන් සහ නැගෙනහිරින් ලැබුණු ප්‍රතිඵලය සම්බන්ධයෙන් බොහෝදෙනා විසින් විවිධ අර්ථකථන සපයා තිබිණි. ඒ සියලු‍ අර්ථකථන අතර එක් පොදු මතයක් තිබිණි. එනම් උතුරේ ජනතාව දකුණේ බලවත් සාම්ප්‍රදායික දේශපාලන පක්ෂයක් වූ ශ්‍රීලනිප අපේක්ෂකයකු මන්ත්‍රීවරයකු කරවීමට දක්වා ඇති කැමැත්ත, උතුරේ දේශපාලනයේ අලු‍ත් ප්‍රවේශයක් පෙන්නුම් කරන බවය. ඒ ගැන විමල් වීරවංශ ඇමැතිවරයා කියා තිබුණේ උතුරේ දෙමළ ජනතාව පවතින ජාතිවාදී දේශපාලනය කොතරම් ප්‍රතික්ෂේප කරන්නේද යන්න ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රීලනිපයට උතුරෙන් ආසනයක් දිනාගැනීමට හැකිවීමෙන් පෙනීයන බවය. එසේ නම් එවැනි රටට යහපත් ප්‍රවේශයක් ගෙන තිබූ උතුරේ ජනතාවට සුබවාදී ලෙස ප්‍රතිචාර දැක්වීම දකුණේ නායකයන්ගේ යුතුකමකි. වගකීමකි.

මෙහිදී වැදගත් වන්නේ රාමනාදන් හෝ අතාවුල්ලා හෝ නොව උතුර සහ නැගෙනහිර දෙපළාතේ ජනතාව විසින් පෙන්වා ඇති වෙනස්වීමට තිබෙන කැමැත්තය. ඔවුන්ට ප්‍රශ්න නැතුවා නොවේ. සංසන්දනාත්මකව බැලු‍වොත් දකුණේ බොහොමයක් ප්‍රදේශවල සංවර්ධනයට වඩා උතුරේ සංවර්ධනය පවතින්නේ අඩු මට්ටමකිනි. පානීය ජලය පමණක් නොව රැකියා හිඟය පවා එම පළාතේ බරපතළ ගැටලු‍ය. නැගෙනහිර පළාත පිළිබඳව ඒ ආකාරයටම පැවසිය නොහැකි වුවද එම පළාතේද ගැටලු‍ අඩු නැත. එම ප්‍රදේශයේ පවතින ඇතැම් අන්තවාදී අදහස් දරන දේශපාලනඥයන් අතරේ ඒ.එල්.එම්. අතාවුල්ලා වෙනස් චරිතයකි. ඔහු පාර්ලිමේන්තුවට සුදුසු යැයි තීරණය කර ඇත්තේ නැගෙනහිර ජනතාවය. එම තීරණය මගින් ඒ පළාතේ ජනතාව පෙන්වා දී ඇත්තේද තමන්ගේ නියෝජිතයා අන්තවාදී ජාතිවාදී අදහස් දරන්නකු වීම අවශ්‍ය නොවන බවය. එය ජනතාවගේ විශ්වාසය නම් එම විශ්වාසය වඩාත් තහවුරු වන ආකාරයට කටයුතු කිරීම රජයේ වගකීමය.

මෙතෙක් කාලයක් උතුරේ ජනතාව නියෝජනය කිරීමේ වැඩිම බරක් දැරුවේ ද්‍රවිඩ ජාතික සන්ධානයයි. මෙවර සමස්ත ලංකා දමිළ කොංග්‍රසය (ATIC) සහ දෙමළ මහා සභාව (TMTK) මන්ත්‍රීවරු තිදෙනෙක්ද උතුරෙන් පත්ව සිටිති. ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ සී.වී. විග්නේෂ්වරන් දෙදෙනා පිළිවෙළින් එම පක්ෂ දෙකේ නායකයෝ වෙති. මේ දෙදෙනාම දැඩි ජාතිවාදී අදහස් දරන දේශපාලනඥයන් වශයෙන් ප්‍රසිද්ධය. විග්නේෂ්වරන් මහතා පාර්ලිමේන්තුවේ සිදුකළ පළමු කතාවේදීම තම ජාතිවාදී අදහස් මතුවන ආකාරයට කතා කළ බව රටම දැක ගත්තේය. බ්‍රිතාන්‍යයේ මුල් බැසගෙන සිටින ගෝලීය දෙමළ සංසදය ප්‍රකාශ කර තිබුණේ ද්‍රවිඩ ජාතික සන්ධානයට අමතරව නව පක්ෂ දෙක සමඟද තමන් සහයෝගයෙන් කටයුතු කිරීමට අදහස් කරන බවය. මේ වර්ධනය වන තත්ත්වය විමල් වීරවංශ මහතාගේ යෝජනාවට තවත් වටිනාකමක් එකතු කර තිබේ.

(***)