සාමාන්‍යයෙන් අපේ රටේ පොල් මිල ඉහළ යන්නේ නොවැම්බර් මාසයේය. එහෙත් තවම සැප්තැම්බර් වුවද මේ දිනවල පොල් ගෙඩියක මිල ගණන් අසන පාරිභෝගිකයාට එලොව පොල් පෙනුණොත් ඒ ගැන පුදුම විය යුතු නැත. ඒ තරම් පොල් ගෙඩියක මිල ඉහළ ගොස් තිබේ. ඇතැම් තැනක පොල් ගෙඩියක මිල රුපියල් 95 දක්වා මිලකට අලෙවි වන අතර සාමාන්‍ය වශයෙන් රුපියල් 80කට අලෙවි වන බව සඳහන් කිරීම වඩාත් සාධාරණය.
පොල් ගෙඩියේ මිල මෙසේ සඳහන් කළේ මේ දිනවල දිගින් දිගටම ඉහළ යමින් පවතින බඩු මිලේ රඟ කියාපෑමේ එක් උදාහරණයක් හැටියට පමණි. පාලන මිල හේතුවෙන් කැකුළු සහල් මිල රුපියල් 98 සීමාවේ රැඳී තිබුණද එම මිලද පැවැති මිලට වඩා ඉහළ මිලක් බව පෙන්වා දිය යුතුය. පාලන මිලට පිටින් රුපියල් 170 දක්වා මිල ගණන්වලටද සහල් අලෙවි වන බවත් සඳහන් කළ යුතුය. ඒ මතු නොව සියලුම එළවළු මිල ඉහළ යමින් පවතී. මාළු මිල ගණන්ද එසේමය. කුකුළු මස් සහ බිත්තර මිල පිළිබඳව පවතින්නේද එවැනි තත්ත්වයකි. පොල්තෙල් බෝතලයක මිල රුපියල් 320ද ඉක්මවා ගොසිනි. පරිප්පු සහ අල පමණක් දරාගත හැකි මිල මට්ටමේ පැවතුණත් ලොකු ලූනු මිලද ඉහළ ගොස් තිබේ. කහ පිළිබඳව කතා කිරීමත් නිෂ්ඵලය.
එළවළු, මාළු, පොල් පමණක් නොව සෙසු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන්ද පවතින්නේ ඉහළ මට්ටමක බව බැලූ බැල්මට පෙනී යයි. එසේ මිල ඉහළ යාමට හේතු දක්වමින් අවශ්‍ය තරම් නිවේදන නිකුත් කිරීමට රජයට හැකියාව තිබේ. එහෙත් මෙලෙස හේතු දැක්වීමෙන් ජනතාවගේ දුක නිවෙන්නේ නැත. කොරෝනාව හේතුවෙන් ආදායම් මාර්ග පවා කඩාබිඳ වැටීමෙන් බොහොමයක් දෙනා ජීවත් වන්නේ අපහසුවෙනි. ඔවුන් ගමන යා යුත්තේ දැඩි ආර්ථික දුෂ්කරතා මැදිනි. ඇතැමුන්ට තමන්ගේ රැකියාවලින් ලැබෙන වැටුප පවා අඩුවී තිබේ.
අතිකාල සහ වෙනත් දීමනා, දිරිදීමනාද ඇතුළුව සියලු ගෙවීම් තදින්ම සීමාකර තිබීම නිසා වැඩි දෙනකුට මාසේ අන්තිමට ලැබෙන්නේ පත අට එකට සිඳුවාගත් බෙහෙත් කසායක් වැනි කොටසකි. ඒ පිටට එදිනෙදා වියහියදම් මෙසේ ඉහළ නැගීම ඔවුන්ට ඔරොත්තු දෙන්නේම නැත. එහි එකම ප්‍රතිඵලය කුසට වැටෙන ආහාර ප්‍රමාණය ශීඝ්‍රයෙන් අඩුවීම පමණි. වැඩිවෙන ජීවන වියදමට තාවකාලික හෝ පිළියමක් යෙදීම අත්‍යවශ්‍ය වී තිබෙන්නේ මේ තත්ත්වය හේතුවෙනි.
කාලගුණයේ අයහපත් හැසිරීම සහ පොහොර හිඟය එළවළු මිල මේ තරම් ඉහළ යාමට හේතු වී ඇතැයි සමහරු ප්‍රකාශ කරති. එහෙත් පසුගිය වසරේ මේ කාලයට වඩා එළවළු මිල ගණන් ඉහළ ගොස් තිබෙන බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. රජයේ වෑයම විය යුත්තේ එළවළු ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය මිල ඉහළ යාමට හේතු පහදා දීම නොව එම වියදම් අඩුකිරීම සඳහා ප්‍රායෝගික විසඳුම් සපයා දීමය. බිත්තර මිල රුපියල් දෙකකින් අඩුකිරීම වුවද මාධ්‍ය ප්‍රකාශයකට පමණක් සීමා වී තිබීම මීට හොඳම උදාහරණයකි. රුපියල් 20 සිට 28 දක්වා වැනි මිලකට ඉහළ ගොස් ඇති බිත්තරයක මිල රුපියල් දෙකකින් අඩුකිරීමට අග්‍රාමාත්‍යවරයා ඉදිරියේ පොරොන්දු වීම බිත්තර නිෂ්පාදකයන් තම ඉල්ලීම් දිනාගැනීමට සිදුකළ පොඩි ‘‘ජිමික්’’ එකක් බව අපගේ වැටහීමය. ජනතාවට අවශ්‍ය වන්නේ සුළු මුදලක් වැයකොට ලබාගත හැකි ඉහළ පෝෂණ ගුණයක් සහිත ආහාරයක් වන බිත්තර තමන්ට දැරිය හැකි සීමාවේ රැඳෙනු දැකීමය. රජය කළ යුතු වන්නේ ජනතාවගේ එම අවශ්‍යතා ඉටුකර දීමය.
එළවළු මිල වරින්වර ඉහළ යාමට ලොකුම හේතුවක් වශයෙන් දැක්වෙන්නේ නිසි ක්‍රමවේදයකට අනුව ඒ ඒ කාලයට අවශ්‍ය පරිදි නිෂ්පාදනය සිදු නොවීම බව සමහරු පෙන්වා දෙති. අවශ්‍ය කාලයට පොහොර නොලැබීමද එක් හේතුවකි. එසේම එකම බෝගයක් හෝ කිහිපයක් ගොවීන් විශාල සංඛ්‍යාවක් විසින් වගා කරනු ලැබීම හේතුවෙන් අතිරික්ත අස්වැන්නක් ලැබීමත් එම අස්වනු පසුකාලීනව වෙළෙඳපොළට යැවීමට හැකිවන සේ නරක් නොවී නැවුම්ව තබාගැනීමට අවශ්‍ය ශීතාගාර සහිත ගබඩා පහසුකම් නොතිබීමත් මේ ගැටලුව සංකීර්ණ තත්ත්වයට ඇද දමා තිබේ. ඒ ඒ කාලයට වගා කළ යුතු එළවළු පිළිබඳව රට පුරා සිටින ගොවීන් දැනුම්වත් නොකිරීමේ අඩුපාඩුවද මේ තත්ත්වයට තදින්ම බලපා ඇත. විෂය භාර අමාත්‍යවරුන්ගේ අවධානය මේ කරුණු කෙරෙහි යොමුවීම අවශ්‍යමය. පොහොර වෙලාවට නොලැබීම, ගබඩා පහසුකම් නොතිබීම, එකම බෝගයක් වවා සියලු දෙනා අමාරුවේ වැටීම වැනි ගැටලුවලට අපි හැමදාමත් මුහුණදෙමින් සිටින්නෙමු. එහෙත් එම ගැටලුවලට ඇත්තේ තාවකාලික විසඳුම් පමණක් බව අතීත උදාහරණ අපට පෙන්වා දෙයි. එළවළු මිල ගණන් රටේ ස්ථාවර තත්ත්වයක පැවැතීමට නම් තාක්ෂණික කාරණා සම්පූර්ණ විය යුතුය. ඒ ගැන ගොවීන් දැනුම්වත් කිරීමද අවශ්‍යය.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන් මෙසේ වරින් වර ඉහළ යාම මේ රටේ සදාකාලික ප්‍රශ්නයක් නොවිය යුතු බව සඳහන් කළ යුතුය. ප්‍රතිපත්තියකට අනුව පොහොර ගෙන්වා බෙදාහැරීම, එළවළු වගාවට නිසි තාක්ෂණයක් යටතේ ගොවීන් යොමුකිරීම සහ අස්වැන්න නෙළාගැනීමෙන් පසුව එයට වෙළෙඳපොළ සකස් කර දී අතිරික්තය ගබඩා කිරීමටත් වැඩපිළිවෙළක් සැකසිය යුතුය. එසේ නොවන තාක් රටේ ජනතාවටත් ගොවීන්ටත් සිදුවනු ඇත්තේ එලොව පොල් ගණන් කරමින් සිටීමට පමණි.
(***)