ටියුෂන් පංතියට නාවයි සිසුවියට පහරදුන් නරුම ගුරා


බරපතළ ලෙස විභාගයට ගත යුතු තරමට සමාජය තුළ සාරධර්ම අභාවයට යමින් තිබේ. සමාජයේ කිසිදු කොට්ඨාසයකට තමන්ගේ යහපැවැත්ම ආරක්ෂා කරගත  නොහැකි තරමට තත්ත්වය ඉතා සැහැසි වෙමින් පවතින බව එකක් පසුපස එකක් වශයෙන් වාර්තා වන සිදුවීම් වලින් පැහැදිලිවේ.

සමාජයේ යහපැවැත්ම ආරක්ෂා කර ගැනීමේ මෙහෙයුමේදී පුරෝගාමී  මෙහෙවරක් ඉටු කළ යුතු සමාජ සංස්ථා රැසක් තිබේ. ආගමික සංස්ථා ඉන් ප්‍රධානය. ගුරු ප්‍රජාව ද ඉදිරියෙන්මය. නීතියේ විධානය පවත්වාගෙන යා යුතු ආයතන ද එසේමය. බලගතු ආදර්ශය සැපයිය යුතු දේශපාලන ක්ෂේත්‍රය සතුවද බලවත් වගකීමක් තිබේ. 

‘විශේෂිතය සමස්තය නොවේ’  යන්න ඒකාන්ත සත්‍යයකි. එහෙත් දුරාතීතයේ ‘විශේෂත්වය’ වර්තමානයේ ‘සමස්තය’ බවට පත් වෙමින් තිබෙන සෙයකි. සාරධර්ම නොතකා රුපියල් ශත ලුහුබඳින සමාජයකට අනිවාර්යයෙන්ම ගොදුරුවීමට සිදුවන ඉරණම වෙත අපගේ රට වේගයෙන් පැමිණෙමින් තිබේ. ඒ බව පසක් කෙරෙන ප්‍රවෘත්තියක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.

අප පුවත්පත වාර්තා කළ එම ප්‍රවෘත්තියේ සිරස්තලය වූයේ ‘ටියුෂන් පංතියට නාවැයි වේවැල් 5කින් සිසුවියට ගැසූ ගුරා ලෙඩ වී කියා රෝහලේ. මවුපියන්ගෙන් චෝදනා’ යනුවෙනි.

පළමුවෙන්ම අවධාරණය කළ යුතු කාරණයක් තිබේ. එනම් ‘ගුරු දෙව්වරු’ ලෙස ආඩම්බරයෙන්, ගෞරවයෙන් වන්දනාමාන ලබන සාතිශය බහුතරයක් ගුරුවරු අප සමාජයේ සිටිති.

පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ සාපිපාසිතව සහිතව පාසලට පැමිණෙන දරුවාට බත්පත කන්නට දී නිරාහාරව ඉගැන්වීම් කටයුතුවල යෙදෙන ගුරුවරු අපමණ වෙති. වසංගත මෙන්ම වැඩ වර්ජන ආදිය නිසා අඩාල වූ ඉගැන්වීම් කටයුතු සම්පූර්ණ කිරීම සඳහා සත පහක් අය  නොකර සිටිද්දී ස්වේච්ඡාවෙන්ම ඉගැන්වීම් කටයුතුවල නිරත ගුරුවරුද එසේම වෙති. අලි ගහන මහ මූකලන් මැද පිහිටි පාසලේ හැකි පමණින් ආරක්ෂක විධිවිධාන යොදාගනිමින් රාත්‍රියේදී ඉගැන්වීම් කටයුතුවල යෙදුණු ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට අදාළ ප්‍රවෘත්ති මහා ගෞරවයකින් යුතුව ඉහළින්ම අප  පුවත්පත වාර්තා කළේ වරක් දෙවරක් නොවේ. ඒ මහා ගුරු දෙවිවරුන් අතර ‘ගුරුවරයා’ යන නාම පදයට ද නිගරුවන සේ හැසිරෙන ගුරු අපතයෝද සිටිති. ඉහත ප්‍රවෘත්තියෙන් කියැවෙන්නේ එබඳු ගුරු අපතයකු පිළිබඳවය.

හැටන් ප්‍රදේශයේ ප්‍රධාන දමිළ පාසලක ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරණ 13 වසරේ සිසුවියකට තමන්ගේ උපකාරක පංතියට සහභාගි නොවී යැයි චෝදනා කරමින් එම ගුරුවරයා පහරදී ඇතැයි අප ප්‍රවෘත්තියේ සඳහන්ය. එසේ පහරදී තිබෙන්නේ වේවැල් පහක් එකතු කර සාදාගත් මුගුරකින් යැයි එම සිසුවියගේ මව සහ පියා චෝදනා කරති. එම පාසලේම ගුරුවරුන් පිරිසක් අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ පහර කෑමට ලක්වූ එම සිසුවිය අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී ඒ සාමාර්ථ 9ක් ලබාගෙන එම පාසලේම ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළට ඉගෙන ගන්න දක්ෂ සිසුවියක බවය.

ඇතැම් පාසල් ගුරුවරුන් නියමිත පරිදි ඉගැන්වීම් කටයුතු කරන්නේ තමන්ගේ පෞද්ගලික උපකාරක පංතියේදී බවට චෝදනා නැගුණේ අදක ඊයෙක නොවේ. එමෙන්ම පාසලට  පැමිණ පැමිණීමේ ලේඛනයේ අත්සන් යොදා උපකාරක පංති සඳහා පිටව ගිය ගුරුවරුන් සම්බන්ධයෙන්ද පුවත් පළවිය. උපකාරක පංති පවත්වා අමතර ගතමනාවක් සොයා ගැනීම වැරැදි ක්‍රියාවක් නොවුවත් පාසලේ දරුවන්ට තම උපකාරක පංතියට සහභාගිවීම අනිවාර්ය කිරීමත් එසේ පැමිණීම සඳහා නොයෙක් ආකාරයෙන් බලපෑම් කිරීමත් ඉතාම අශෝභන මෙන්ම අශිෂ්ට ක්‍රියාවකි. මෙම ක්‍රියාවලිය වර්තමානය වන විට ශාරීරික වදහිංසා පැවැත්වීම දක්වා වර්ධනය වී තිබේ. ප්‍රශ්නය වනුයේ හෙට දවසේ කුමක් වේද යන්නය.

පාසලේ ගේට්ටුවෙන් ඇතුල් වූ පසු දරුවා සම්බන්ධ සමස්ත වගකීම  ගුරුවරයා සතුය. එහිදී දරුවාගේ අකීකරුකම්, දඩබ්බරකම් ඉදිරියේ දරුවෝ එමගින් මුදා ගැනීමේ අදිටනින් යුතුව විවිධ දඬුවම් ලබාදීම ගුරු වෘත්තියේම කොටසක් බවට පත්ව තිබිණි. ආචාර සම්පන්න බවින් මෙන්ම වෘත්තිය අභිමානයෙන් හා සංයමයෙන් යුතු එබඳු දඬුවම් දරුවා මරාගෙන කෑමක් නොවේ. එහෙත් වර්තමානය වනවිට ගුරු ආචාර ධර්ම බරපතළ ලෙස නාය ගොස් තිබේ.

ගුරුවරුන්ගේ වෘත්තීය සමිති බොහොමයකි. එහෙත් මෙම වෘත්තීය සමිති ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ආදිය සම්බන්ධයෙන් කතා කරනු විනා ගුරුවරුන්ගේ ආචාර ධර්ම ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අවධානයක් යොමු කර ඇති බවක් නොපෙනේ. මෙම පරිහානියට ගුරු වෘත්තිය සමිතිද වගකිවයුතු වන්නේ එහෙයිනි.

(***)