බොහෝ දුෂ්කර කාල පරිච්ඡේදයක් ගෙවා දැමීමට මෙරට ජනයාට සිදු වී තිබේ. සැණකෙළි සිරි මරාගෙන ආර්ථික ගිනිකෙළි මතු වී තිබේ. නව කොවිඩ් ප්‍රභේදයක් සම්බන්ධ භීතිය දනවනසුළු පුවත් එක් අතකිනි. ඩෙංගු මාරයා දත් විළිස්සාගෙන ජන ජීවිතය සිය සැහැසි ග්‍රහණයට ගැනීමට උත්සාහ දැරීමේ පුවත් තවත් අතකිනි.
අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේ ඩෙංගු උණ රෝගය වැළඳී රෝහල්ගත කළ යාපනය විශ්වවිද්‍යාලයේ සිසුවියක ජීවිතක්ෂයට පත්ව ඇති බව රෝහල් බලධාරීන් ප්‍රකාශ කරන බවය. යාපනය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ තෙවැනි වසර ඉගෙනුම ලැබූ ගුණරත්නම් සුඛීතා නමැති සිසුවියක මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බවද එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.
සංඛ්‍යා ලේඛනවලින් ලැබෙන ඉඟි කිසිසේත්ම යහපත් නැත. මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට ඉකුත් දෙසැම්බර් 26 වැනිදා වන විට හමුවී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 85619 කි. එයින් 50 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද වාර්තා වේ. මෙම සංඛ්‍යා ලේඛනවලින් අපගේ හිසට ඉහළින් ළඹදෙන මරණයේ අනතුර එයට හිමි නිසි බරින් හඳුනාගත යුතුය.
එක් අතකින් අපගේ සෞඛ්‍ය සේවාව පවතින්නේ ඉතාම රෝගි තත්ත්වයේය. එක් අතකින් අවශ්‍ය තරම් ඖෂධ නැත. ඖෂධ උපකරණ ද නැත. කෝටි ප්‍රකෝටි ගණනින් වියදම් කර ආනයනය කර ඇත්තේත්, ආනයනය කරන බවට පවසා මෙරට තහඩු මඩුවල නිෂ්පාදනය කර තිබෙන්නේත් බාල ඖෂධ වේ. ජාවාරම්කාර මාෆියාකරුවන්ගේ තිප්පොළක් බවට සෞඛ්‍ය ක්ෂේත්‍රය පත්වී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා ඇතුළු ප්‍රබලයෝ කිහිප දෙනෙක් බාල ඖෂධ ගෙන්වීමේ චෝදනාවට සැකපිට බන්ධනාගාරගතව සිටිති.
මෙම පරිසරය තුළ ‘ලෙඩවීම’ යනු කිසිදා සමාවක් නැති වරදකි. එහෙත් ඩෙංගු මාරයාට ඒ සම්බන්ධයෙන් වගේ වගක් නැත. අප විසින්ම තනා දෙන තවාන්වල ද අපගේ නොසැලකිලිමත්කම නිසා ඉදිවූ තවාන්වල ද ඩෙංගු මදුරුවෝ පිණුම් ගසති. විනාශය, ගෙවත්ත පැන නිවෙසටම ඇතුල්වන තුරු ඇතැම් පුරවැසියෝ බලා සිටිති.
ඇදහැළුණු අනෝරා මහ වැසිවලින් පසුව වසංගත තත්ත්වයක් උද්ගත විය හැකි යැයි තේරුම් ගැනීමට අමුතු නුවණක් ඇවැසි නොවේ. එහෙත් බලධාරීන් එම අනතුර සම්බන්ධයෙන් ප්‍රමාණවත් මට්ටමින් සක්‍රිය වූයේ ද යන්න විමසිය යුතුය. ජනතාව ද තමා කරා පැමිණීමට නියමිත උපද්‍රවය සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් කටයුතු කරන බවක් පෙනෙන්නට නැත. ප්‍රතිඵලය වී තිබෙන්නේ විනාශයේ වගුර තව තවත් පුළුල් වීමය.
මෙම මාරක උපද්‍රවය හමුවේ තමාට පමණක් ගැලවුමක් ඇතැයි සිතන්නේ නම් එය බරපතළ වරදකි. එහෙත් ඇතැමකු එසේ සිතා කටයුතු කරන බවක් පෙනෙන්නට තිබේ. තම නිවෙස හා ගෙවත්ත පමණක් පිරිසුදු කර එම ටින් බෙලෙක්ක ඇතුළු කැළිකසළ අල්ලපු වත්තට වීසි කරති. නොඑසේ නම් මහ පාරට දමති. එයින් තම දූ දරුවන්ගේත් තමන්ගේත් ජීවිත ආරක්ෂා වෙතියි ඔවුහු සිතති.
එළැඹ ඇත්තේ සියලු ජනයා අවදි කරගත් මහා මිනිස් අනුරාගයෙන් පණ පෙවී ඩෙංගු මදුරුවා ඇතුළු සියලු වසංගතවලට එරෙහිව මහා ක්‍රියාන්විතයක් බලමුළු ගැන්විය යුතු තීරණාත්මක හෝරාවකි. එය වටහා නොගන්නේ නම් සිදුවනු ඇත්තේ අවිරෝධීව සුසාන භූමිය කරා කරබාගෙන ගමන් කිරීමට ය.
(***)