ත්‍රස්ත පන්නයේ වැඩ වර්ජනයක්


සෑම පුරවැසියකුටම අයිතිවාසිකම් තිබෙන්නා සේම ඔහු පෙරළා ඉටු කළ යුතු යුතුකම් සම්භාරයක් ද තිබේ. අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා අවශ්‍ය වන්නේ පමණට වඩා ආත්මාර්ථකාමී වීමය. යුතුකම් ඉටු කිරීම සඳහා සාමුහික විචාර බුද්ධියත් මානව ප්‍රේමයත් දේශනුගාරයත් ඇවැසිය. රටට වැඩක් ඇති මිනිසකු වන්නේ එමගිනි. අප රටට හිඟ එබඳු මිනිසුන්ය.

මිනිසුන් ගල ග්‍රහණයෙන්  ගෙන තම අයිතිවාසිකම් දිනා ගැනීම සමාන කළ හැක්කේ ප්‍රභාකරන් මාදිලියටය. ප්‍රභාකරන් තිස් වසරක් පුරා ආයුධ සන්නද්ධ අරගලයක් මෙහෙය වූයේ උතුරේ හා නැගෙනහිර සාමයට ලැදි ජනයා පළිහක්ව තබා ගෙනය. හමුදාවට ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට අසීරු වූයේ එහෙයිනි. ඇතැම් වෘත්තීය සමිති ද තම ඉල්ලීම් ඉටුකර ගැනීමට ප්‍රභාකරන් මාදිලියම යොදා ගන්නා සෙයකි. ඉකුත් බදාදා මධ්‍යම රාත්‍රි 12ට ආරම්භ කෙරුණු දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනය එබන්ඳකි. මෙම වැඩ වර්ජනය ඊයේත් ඒ ආකාරයට ක්‍රියාත්මක විය.

රටේ දුරබැහැර සිට ලක්ෂ ගණනක් ජනයා රැකියාව පිණිස කොළඹ එති. එම ජනයාගේ ප්‍රධානම ප්‍රවාහන පහසුව දුම්රිය වේ. ඒ එම දුම්රිය මැදිරිවල ඇති සුඛෝපභෝගී පහසුකම් නිසා නොව ඉක්මනින් යාමට ඒමට ඇති හැකියාව නිසාය. සිය ගණන් ජනයා අතර තෙරපෙමින් අනේකවිද දුක් ගැහැට විඳිමින් වුවද වැඩ කරන ජනයා දුම්රියෙන් යමින් එමින් රටේ  ආර්ථිකයට තම දායකත්වය සපයති. එම ජනයා දුම්රිය ස්ථානවල අතරමංවීම යනු එම ජනයාට සිදුවන පෞද්ගලික පාඩුවක් පමණක් නොව රටේ ආර්ථිකයට ද බලවත් පාඩුවකි.

වැඩ වර්ජන යනු වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවල අවසන් අදියර වේ. පළමුව තම ඉල්ලීම් බලධාරීන්ට ඉදිරිපත් කළ යුතුය. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතුය. සාකච්ඡා ඵල නොදරන්නේ නම් වැඩ වර්ජනයට යන බව නිවේදනය කළ යුතුය. එවිට බලධාරින්ට මෙන්ම ජනතාවට ද එයට සූදානම් විය හැකිය.

කරණු කාරණා එපරිදි වුවද දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජන තීන්දුව ගෙන තිබුණේ යක්කු ගස් නගින මැදියම් රැයේදීය. ඒ බවක් නොදත් ජනයා හිමිදිරියේ දුම්රිය ස්ථානවලට පැමිණියහ. අතරින් පතර දුම්රියක් ධාවනය වුවද එම මහ සෙනගට එය ප්‍රමාණවත් නොවීය. අනුමත කළ නොහැකි වුවද ලෙයින් මසින් වැඩුණු මිනිසුන්ට එය ආවේගයට හේතුවකි. මහනුවර දුම්රිය ස්ථානයේ දී දුම්රිය මගීන්ගේ එම ආවේගය පුපුරා ගියේය.

අප පුවත්පත වාර්තා කළ ආකාරයට ඉකුත් 12 වැනිදා රාත්‍රියේ කොළඹ සිට මඩකලපුව දක්වා ධාවනය වෙමින් තිබු මීනගයා දුම්රිය කැකිරාව දුම්රිය ස්ථානයෙන් ධාවනය අත්හිටුවා තිබේ. එයට විරෝධය පළ කළ පිරිසක් එම දුම්රියට ගල් මුල් වලින් පහර දී හානිකර තිබේ. කැකිරාවෙන් ඔබ්බට දුම්රිය ධාවනය කිරීම අත්හිටුවන විට වේලාව රාත්‍රී 11.50ට පමණ වූ බව අප පුවත්පත වාර්තා කළේය. එබඳු වේලාවකදී දුම්රිය පොළක එසේ අතරමංවීම මිනිසුන් විඳදරා ගත යුත්තේ කෙසේද? එමෙන්ම එබඳු නපුරු හා දුක්ඛිත අත්දැකීම්වලට මෙරට ​පොදු ජනයා මුහුණ දිය යුතුද?

 

අප රටට විදේශ විනිමය රැගෙන එන ප්‍රධාන මාර්ගයක් වනුයේ සංචාරක ව්‍යාපාරය වේ. එහෙයින් එයට නිර්බාධක පරිසරයක් තිබිය යුතුය. සංචාරක  පාරාදීසයක් වන අප රටට බොහෝ සංචාරකයෝ පැමිණෙති. ඔවුන්ට අවශ්‍ය වනුයේ සුවදායි ගමනාන්තයකි. රටේ අසිරි සිරිය නැරඹීම සඳහා දුම්රියෙන් ගමන් කිරීමට ඔවුහු ප්‍රිය කරති. ඔවුන්ගේ සංචාරය සැලසුම් වන්නේ ද ඒ අනුවය. දුම්රිය ප්‍රවේශ පත්‍ර වෙන්කර ගනු ලබන්නේ සංචාරක ආයතන මගින් ඔවුන් මෙරටට ඒමට පෙරය. එසේ පැමිණෙන සංචාරකයන්ට මහ රෑ දුම්රිය ස්ථානවල අතරමංවීමට සිදුවුවහොත්  අප රට සම්බන්ධයෙන් ඔවුන්ගේ සිතීම කුමක් විය හැකිද? එබඳු කඨෝර අත්දෑකීම් ලබා සිය රටට ගිය පසු ඔවුන් අප රට සම්බන්ධයෙන් කතා කරනු ඇත්තේ කෙසේද යන්න සිතා ගැනීමට අසීරු නැත. ඒ කතා අසන කිසිවකු මෙරටට ඒමට සිත් හදා ගනු ඇද්ද යන්න විමසිය යුතුය.

 

අප රටේ ජනතාව ජීවත්වන්නේ බොහෝ බාධක කරදර මැදය. දෙවසරකට වඩා වැඩි කාලයක් මුළුල්ලේ කොවිඩ් මාරක වසංගතයෙන් ජනයා පීඩා විඳිති. ආර්ථික ප්‍රශ්න ඉහටත් උඩින්ය. මැරෙන්නට බැරි නිසා ජීවත්වන තත්ත්වයට ජනයා පත්ව සිටිති. එබඳු ශාපලත් පරිසරයක ජීවත්වන ජනයාගේ ​ෙගලෙන් අල්ලා සිරකර තබා ගනිමින් වෘත්තිය සමිති සිය ඉල්ලීම් ඉටුකර ගැනීමට උත්සාහ දරන්නේ නම් එබඳු නීච ක්‍රියා මිනිස් කසළ මෙන් පිටුදැකිය යුතුය. මහජනයා තළා පෙළා දැමීමට කිසිවකුට අයිතියක් නැත. වෘත්තීය සමිති නව සටන් මාදිළි හා ආකෘති සොයා යා යුතුව තිබේ. ඒ සඳහා අසමත් වන්නේ නම් එයින් ප්‍රදර්ශනය වන්නේ වෘත්තීය සමිතිවල පසුගාමීත්වය විනා අන් යමක් නොවේ.

(***)