තෙල් පෝලිම්: ගෑස් පෝලිම්! ජනතාවට උත්තර නැති ප්‍රශ්න


රට තිබෙන තැන තේරුම් ගැනීමට අමුතු නුවණක් අවශ්‍ය නැත. ‘‘තමන් හිසට තම අතමය සෙවණැල්ල’’ යන්න ජීවන දර්ශනය බවට පත් කර ගත යුතුව ඇත. පාලකයන් ජනතාව දෙස බලන බවක් පෙනෙන්නට නැත. මුළු රටම එදා වේල ටුවර්ස් එකක් බවට පත්ව ඇත. ඉන්ධන පෝලිම් එයට උදාහරණයකි. දිනක් දෙකක් අඩුවී තිබූ ඉන්ධන පෝලිම් යළිත් හැම නගරයකින්ම මතුවී තිබේ. ප්‍රශ්නයට දිගු කාලීන විසඳුම් ලබා දීමට පාලකයන් අසමත් බව ඔප්පු කර තිබේ.

‘අලි මදිවට හරක්’ කියා පැරණි කියමනක් තිබේ. එකක් පසුපස එකක් වශයෙන් මතුව ආ ප්‍රශ්න වගුරක ගිලී සිටින ශ්‍රී ලංකාව රුසියාව සමගද ප්‍රශ්න හදා ගත්තේය. ඉන්ධන අඩු මිලට ලබා ගැනීමට සාකච්ඡා කරමින් සිටින්නේ රුසියාව සමගය. අපගේ ප්‍රධානතම තේ ගැනුම්කරුවා වන්නේද රුසියාවය. එහෙත් ප්‍රශ්නයක් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විසඳා ගැනීමට දක්වන අසමත්කම මත මේ මොහොතේ රටට ලබා ගැනීමට ඇති අමතර වාසියද අහිමිව යයි. මේවාට වන්දි ගෙවීමට සිදුවන්නේ ජනතාවටය. ජනතාව දැනටමත් වන්දි ගෙවමින් සිටිති. බරපතළ ප්‍රශ්න මතුවන්නේ ඉදිරියටය. දැන් අප දකිමින් සිටින්නේ පෙරහැරේ ගිනි බෝල කරකවන්නන්ය.

‘‘සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා’ යනුවෙන් බුදුපියාණෝ දේශනා කළහ. එයින් කියැවෙන්නේ සියලු සත්වයන් ආහාරයෙන් ජීවත් වන බවය. මෙහි ඇති බරපතළම ඛේදවාචකය වන්නේ ජීවත් වීම සඳහා වෙනත් විකල්පයක්ද නොමැතිකමය. ආහාර හිඟ පාඩු වූ විට මන්ද පෝෂණයෙන් මිය යාමට ජනතාවට සිදුවේ. ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ලෝකයේ සෑම රටක්ම ප්‍රධාන අවධානය යොමු කරනු ලබන්නේ එහෙයිනි. එහෙත් එතැනදීද අප ගියේ රිවස් එකටය.

ප්‍රධාන කෘෂිකාර්මික යෙදවුම් දෙකක් වන රසායනික පොහොර හා පළිබෝධනාශක ගෙන්වීම එක රැයෙන් නතර කිරීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පියවර ගත්තේය. විද්‍යාත්මක හා ප්‍රායෝගික නොවන එම තීන්දුවෙන් මෙරට කෘෂිකර්මාන්තය වළපල්ලටම ගියේය. රසායනික පොහොර හා පළිබෝධනාශක වහාම නතර කිරීමට පෙර ඒවාට විකල්ප අවශ්‍ය තරම් ගබඩා කර ගත යුතුව තිබිණි. එහෙත් එවැන්නක් නැත. එමෙන්ම ගෙන්වන ලද කාබනික පොහොර ද තත්ත්වයෙන් බාල ඒවා බව ඔප්පු විය. එසේම තත්ත්වයෙන් බාල පොහොර නෞකාවක් ආපසු හරවා යැවීම නිසා වන්දි ගෙවීමට සිදු වූයේ අපටමය. රටේ ඉදිරි ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගැනීමට මෙම මතක ප්‍රයෝජනවත් වනු ඇත.

රසායනික පොහොර හා පළිබෝධනාශක ගෙන්වීම නතර කිරීම නිසා මහ කන්නයේ වී අස්වැන්න සියයට 50 කින් අඩු වී තිබේ. එමෙන්ම බඩ ඉරිගු අස්වැන්න සියයට 65 ත් 70ත් අතර ප්‍රමාණයකින් පහළ බැස තිබේ. අප රටට විදේශ විනිමය රැගෙන එන තේවලටද එම තහනම මාරාන්තික ලෙස බලපෑවේය. කෘෂි විශේෂඥයන් පවසන්නේ 2022 වසරේ මුල් කාර්තුවේ තේ අපනයනයෙන් ලැබුණු ආදායම එයට පෙර වසරේ සමාන්තර කාලයේ ලද ආදායම සමග සැසඳීමේදී ඩොලර් බිලියන 52 ක අඩු වීමක් බවය. රටට සිදුවී තිබෙන්නේ කුමක් දැයි ඉතා පැහැදිලිය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබුණේ අපගේ රටේ ආහාර ප්‍රමාණවත් වන්නේ සැප්තැම්බර් ඔක්තෝබර් තෙක් පමණක් බවය. මෙය ඉතා භයානක තත්ත්වයකි. ඉන්ධන නොමැති නම් නිවසට වී සිටිය හැකිය. ගෑස් නොමැතිනම් දර ළිපක් හෝ සොයාගත හැකිය. එහෙත් මහල් නිවාස වැසියන්ට එය කළ නොහැක. විදුලිය නොමැති නම් අඳුරේ හෝ කාලය ගෙවා දැමිය හැකිය. එහෙත් ආහාර නොමැතිව ජනතාව ජීවත් වන්නේ කෙසේද? කලට වැසි වසින සරු සාර පොළවක් හෙබි නයන පිනවන මේ රන් දිවයින ඉතිහාසයේ හැඳින්වූයේ පෙරදිග ධාන්‍යාගාරය ලෙසය. එහෙත් අද කුණු බක්කි අවුස්සා කෑමට යමක් තිබේ දැයි බැලීමට සිදුවන ගොරබිරම් ඉරණමකට රට ගොදුරුව තිබේ.

‘තමන් හිසට තම අතමය සෙවණැල්ල’ යන්න ජීවන දර්ශනය බවට පත් කර ගත යුතු තීරණාත්මක පැය එළඹ තිබේ. කිසිවකුට තවත් අයකුට උපකාර කළ නොහැකි එමෙන් කිසිවකු හෝ අන් අයකුට උපකාර නොකරන ශාපලත් යුගයක ආරම්භය සටහන් වී තිබේ. රට මේ තත්ත්වයට පත් වූයේ කෙසේද? කවුරුන් විසින්ද යනාදිය සම්බන්ධයෙන් මේ මොහොතේ සොයා බලා තේරුමක් නැත. ඒවායින් බඩගින්න නිවෙන්නේ නැත. බඩ ගින්න නිවා ජීවත්වී බේරා ගත යුතු ප්‍රශ්න ඒවා වේ. එහෙයින් මේ මොහොතේ කළ යුතුව තිබෙන්නේ එළැඹෙන අඳුරු යුගය තේරුම් ගෙන එයට මුහුණ දීමට වැඩ පිළිවෙළක් තම තමාම නිර්මාණය කර ගැනීමය.

අපට මල් පෝච්චියක මිරිස් පැළයක් හෝ සිටුවා ගත හැකිය. ගෙවත්තේ ඉඩ කඩ ඇති සෑම තැනකම කුමන හෝ එළවළුවක් වගා කර ගත හැකිය. කොරෝනා මුල් වටයේදී ජනතාව ඒ බව ඔප්පු කළහ. දැන් කළ යුතුව තිබෙන්නේ එදා නතර කළ තැනින් පටන් ගැනීමය. කවුරුවත් අපට කන්න නොදෙන බව පමණක් තේරුම් ගැනීම ප්‍රමාණවත්ය.

(***)