තෙල් මිල අඩුවීමේ වාසිය ජනතාවටත් ලැබෙන්න ඕනෑ


ඉන්ධන මිල පහළ දැමීමේ පුවත කොහොමත් ශුභාරංචියකි. එයට හේතුව රටේ සෑම ද්‍රව්‍යයක්ම, සේවාවක්ම ඉන්ධන මිල සමග ගැට ගැසී ඇති බැවිනි. ජනතාවගේ විශ්වාසය වන්නේ ඉන්ධන මිල පහළ දැමීමත් සමග ආහාර පාන ඇතුළු  සෑම ද්‍රව්‍යයකම මිල පහළ බසිනු ඇති බවය. එහෙත් මෙවර ඉන්ධන මිල පහළ බැස ඇත්තේ ජනතාව බලාපොරොත්තු වූ ශුභාරංචියට උපරිම සාධාරණයක් ඉටු කරවමින් නොවීම කනගාටුවට කාරණයකි.

මෙවර ඉන්ධන මිල පහත දමා ඇත්තේ මෙසේය. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 11කින්ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් රුපියල් 41  කින් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 22කින් වශයෙනි. ලංකා සුදු ඩීසල් සහ භූමිතෙල් මිලෙහි කිසිදු වෙනසක් සිදුවී නැත.

ඉන්ධන මිල පහත හෙළීමත් සමග බස් ගාස්තුව ඉකුත් 1 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට සියයට 5.07කින් පහත දමා තිබේ. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 30 සිට 28 දක්වා පහළ දමා තිබේ.

මෙහිදී අවධාරණය කළ යුතු කාරණාවක් තිබේ. අප මෙලෙස සටහන් කරන්නේ මහජනයාගේ යහපත වෙනුවෙනි. බස්රථ සේවකයන් හා මගීන් අතර වැඩි වශයෙන් ගැටුම් ඇවිළී යන්නේ  ‘ඉතිරි මුදල්’ සම්බන්ධයෙනි. ඉතිරිය රුපියලක් - දෙකක් නම් එය ලබා ගැනීමට මාරාන්තික සටනක් කළ යුතුය. බස් කොන්දොස්තර සතුව ඉතිරිය දීමට මාරු කාසි නැත. නැතහොත් ඔහු සිතාමතාම එම රුපියල් එක-දෙක යටි මඩි ගසා  ගනි.

මෙම ප්‍රශ්නයට ඇති සාධාරණ විසඳුම වන්නේ නියමිත ගණන කොන්දොස්තර අතට පත් කිරීමය. එහෙත් එය ප්‍රායෝගික නැත. මෙහි අවසන් ප්‍රතිඵලය  වන්නේ ගැටුම් නිර්මාණය වීමය. අවම බස් ගාස්තුව රුපියල් 30 සිට 28 දක්වා පහත හෙළීම යනු ගැටුමකට මුල පිරීමකි. එහෙයින් ඒ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය.

අප හැමදාමත් කරන්නේ ගැටුමකට ‘පොතු’ ඉතිරි කර තබා ගැටුම සම්බන්ධයෙන් ඇඬීමය. බස් ගාස්තුව ‘‘රවුම් ගාණක්’’ කිරීම ප්‍රශ්නයට ඇති සාර්ථක විසඳුමකි. මෙවර රවුම් ගාණක් වන්නේ අවම බස් ගාස්තුව රුපියල් 25ක් කිරීමය. එයට බස් සංගම් කිසි ලෙසකින් හෝ එකඟ නොවනු ඇත. ඉන්ධන මිල සොච්චමකින් අඩු කර බස් ගාස්තුව යහමින් අඩු කළ නොහැකි යැයි ඔවුන් කියනු ඇත. එයද සාධාරණය. බස් රථයක් ධාවනය කිරීමට ඉන්ධන පමණක් නොසෑහේ. ටයර් සහ අමතර කොටස් සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ යුතුය. එසේ නම් මෙහිදී රජය කළ යුතු වන්නේ බස් ප්‍රවාහනයට විශේෂ සහනයක් ලබාදීමය. එහිදී බස් ගාස්තුව පහත හෙළීම සම්බන්ධයෙන් බස්වල ගමන් බිමන් යන්නන්ගෙන් නෝක්කාඩු  නොඇසෙනු ඇත. වාසිය අත්පත් වන්නේ පොදු මහජනතාවටය.

ඉන්ධන ගාස්තුව රුපියලකින් දෙකකින් ඉහළ ගිය සැණින් ත්‍රිවිලරයක මිල ඉහළ යන්නේ ‘ටැක්සි මීටරයක’ වේගයෙනි. ඉන්ධන මිල පහත වැටුණ ද ත්‍රිවිලරයේ මිල පහත නොබැසීම චාරිත්‍රයකි. ත්‍රිරෝද රථයට ද සාධාරණයක් ඉටු විය යුතුවාක් මෙන්ම මගියාට ද සාධාරණයක් විය යුතුය.

මෙරට ත්‍රිවිල් සේවාව විධිමත් නියාමනයකට යටත් කළ යුතුය. එය තවදුරටත් නිදැල්ලේ යාමට ඉඩ දිය යුතු නැත. පාසල් ප්‍රවාහන බස්රථ හිමියන් පවසන්නේ ඉන්ධන මිල පහත දැමුව ද පාසල් ප්‍රවාහන ගාස්තුව පහත දැමිය නොහැකි බවය. ඉන්ධන මිල පහත බැසීමේ වාසිය ජනතාවට නොයන්නේ මෙම හේතු මතය. අනෙකා සුරා කෑමේ සම්ප්‍රදාය නතර කළ යුතුය. ඉන්ධන මිල පහත බැසීමේ වාසිය ප්ලේන්ටියේ සිට බත්පත දක්වාත් අනෙකුත් සේවා සඳහාත් දැකිය යුතුවිය යුතුය. එසේ නොවන විට ලැබුණු සහනයක් නැතැයි ජනතාව කියන්නේ නම් ඒ සම්බන්ධයෙන් විමතියක් ඇති කර ගත යුතු නැත. වාසිය එසේ ජනතාව අතට පත් කිරීමේ යාන්ත්‍රණයක් බලධාරීන් සකස් කළ යුතුය.

 

(***)