වංචාවක් සිදුකිරීම බරපතළ වැරැද්දකි. එයින් රජයට සිදුවන පාඩුව මකා ගැනීමට එම පාඩුව ජනතාවගේ කර මතට බද්දක් වශයෙන් පැනවීම තවත් වංචාවකි. මේ දෙකම තෙල් සංස්ථාවේ සිදු වී ඇතැයි අනාවරණය වී ඇත්තේ කෝප් කමිටුව පසුගියදා රැස් වූ අවස්ථාවේදීය. වසර 08 ක කාලයක් තිස්සේ සිදුවූ මේ අසික්කිත වංචාවට හවුල් වූ බව කියන නිලධාරීන් දැන් රටෙත් නැති බවද අනාවරණය වීම ලොකුම ඛේදවාචකයයි.
ශ්‍රී ලංකාව වංචාවට දූෂණයට නමගිය රටක් බවට හංවඩු ගැසීම ගැන පුදුම විය යුතු නැත. වංචාව සහ දූෂණ එතරම් සුලබය. ඒවා සිදුකරන නිලධාරීන්ට කිසිදු හිරිහැරයකින් හා කරදරයකින් තොරව පිටරටට පැනගෙන තමන්ගේ රටට කොකා පෙන්වීමට අවස්ථාවක් ලබාදෙන එකම රට ශ්‍රී ලංකාවද යන සැකය ද මේ සිද්ධියත් සමග අප තුළ මතුවෙයි. වසර 08ක් තිස්සේ තෙල් සංස්ථාවේ අලෙවි අංශය මූලික වී සිදුවූ මේ වංචාව හෙළිකර ගැනීමට සංස්ථාවේ පාලනාධිකාරිය අසමත්වීම ද සියලු දෙනාගේ දෙබැම ඉහළ නංවන තත්වයකි. එය ඇතැම් ඉහළ නිලධාරීන් පිළිබඳ බරපතළ සැකයක් උපදවන්නකි. මේ බොහොමයක් ඉහළ නිලධාරීන් දේශපාලන පත්වීම් ලැබුවෝ වෙති. මෙවැනි ගඳ ගසන හෙණ ගහන අපරාධ කාලයේ වැලි තලාවේ සැඟවී යන්නේ එවැනි සබඳතාවල බලවත්කම් හේතුවෙන් බවද පෙන්වා දිය යුතුය.
මෙම වංචාව හොඳින් සැලසුම් සහගතව කළ බව එහි ක්‍රමවේදයෙන් පැහැදිලි වෙයි. කෝප් කමිටුවේ දී අනාවරණය වී ඇති පරිදි එහිදී මුලින්ම සිදුකර ඇත්තේ පිරවුම්හල් හිමියන්ට චක්‍රලේඛයක් නිකුත් කිරීම සිතාමතා වසර 08කට ප්‍රමාද කිරීමයි. එහි ප්‍රතිඵලය කොමිස් මුදල වැඩිපුර ගෙවීමට සිදුවීමය. එහි පාඩුව රුපියල් කෝටි 341ක් බවද එය පියවීම සඳහා ජනතාව ලබාගන්නා ඉන්ධනවලට රුපියල් 05 සිට 07 පමණ දක්වා වන බද්දක් පැනවූ බවද සඳහන්ය. මෙය හෙණ ගහන ගඳ ගසන අපරාධයක් බව අප ප්‍රකාශ කරන්නේ මේ හේතු නිසාය. තමන් සිදු කළ වංචාව මහජනතාවගේ මුදලින් පියවා ගැනීමට කටයුතු කළ නිලධාරීන් සිටිනවා නම් දැන් හෝ ඔවුන්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට සිදුවන්නේ මේ වංචනික අපරාධය සිදුකර ඇත්තේ ඔවුන් සියලු දෙනාගේම අනුමැතිය ඇතිව නිසාය. එම අපවාදයෙන් ගැලවීමට නම් මේ වංචාව සම්බන්ධ සියලු තොරතුරු හෙළි කිරීම එම නිලධාරීන් විසින් සිදුකළ යුතුය. තොරතුරු දැන දැනම නිහඬව සිටීම අපරාධයට ආධාර සහ අනුබල දීමක් බැවිනි.
මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන්ගේ නම් ලැයිස්තුව ඇතුළත් සවිස්තර වාර්තාවක් සති දෙකක් තුළ ඉදිරිපත් කරන ලෙසට කෝප් කමිටුව සංස්ථාවට නිර්දේශ කර තිබේ. ඒ අනුව කටයුතු සිදුවන්නේ දැයි රටේ ජනතාව ද විමසිල්ලෙන් සිටිනු ඇත. පසුගිය වසර 08ක කාලයේදී තමන් මිලදී ගත් තෙල්වලට වැඩිපුර අයකළ මුදලට සිදුවූ දේ ගැන දැන ගැනීමට ඔවුන්ට ද අයිතියක් තිබෙන බව සංස්ථාව ද වටහා ගත යුතුය.
මෙවැනි මුල්‍ය අපරාධ සිදුකර රටින් පළාගොස් සිටින නිලධාරීන් ආපසු රටට ගෙන්වා ගැනීමට වැඩ පිළිවෙළක් යෙදීම රජයේ වගකීමකි. ඕනෑම වංචාවක් සිදුකර තමන්ට ගැලවිය හැකි බවට ඇතැම් දේශපාලකයන් සහ නිලධාරීන් තුළ පවතින අදහස මෙවැනි සැලසුම් සහගතව සිදුකරන දූෂණ සහ වංචනික ක්‍රියාවලට මූලික හේතුවක් වී තිබේ. රජයෙන් එවැනි වංචනිකයන්ට දැල එළීමක් සිදු නොවන විට රටේ ජනතාවට හැඟී යන්නේ ‘‘වැටත් නියරත් දෙකම ගොයම් කන’’ බවකි. එසේ වීම රජයේ ප්‍රතිරූපයටද සිදුකරන්නේ ප්‍රබල හානියකි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමග ගිවිසුම්ගතවීමේ දී සඳහන් කර තිබූ එක් වගන්තියක් වූයේ ශ්‍රී ලංකාව යනු දූෂණය ඉහවහා යන රටක් හැටියට ජාත්‍යන්තරය තුළ නම් ලබා සිටින බවය. මෙවැනි අපරාධ සිදුවීම එම වගන්තිය තවදුරටත් සනාථ කිරීමකි.
(***)