මේ ආකාරයෙන් රිය අනතුරු සිදුවුවහොත් වැඩි දිනක් යාමට මත්තෙන් රටේ ජනගහනයෙන් හරි අඩක් මරු තුරුළේය. තව අඩක් සදාකාලික ආබාධිතව රෝගී සයනයේය. රටේ අනාගතය සම්බන්ධයෙන් මින් මැවෙන්නේ ඉතා බියකරු චිත්‍රයකි. එහෙත් යථාර්ථය එය ය.
අප පුවත්පත වාර්තා කළ එක් ප්‍රවෘත්තියකින් කියැවුණේ යාපනය - නුවර ඒ නවය මාර්ගයේ මාන්කුලම පණිව්චන්කුලම ප්‍රදේශයේ දී වෑන් රථයක් ලොරි රථ දෙකක ගැටී සිදු වූ අනතුරකින් තිදෙනකු මියගොස් අට දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවය.
රිය අනතුරු සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කිරීම අතිශයින්ම දුෂ්කර ය. මන්දයත් මෙය ලියන මොහොතේ සිට ඔබ මෙය කියවන මොහොත දක්වා අතර කාලය තුළ එම සංඛ්‍යා ලේඛන බොහෝ සෙයින් වෙනස්වීමට ඉඩ තිබෙන හෙයිනි. මේ රට තුළ රිය අනතුරක් සිදු නොවන දවසක්, පැයක් හෝ තත්පරයක් නොමැති තරම්ය. දිනකට රටේ පුරවැසියන් හත් අට දෙනකු රිය අනතුරු හේතුවෙන් මියයන බව සංඛ්‍යා ලේඛනවලින් පැහැදිලි වේ.
සමාජ විද්‍යාවට අනුව සමාජ ප්‍රශ්නයක් ලෙස හඳුනාගනු ලබන්නේ යමක් එම සමාජයේ පැවැත්මට බරපතළ ලෙස අභියෝගයක් වන්නේ නම් ය. ඒ අනුව රිය අනතුරු හඳුනාගත යුතු වන්නේ බරපතළ සමාජ ප්‍රශ්නයක් ලෙසය. එබඳු බරපතළ සමාජ ප්‍රශ්නයක් වුවද රිය අනතුරු සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රමාණයට අවධානය යොමුවී තිබේ දැයි ප්‍රශ්නයකි. රිය අනතුරු අවම කිරීම යනු කළ නොහැකි ක්‍රියාවක් නොවේ. නියත වශයෙන්ම කළ හැකි දෙයකි. එහෙත් එයට මුළු රටම එක මිටට ගත් දියුණු විද්‍යාත්මක වැඩපිළිවෙළක් අවශ්‍ය වේ.
රටේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ වාහන අමතර කොටස් ආනයනය කිරීම සීමා කෙරුණි. එමෙන්ම ඩොලරයට සාපේක්ෂව රුපියල බාල්දුවීම හමුවේ වාහන අමතර කොටස්වල මිල ඉහළ ගොස් තිබේ. මෙම පරිසරය තුළ වාහන ලණු පොටවල්වලින් හෝ ගැට ගසාගෙන ධාවනය කිරීමට ඇතැම්හු පෙළඹෙති.
මහා මාර්ගවල අබලන් තත්ත්වයද රිය අනතුරුවලට ප්‍රධාන හේතුවකි. තව වසර දෙක තුනක් ගතවනවිට අධිවේගී මාර්ගවල වාහන ධාවනය නතර කිරීමට සිදුවන බවට පුරෝකථන ද ඇසේ. අධිවේගී මාර්ගවල තත්ත්වය එපරිදිනම් රටේ සෙසු මංමාවත් සම්බන්ධයෙන් වටහා ගැනීම අසීරු නැත. මේ රටේ අනාගතයේ මතුවන බරපතළම ප්‍රශ්නය වනුයේ මහා මාර්ග පද්ධතියේ නඩත්තුව වේ. මේ සම්බන්ධයෙන් බැරෑරුම් ලෙස අවධානය යොමු කළ යුතුය. සෙසු සියලු නඩත්තු කිරීම් නවතා මහාමාර්ග නඩත්තුව කෙරෙහි ප්‍රමුඛතාව දිය යුතුය.
පුරවැසියාට පුරවැසි වගකීම සම්බන්ධයෙන් නිසි දැනුමක් ලබානොදී රිය අනතුරු ප්‍රශ්නයට විසඳුමක් ලබාදිය නොහැක. තිස් වසරක් පුරා බියකරු යුද්ධයකින් දැවුණු තැවුණු රටක මිනිස් ජීවිතයක අගය පිච්චියට වැටීම සාමාන්‍ය දෙයකි. එම පරිසරය තුළ ‘මැරෙන්නත් භය නැති මරන්නත් භය නැති’ මානසිකත්වයක් නිර්මාණයවීම ස්වභාවිකය. රටේ අපරාධ බහුලවීමටත් රිය අනතුරු වැඩිවීමටත් එය එක් හේතුවකි. ග්‍රාම සේවක වසම් මට්ටමකින් හෝ පුරවැසියන් ගේ ආකල්ප වර්ධනය කෙරෙන දියුණු වැඩපිළිවෙළක් දියත් කළ යුතුය.
(***)