ආර්ථික දුෂ්කරතා ඉවසා දරා ගැනීමට නොහැකිව සිටි වයෝවෘද්ධ කාන්තාවක කිසියම් විෂ දියරයක් ශරීරගත වීමෙන් මිය යාමේ පුවතක් අපගේ ‘‘ලංකාදීප’’ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයකින් පසුගියදා ප්‍රකාශයට පත් කෙරිණි. අරණායක පොලිසිය පවසන ආකාරයට 74 හැවිරිදි එක්දරු මවක මෙසේ මිය ගොස් ඇත. ජීවිතක්ෂයට පත්වූ එම මව සිය වයෝවෘද්ධ සැමියා සමඟ ඔවුන්ගේ නිවෙසේ පදිංචිව සිට ඇති බවත් ඔවුන්ගේ එකම දියණිය විවාහ වී රඹුක්කන වෙනම පදිංචිව සිටින බවත් සඳහන් විය. මරණ පරීක්ෂණයේ දී මෙම මරණය සියදිවි නසාගැනීමක් බවට නිගමනය කර තිබිණි.
මියගිය කාන්තාව මෙලෙස දැඩි ආර්ථික ප්‍රශ්නවලට මුහුණපා ඇතැයි පැවසෙන්නේ ඇයගේ ස්වාමියා මාසයකට පෙර සිට ඇවිද ගැනීමට නොහැකිව ඔත්පල වීම නිසා ඔහු උපයමින් සිටි ආදායම අහිමිවීම හේතුවෙනි. දියණිය ඩුබායි රාජ්‍යයේ රැකියාවක නිරතව සිටින බව සඳහන් වුවද ඇය තම වයෝවෘද්ධ මාපියන් සමඟ සබඳතා පවත්වන්නේ ද යන්න පැහැදිලි නැත. එහෙත් මේ කාන්තාවගේ මරණයෙන් පසුව ඇයගේ සැමියා ප්‍රකාශ කර ඇත්තේ නිවෙසේ පවතින ආර්ථික අපහසුතා තමන්ට ද දැනුණු බවත් කරකියා ගන්නට දෙයක් නැතිව සිටි බවත්ය.
ආර්ථික දුෂ්කරතා සහ අසරණ බව හේතුවෙන් කෙනකු සියදිවි නසාගැනීම බරපතළ ඛේදවාචකයකි. ලැබෙන දෙයක් කා බී විවේක සුවයෙන් කල් ගත කළ යුතු වයසේ පසුවන පුද්ගලයන් කන්න බොන්න නැතිවීම හේතුවෙන් මෙසේ දිවි නසාගැනීම අසන දකින කා තුළත් ඇති කරන්නේ තදබල කම්පනයකි. එය රටක නොවිය යුත්තකි. නොවිය යුතු දෑ සිදුවන තැනකට රට තල්ලු වෙමින් සිටින බවට මෙය එක් පෙරනිමිත්තකි. මෙවැනි පෙරනිමිති පහළවීම හැකි ඉක්මනින් නවතා නොගතහොත් එය මහත් අභාග්‍ය සම්පන්න තත්ත්වයකට පාර කැපීමක් බව කිව යුතුය.
පසුගිය මාස කිහිපය මුළුල්ලේම රටේ දිනෙන් දින උග්‍රවෙමින් පවතින ආහාර අහේනිය පිළිබඳ විවිධ තොරතුරු අනාවරණය විය. එම තොරතුරු දේශීය මට්ටමින් පමණක් නොව එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර මට්ටමින් ද ප්‍රකාශයට පත් කෙරිණි. වරක් සඳහන් කෙරුණේ රටේ ජනතාවගෙන් ලක්ෂ 60 කට අධික සංඛ්‍යාවකට තුන්වේල අහිමිව සිටින බවය. එසේම පාසල් යන දරුවන් මන්දපෝෂණ තත්ත්වයට ගොදුරු වෙමින් සිටින බවට ද තොරතුරු හෙළිවෙමින් තිබේ. අරණායක සිද්ධිය පෙන්වා දෙන්නේ මේ සංඛ්‍යාලේඛන බොරුවක් නොවන බවය.
කන්න බොන්න නැති තරමට ආදායම් අහිමි වූ පවුල් ලක්ෂ ගණනක් මේ රටේ සිටින බවට ද තොරතුරු ප්‍රකාශයට පත්වෙමින් තිබේ. රටේ ආදායම සහ වියදම අතර පරතරය වැඩිවෙන විට රටේ ණය ප්‍රමාණය ද ඒ සමඟ ඉහළ යයි. රටේ ණය ප්‍රමාණය වැඩිවීම පොදු මහජනතාවට දැනෙන්නේ උද්ධමනයේ වැඩිවීම හැටියටය. විශේෂයෙන් ආහාර උද්ධමනය රටකට දැරිය හැකි මට්ටමට වඩා ශ්‍රී ලංකාවේ ඉහළ ගොස් තිබේ. නොවැම්බර් මාසය තුළ දී එය යම් ආකාරයකින් සුළු අඩුවීමක් පෙන්වා ඇතත් එය දිගටම පවතින තත්ත්වයක් දැයි සහතිකයක් නැත. විශේෂයෙන් ජනවාරි මාසයේ සිට යළිත් විදුලි බිල වැඩිවනු ඇති බවට පුරෝකථනය වී ඇති අවස්ථාවක ඉදිරි කාලයේ උද්ධමනය අඩුවනු ඇතැයි බලාපොරොත්තු තැබිය නොහැක.
ආහාර අහේනිය හේතුවෙන් කරකියාගත නොහැකි වීම නිසා කෙනකු පත්වන්නේ ඉතාම අසරණ තත්ත්වයකටය. විශේෂයෙන් පාසල් යන වයසේ දරුවන් සිටින මවුපියෝ වඩාත් අසරණ වෙති. බොහොමයක් පාසල්වල දෙගුරුන් එකතුවෙන් එසේ කුසගින්නේ පාසලට එන සිසු දරු දැරියන්ට ආහාර ලබා දෙන වැඩපිළිවෙළක් සකස් කරගෙන තිබේ. ඒවා තාවකාලික පිළියම් වුවද අසරණ දරුවන්ට මහත් සහනයක් ලබා දෙන වැඩපිළිවෙළකි. කොළඹ වැනි ප්‍රධාන නගර අවට ඇතැම් පාසල්වල පවා මේ ආකාරයට ආහාර ලබා දෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වීමෙන් පෙනී යන්නේ රටේ පවතින ආහාර සැපයුමේ බිඳවැටීමය. දිවි නසාගැනීම් දක්වා ඇදී යන්නේ මේ බිඳවැටීමේ ප්‍රතිඵල හේතුවෙනි.
පසුගිය කාලය තුළ ආහාර නොලැබීම හේතුවෙන් විශේෂයෙන් පාසල් තුළ වූ සිදුවීම් ආණ්ඩුවේ බලධාරීන් විසින් නිශේධනය කිරීමට පියවර ගෙන තිබිණි. ආහාර නොලැබෙන බවට සඳහන් වූ දරුවන්ට හොඳින් ආහාර ලැබෙන බවටත් වරක් කන්න දෙයක් නොමැතිවීම නිසා පොල් මද කෑමට ගෙනා සිසුවියක පිළිබඳ වාර්තා වූ විට එය එසේ නොවන බවටත් ප්‍රකාශ නිකුත් විය. අරණායක සිදුවීමෙන් පෙනී යන්නේ ආහාර අහේනිය ජීවිත බිලිගන්නා තරමට උග්‍ර වෙමින් පවතින බවය. එවැන්නක් දැන දැනත් නොදැක්කා සේ අහක බලාගැනීමට වගකිව යුතු ආණ්ඩුවකට හැකියාවක් නැත. ප්‍රකාශ නිකුත් කිරීමෙන් පමණක් ගැටලු විසඳෙන්නේ ද නැත.
(***)