මුළු රටේම දුප්පත්කම භයානක අඩියක් දක්වා වර්ධනය වෙමින් තිබේ. ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදයකට මැදි වී සිටින රටකට එසේ සිදුවීම ගැන එක් අතකින් විස්මයට කරුණක් නොවේ. එහෙත් මුළු රටේ වැඩි පිරිසක් දරිද්‍රතාවේ ඉහළ මට්ටමට ළඟා වනවිට රටේ සෑම ජන කොටසකගේම ජීවිත සහ දේපළ අනාරක්ෂිත තත්ත්වයකට ඇද වැටීමට ඇත්තේ ලොකු ඉඩකඩකි. මේ සම්බන්ධයෙන් රටේ පක්ෂ - විපක්ෂ සියලු දේශපාලන කණ්ඩායම්වල අවධානය යොමුවීම අවශ්‍ය බව පෙන්වා දිය යුතුය.
ආහාර උද්ධමනය අඛණ්ඩව ඉහළ යමින් තිබූ අතර 2020 වර්ෂය වනවිට සියයට 11ක්ව පැවැති ආහාර උද්ධමන අගය පසුගිය ජූනි මාසය වනවිට සියයට 80ක් දක්වා වැඩිව තිබෙන තත්ත්වයක් තුළ දිළිඳුකම වැඩිවීම බලාපොරොත්තු විය යුතුය. එහෙත් දිළිඳුකම සමඟ ගැටගැසුණු ආර්ථිකයක් තිබෙන රටවල උද්ධමනය සම්බන්ධ සංඛ්‍යා ලේඛන නිවැරැදිව සකස් නොවන බවත් ඒ ඒ රටවල ප්‍රතිපත්ති සම්පාදකයන් රජයේ පාලකයන්ගේ අනුදැනුම මත ඒවා වඩාත් සැහැල්ලුවෙන් දක්වන බවත් ප්‍රකට කියමනකි. ඒ කතාව ලංකාවට ද ගළපා ගතහොත් අප සිටින්නේ දිළිඳුකම අතින් අති භයානක තත්ත්වයක බව වසන් කළ නොහැක. මේ සැබෑ තත්ත්වය කඩපොළට යන අවස්ථාවලදී පමණක් නොව අප අවට පරිසරය දෙස විමසිල්ලෙන් බැලීමේදී වටහා ගැනීම අසීරු නැත.
අප අවට සිදුවූ සිද්ධි කිහිපයක් පසුගිය දිනවලදී මාධ්‍ය ඔස්සේ හෙළිදරව් කෙරුණේ ඒවා අසන දකින සියලුදෙනාගේ හදවත් කම්පා කරවමිනි. කුසගින්නේ සිටින තම දරුවන් අඩු තරමින් කිරි ටිකක් ඉල්ලා හඬන අයුරු ඉවසාගත නොහැකි වූ දෙදරු පියෙකු හෙම්මාතගම නගරයේ ප්‍රධාන මාර්ගය මැදට පැමිණ තම දුක කියා හඬා වැළපුණු ආකාරය එම ප්‍රදේශයම කම්පනයට පත්කර තිබිණි. පසුව එතැනට පැමිණි පොලිසිය සහ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් සහ නගර වැසියන් මැදිහත්ව ඔහුගේ දරු පවුලට අවශ්‍ය ආහාර පාර්සල් ගණනාවක් පරිත්‍යාග කිරීමට පියවර ගත් බවද සඳහන් විය.
වෘත්තියෙන් පෙදරේරුවකු වූ ඔහු රටේ පවතින අධික උද්ධමනකාරී ආර්ථිකය හමුවේ ඉදිකිරීම් නැවතීම හේතුවෙන් රැකියාව අහිමි වූ අයෙකි. ගෙදර සැබෑ ප්‍රශ්නය මහපාරට ගෙන ආ ඔහු වැනි සිය දහස් ගණනක ජනතාවක් මේ රටේ වෙසෙන බවද රහසක් නොවේ. කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් ඇතැම් පිරිසකගේ සියලු ආදායම් අහිමි වී යාමෙන් ඔවුන්ගේ නිවෙස්වල පවතින්නේද මීට නොදෙවැනි තත්ත්වයකි. නගරබදව එදිනෙදා කුලී වැඩ කළ සහ ස්වයං රුකියාවල නියුතුව සිටි බොහෝ පිරිස්ද මේ දුකම විඳිති.
හෙම්මාතගම මහපාරේ හඬාවැටුණු මේ දෙදරු පියා ප්‍රකාශ කර තිබුණේ රටේ බොහොමයක් මවුපියන් තමා මෙන්ම මේ මොහොතේ අසරණ වී සිටින බවය. එම අසරණකම සහ පීඩා විස්තර කිරීමට පවා අපහසු බවද දැරිය නොහැකි ආර්ථික අපහසුතා නිසා ඇතැමුන් ජීවිත නැතිකර ගැනීමට පවා පෙළඹෙන බවද ඔහු කියා තිබිණි.
රැකියාවක් කර අතට ලැබෙන ආදායමින් තම දරු පවුල කෙසේ හෝ ජීවත් කළ බොහෝදෙනාට අද දිළිඳුකමේ පත්ලට වැටී ජීවත්වීමට තිබෙන්නේ පෙර කළ කර්මයක් පලදීම නිසා නොවේ. මේ රටේ ඇතැම් නිර්ලජ්ජිත දේශපාලන නායකයන් මුළු රටේම ආර්ථිකය කොටා මිරිකා හපයක් කර දැමීමේ වරද හේතුවෙනි. රටේම ආර්ථිකයට වින කෙටූ ඇතැම් දේශපාලනඥයන් සහ නිලධාරීන් සුපිරි ජීවිත ගත කරද්දී රටේ සාමාන්‍ය වැසියන් මේ ආකාරයට දුක්ඛිත අසරණ තත්ත්වයට පත්ව සිටීම රටේ අනාගතය මකර කටට තල්ලු කිරීමකි. රට මකර කටට යා නොදී ගලවා ගැනීමේ වගකීම ඇත්තේ රට කරවන දේශපාලන නායකයන් අතේය.
දිළිඳුකම සමඟ එකට යාවෙන තවත් පැත්තක් වන්නේ අපරාධ සංඛ්‍යාවේ ඉහළ යාමය. මීට පෙර අවස්ථා කිහිපයකදී අතේ තිබූ බඩු මලු කොල්ල කන ලද සිදුවීම් මාධ්‍යයේ පළවූ අතර පසුගියදා සියලු දෙනාගේ සිත් කීරි ගැසෙන සිද්ධියක් වාර්තා වූයේ පොල්පිතිගම ප්‍රදේශයෙනි. අත දරුවකු වඩාගෙන බඩු මල්ලක්ද රැගෙන නිවෙසට ගමන් කරමින් සිටි මවකගේ ගෙල බැඳි රන් මාලය කඩාගෙන තියුණු ආයුධයකින් ඇයගේ ගෙල කපා මරා දමා තිබුණේ අත දරුවාද මවගේ අතේ සිටියදීමය. දිළිඳුකම වැඩිවන රටක රන්මාලයක් සඳහා මිනීමැරීමට අපරාධකරුවන් පසුබට නොවන තත්ත්වයක් මේ සිද්ධිය මතුකර පෙන්වයි. මේ අපරාධකරු වහාම අත්අඩංගුවට ගෙන හැකිතරම් ඉක්මනින් නීතියෙන් දඬුවම් නොපැමිණ වුවහොත් මෙවැනි සිදුවීම් වළක්වා ගැනීම අසීරු වනු ඇත.
රටේ දිළිඳුභාවය වැඩිවීමට ප්‍රධානම හේතුවක් වන්නේ අධි උද්ධමනකාරී තත්ත්වයක් පැවතීමය. මෙවැනි අධි උද්ධමනකාරී තත්ත්වයක් තුළදී ජනතාව පීඩාවට පත්වීම ස්වාභාවිකය. එහිදී පීඩාවට පත්වන පහළම මට්ටමේ ජනතාව සම්බන්ධයෙන් ආණ්ඩුව සැලසුම්ගතව වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුය. රටේ සිටින සියලුම අඩු ආදායම්ලාභී පවුල් සඳහා එක් පවුලකට රුපියල් 7500 සිට 10,000 දක්වා බැගින් වූ මුදලක් වෙන් කිරීමට රජයේ ජීවන වියදම් කමිටුව මගින් තීරණය කර ඇතැයිද සඳහන් වේ. මේ සඳහා රුපියල් කෝටි විසි දහසක් ලබාදීමට රජය අදහස් කරන බවද ප්‍රකාශයට පත්කර ඇත. මේ තරම් විශාල මුදලක් සපයා ගන්නේ කෙසේද යන්න උභතෝකෝටිකයකි. එහෙත් දිළිඳුකමින් පීඩා විඳින දරු පවුල්වලට වහාම ආධාර අවශ්‍ය බව නම් නියතයකි.
ලෝක ආහාර වැඩපිළිවෙළ මගින් ශ්‍රී ලංකාවේ දරුවකුට ඩොලර් ශත 80ක් වන ආහාර මල්ලක් සැපයීම සඳහා ලෝකවාසීන්ගේ ආධාර පතමින් ජංගම දුරකතන යෙදවුමක් හඳුන්වා දී තිබේ. මීට කලකට පෙර අප්‍රිකාවේ අධික දිළිඳු රටවල්වල පැවැති තත්ත්වය හා අපේ රටද සමාන කිරීමක් වශයෙන් මෙය කෙනකුට දැකිය හැක. මේ තරම් හිඟන තත්ත්වයකට රට ඇද දැමූ සියලු දේශපාලනඥයන් සහ නිලධාරීන් රටේ ජනතාවගෙන් කොන්දේසි විරහිතව සමාව අයැදිය යුතු නොවේද?
(***)